ඔබේ උපතට පෙර සිට මරණයෙන් පසුවත් ඔබට අවශ්‍ය වන ග්‍රාම නිලධාරී සේවය

ඡායාරූප මූලාශ්‍රය, Kanchana Wijesekera/Twitter
පුද්ගලයෙකුගේ උපතට පෙර සිටත්, පුද්ගලයෙකුගේ මරණයෙන් පසුවත් ඉටුකිරීමට රාජකාරී ඇති රාජ්‍ය සේවකයෙකු ශ්‍රී ලංකාවේ සිටින බවට ඔබ මින් පෙර දැන සිටියා ද? ඒ අන් කිසිවෙකු නොව ඔබ පදිංචි ග්‍රාමසේවා වසම භාර ග්‍රාම නිලධාරීවරයා ය.
මවක් ගැබ්ගත් පසු ඇයගේ පෝෂණ අතිරේක අනුමත කිරීමේ සිට පුද්ගලයෙකු මියගිය පසු ඔහුගේ දේපළ, උරුමයට අදාල පසුබිම් වාර්තා ලබාදීම මෙන් ම මරණ සහතිකයට අවශ්‍ය තොරතුරු සැපයීම් දක්වා විහිදුණු පුළුල් රාජකාරී ප්‍රමාණයක් ග්‍රාම නිලධාරීවරුන්ට පැවරී ඇත.
ග්‍රාම නිලධාරී තනතුරේ ඉතිහාසය
අතීතය පිළිබඳ පිරික්සීමේ දී එක් එක් යුගයන්වල ගමට නායකත්වය ලබාදුන් පුද්ගලයන් ගැන විවිධ මූලාශ්‍රවල සඳහන් වේ.
ඔවුන් බොහෝවිට යම් බලයක් සහිත වූ උසස්යැ යි සැලකුණු පවුල්වලින් පැවතගෙන එන්නන් විය. තනතුර මාරුවීම සිදුවූයේ පවුලේ සාමාජිකයන් අතර ය.
"ගමික" ලෙස රාජාණ්ඩු කාලයේ දී ශ්‍රී ලංකාවේ හඳුන්වනු ලැබුවේ ගමේ නායකයා ය. පසු කලෙක එය "ගාමණී" ලෙස ද හඳුන්වන ලදි. ඔවුන් ආදායම් රැස් කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම වැනි බලතලවලින් සමන්විත වූවන් ය.
යටත්විජිත පාලන සමයේ දී ශ්‍රී ලංකාවේ සිවිල් පරිපාලනය ගොඩනැගෙන අතර එය වැඩිදියුණු කිරීමේ ගෞරවය ඉංග්‍රීසීන්ට හිමිවිය යුතු ය. ඉංග්‍රීසීන් විධිමත් පරිපාලන ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කළ අතර "ගම්මුලාදෑනි තනතුර" එලෙස සමාජයේ බිම් මට්ටමෙන් ආරම්භ කළ තනතුරකි.
ගම්මුලාදෑනි තනතුර ද බොහෝවිට පවුලේ උරුමය මත හිමිවූ තනතුරක් විය. ගැටුම් විසඳීමට මැදිහත් වීම, පහළ සිට ඉහළට තොරතුරු රපෝර්තු කිරීම මෙන් ම ඉහළින් එන නියෝග සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කර ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම ද හිමිව තිබුනේ මේ ගම්මුලාදෑනි තනතුරට ය.
ඊට අමතරව, යටත් විජිත සමයේ පැනවූ විවිධ ආඥා පනත්වලින් ද ඔවුන්ට විවිධ රාජකාරි පනවා තිබුණි. මෙය 1960 දශකය දක්වා ක්‍රියාත්මක වූ තනතුරකි.
හැටවසරක් පිරුණු ග්‍රාම නිලධාරී සේවය
ප්‍රවේණි උරුමය මත ක්‍රියාත්මක වූ ගම්මුලාදෑනි තනතුරට ඔබ්බෙන් ගොස් තරග විභාගයකින් බඳවා ගන්නා රාජ්‍ය නිලධාරියෙකු "ග්‍රාමසේවක" නමින් බිම් මට්ටමේ පරිපාලන සේවා සඳහා යෙදවීම ආරම්භ කරන්නේ 1964 වසරේ දී ය.
නමුත් ඔවුන්ගේ රාජකාරී ආරම්භ වූ නිල දිනය වශයෙන් සැලකෙනේ 1963 මැයි 01 දා ය.
ආරම්භයේ දී ග්‍රාම නිලධාරී වසම් 4000කට ආසන්න ප්‍රමාණයකින් ආරම්භ වූ මෙම සේවාවට වර්තමානය වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 333ක් යටතේ ඇති ග්‍රාම නිලධාරී කොට්ඨාස 14,022ක ග්‍රාම නිලධාරීවරු 11700කට ආසන්න ප්‍රමාණයක් සක්‍රීය සේවයේ යෙදී සිටිති.
1963 ආරම්භ වූ ග්‍රාම නිලධාරී සේවයට මේ වසරේ මැයි 01 වනදාට වසර 60ක් සම්පූර්ණ වී තිබේ.
'ග්‍රාම සේවක' නමින් ආරම්භ වූ මේ තනතුර, වරක් 'ග්‍රාම සේවා නිලධාරී' ලෙස වෙනස් වූ අතර වර්තමානයේ හඳුන්වන්නේ 'ග්‍රාම නිලධාරී' යන නමින් ය.
සීමාවක් නැති රාජකාරි
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ග්‍රාම නිලධාරීවරුන් වෙනුවෙන් මෙතෙක් නිශ්චිත රාජකාරී රාමුවක් නැති බව බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ ලේකම් අසංක කුලරත්න පැවසුවේ ය. ඔහු පෙන්වා දුන්නේ ග්‍රාම නිලධාරීවරුන්ට තවමත් සේවා ව්‍යවස්ථාවක් නොමැති බව යි.
"1963 දි ආරම්භ කරපු ඒ සේවාව ගම්මුලාදෑනිවරුන්ගේ රාජකාරිය වෙනුවට විධිමත්ව ආරම්භ කරපු සේවාවක්. තරග විභාග තියලා බඳවා ගත්තත් අපට තවම සේවා ව්‍යවස්ථාවක් නැති එක ගැටලුවක් වෙලා තිබෙනවා," ඔහු පෙන්වා දෙයි.
ආරම්භයේ දී දිළිඳු සහන ලබා දීම සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වැඩකිරීමේ රාජකාරි ද ග්‍රාම නිලධාරීවරුන්ට පැවරී තිබුණි. කුලරත්න පෙන්වා දෙන්නේ 1990 දශකයේ දී දිළිඳු සහන සඳහා ගමට සමෘද්ධි නිලධාරියෙකු ද, සංවර්ධන කටයුතු සඳහා 2012 සිට සංවර්ධන නිලධාරියෙකු ද බැගින් සෑම ගමකම ග්‍රාම නිලධාරීවරයාට අමතරව සිටින බව යි.
"මේ විදිහට නිලධාරීන් දෙන්නෙක් ගමේ හිටියත් මිනිස්සු ඇවිත් ප්‍රශ්න කියන්නෙ ග්‍රාම නිලධාරීවරයාට. අනෙක් අතට මේ තරම් නිලධාරීන් එක ගමකට පත් කරලා ඒ අයට රජයෙන් වැටුප් ගෙවලා, වැටුපට සරිලන සේවයක් සිදුවෙනව ද කියන ගැටළුවත් තියෙනවා. 1990ට පෙර මේ හැම රාජකාරියක්ම කළේ ග්‍රාම නිලධාරීවරයෙක් තනිවම යි."
"මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ ග්‍රාම නිලධාරීවරයාට ඇවිත් ප්‍රශ්න කියන්න. නමුත් මේ විදිහට රාජකාරී බෙදුවම අපට කියන්න වෙනවා මේක අපේ රාජකාරියක් නෙවෙයි කියලා. 'අස්වැසුම' දත්ත රැස්කිරීමෙන් අපි වැළකුණු හේතුවත් ඒක යි. දිළිඳු සහන විෂය අපෙන් ඉවත් කළේ 1990 දශකයේ දී," ඔහු පෙන්වා දෙයි.
පැය 24ක සේවයක්
ග්‍රාම නිලධාරීවරයෙකු පැය 24ම සේවයේ යෙදී සිටිය යුතු ය. සතියේ දින හයක් ඔහුගේ වැඩ කරන දිනයන් වන අතර, සතියට එක් දිනක්, එම දිනයේ රාජකාරී යෙදී නොමැති නම් පමණක් විවේක ගැනීමට හැකි ය.
ග්‍රාම නිලධාරීවරයෙකු අනිවාර්යයෙන්ම සතියට දින දෙකහමාරක් කාර්යාල සේවයේ යෙදිය යුතු ය. අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දෙදින කාර්යාල වේලාවේ දීත්, සෙනසුරාදා එක් වරුවකුත් ඔවුන් කාර්යාලයේ සේවය කළ යුතු අතර, එම දිනවල දී වසමේ පදිංචිකරුවන්ට ග්‍රාම නිලධාරීවරයා හමුවී ඔවුන්ට අවශ්‍ය පදිංචි සහතික, රජයේ වැඩසටහන් සඳහා ලියාපදිංචිය, ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචි වීම මෙන් ම ඔවුන්ගේ ඉදිරිපත් කිරීමට ද හැකි ය.
මෙම රාජකාරීවලට අමතරව විවිධ ආඥා පනත් සහ පනත් හා නීතිවලින් ද ග්‍රාම නිලධාරීවරුන්ට විශාල රාජකාරී ප්‍රමාණයක් පැවරී තිබේ. කුලරත්න පෙන්වා දෙන්නේ එවැනි අණපනත් 236ක් ඇති බව යි.
ග්‍රාම නිලධාරිවරයෙකුට ඇති විවිධ රාජකාරි
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ දෙවන වගන්තියෙන් “සාම නිලධාරියා” යන්නට පොලිස් නිලධරයන් සහ පොලිස් කාර්යය ඉටු කිරීම සඳහා දිසාපතිවරයා විසින් ලියවිල්ලකින් පත් කරන ග්‍රාම සේවා නිලධාරීන් ඇතුළත් වන බව සඳහන් කරන අතර, 1992 අංක 58 දරන බලතල පැවරීමේ පනතේ හතරවන වගන්තිය ප්‍රකාරව දිසාපතිවරයා සතුව තිබූ එකී බලතල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරන ලදි.
ප්‍රාදේශීය ලේකම්වරයෙකු විසින් පත්වීම් ලිපියකින්ම ග්‍රාම නිලධාරිවරයෙකු අදාල වසමේ සාම නිලධාරියා වශයෙන් පත් කරනුයේ උක්ත අණ පනත්වල නෛතික බලතල ද සහිතව ය. එනිසා වසමේ ආරවුල් විසඳීම සහ අදාල පුද්ගලයන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට යොමුකිරීමේ බලය ඔහුට පවතියි.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 22 වන වගන්තිය ප්‍රකාරව හදිසි මරණ සම්බන්ධ රාජකාරි, 32 වන වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයෙකුගේ ආඥාවක් නොමැතිව සහ වරෙන්තුවක් නොමැතිව එම වගන්තියේ දැක්වෙන වැරදි කරන්නන් සිරභාරයට ගැනීමට ද ග්‍රාම නිලධාරීවරයෙකුට බලය තිබේ.
තව ද, 1993 අංක 06 දරන සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධිත පනතේ 3, 4 වගන්ති අනුව ග්‍රාම නිලධාරිවරයාට පිස්කල් රාජකාරි කිරීමේ බලතල ලබා දී ඇත.
1907 අංක 16 දරන වන ආඥා පනතේ 2009 අංක 65 දරන සංශෝධනයේ 35 වන වගන්තිය ප්‍රකාරව වන නිලධරයකුගේ කර්තව්‍ය ඉටු කිරීමට ග්‍රාම නිලධාරීන් ද පත්කර ඇත.
13529 අංක දරන 1963.02.22 දිනැති ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද සුරාබදු නිවේදන 509හි 1(i) වගන්තිය ප්‍රකාරව සුරාබදු ආඥා පනතේ 33, 35, 45 හා 48(අ) වගන්ති යටතේ සිය බල ප්‍රදේශය ඇතුළත සුරාබදු රාජකාරීන් ඉටු කිරීම පිණිස ග්‍රාම නිලධාරීන් සුරාබදු නිලධාරීන් ලෙස පත් කරනු ලැබ ඇත.
එමෙන්ම 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45(2) වගන්තිය ප්‍රකාරව 1954/34 අංක දරන 2016.02.18 දිනැති ගැසට් පත්‍රයෙන් සෑම ග්‍රාම නිලධාරිවරයෙකුම තම වසම පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙක් වශයෙන් පත් කර ඇත.
මිට අමතරව සිතාසි භාරදීම, වරෙන්තු ක්‍රියාත්මක කිරීම ඇතුළු විශාල පරාසයක විහිදුණු රාජකාරි ප්‍රමාණයක් ග්‍රාම නිලධාරීවරුන්ට පැවරී ඇත.
කොරෝනා වසංගත සමයේ දී ද ඔවුන් කැපී පෙනෙන සේවයක් ඉටු කළ අතර, ඇඳිරිනීති බලපැවැත්වූ සමයේ ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ සිට එන්නත් ලබාදීම දක්වා විශාල වගකීම් ප්‍රමාණයක් ඔවුන් වෙත පැවරී තිබුණි.
ග්‍රාම නිලධාරී සේවය විධිමත් හා පුළුල් කළ යුත්තේ ඇයි?
'ග්‍රාම නිලධාරියා' ඉහත පෙන්වා දුන් සියලු නීතිවලට අදාලව වගකීම් දරන සිවිල් පරිපාලන නිලධාරියෙකි. ඔහුගේ නිලය 'බහුකාර්ය තාක්ෂණික නොවන' සේවයකි.
ආරවුල් විසඳීමේ සිට ජාවාරම් වැළක්වීම, බුද්ධි තොරතුරු වාර්තා කිරීම ද ඔහුට කළ හැකි ය.
අසංක කුලරත්න පෙන්වා දෙන්නේ සිවිල් පරිපාලනය දියුණු කිරීම රටකට ඉතා වැදගත් බව යි.
"වර්තමානයේ අපි දකිනවා හැමතැනම පොලිස් ස්ථාන හදමින් යනවා. නමුත් අපරාධ අඩුවෙලා නෑ. පොලිස් ස්ථාන වැඩියි කියන එක රටකට කළු පැල්ලමක්. එහි තේරුම සිවිල් පරිපාලනයක් නෑ කියන එක. සිවිල් පරිපාලනය ශක්තිමත් වීම රටකට ඉතා හොඳ දෙයක්. ඒ නිසා අපි ඉල්ලන්නේ සේවා ව්‍යවස්ථාවක් සකසලා නිසි බලතල ලබාදීලා, වැටුප්තල සකසලා, පුරප්පාඩු සඳහා අවශ්‍ය බඳවාගැනීම් කරලා අපේ සේවය විධිමත් කරන්න කියන එක යි."































