කලාකරුවන්, ක්‍රීඩකයන්, නිරූපණ ශිල්පීන් ඇතුළු අලුතෙන් බදු දැලට හසුවන්නේ කවුද? ජූනි 3 සිට බදු ගෙවිය යුතු කණ්ඩායමට ඔබත් ඇතුළත් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
පසුගිය දා දේශීය ආදායම් පනතට සිදු කළ නව සංශෝධනයත් සමග රැඳවුම් බදු ගෙවිය යුතු කාණ්ඩ ප්‍රමාණය පුළුල් වී තිබේ.
මෙම නව බදු දැලට, මීට පෙර ඇතුළත්ව නොතිබූ නව කාණ්ඩ රැසක් ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.
මීට පෙර ද මෙම රැඳවුම් බද්ද ගෙවිය යුතු පිරිසක් පනතේ සඳහන් වී තිබිණි.
කෙසේ වෙතත් මෙම නව සංශෝධනයෙන් එම පිරිසට අමතරව තවත් කාණ්ඩ 25ක් ඇතුළත් කර තිබේ.
මේ බද්ද අදාළ වෙන්නේ කොහොම ද?
මෙම රැඳවුම් බද්ද අදාළ වීමට සැපිරිය යුතු අවශ්‍යතා කිහිපයක් පවතියි.
පළමුව මෙය ආදාළ වන්නේ ශ්‍රී ලංකාවේ වාසය කරන තනි පුද්ගලයන්ට මිස ව්‍යාපාර හෝ සමාගම් වලට නොවේ.
මෙහිදී ඔබ යම් ආයතනයක සේවකයෙකු නොවන නමුත් එම ආයතනයට යම් සේවාවක් සපයන්නේ නම් මෙම බද්ද අදාළ වේ.
එය අදාළ වන ආදායම් සීමාවක් පවතින අතර, ඔබ රු. 100,000ක් හෝ ඊට වැඩි මුදලක් ඔබේ ගාස්තුව ලෙස ලබා ගන්නා අවස්ථාවක, ඔබේ සේවාව සඳහා ගාස්තුව ගෙවන ආයතනය විසින් ඔබේ ගාස්තුවෙන් 5%ක මුදලක් අඩු කරගෙන ඉතිරි මුදල ඔබගේ ගාස්තුව ලෙස ගෙවනු ලබයි.
ඉන්පසුව ඔබෙන් අඩු කරගත් 5%ක මුදල අදාළ ආයතනය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවා ඔබට රැඳවුම් බදු ගෙවූ බවට සහතිකයක් ලබා දිය යුතු ය.
මීට පෙර අදාළ වූ අය කවුද?
ගෙවීම කරන ආයතනයේ සේවය නොකරන නමුත්, යම් සේවාවක් ලබා ගැනීම සඳහා ගාස්තුවක් ගෙවනු ලබන සේවා සපයන්නන් සම්බන්ධයෙන් දේශීය ආදායම් පනතේ 85 වගන්තියේ දක්වා තිබේ.
ඒ අනුව,
- ඉගැන්වීම, දේශන පැවැත්වීම, විභාග පැවැත්වීම වැනි අධ්‍යාපන සේවා ලබා සඳහා ගෙවීම් ලබා ගන්නා අය
- කොමිස් මුදල් හෝ තැරව් ගාස්තු ලබා ගන්නා වාසික රක්ෂණ, අලෙවි හෝ ප්‍රචාරක නියෝජිතයන්
- වෛද්‍යවරුන්
- ඉංජිනේරුවන්
- නීතිඥයන්
- මෘදුකාංග සංවර්ධකයන්
- පර්යේෂකයන්
- ශාස්ත්‍රඥයන් සහ,
නියෝග මගින් නියම කරන යම් ස්වාධීන සේවා සපයන පුද්ගලයින් සිය සේවාවන් සඳහා ලබා ගන්නා රු. 100,000ක් හෝ වැඩි ගාස්තුවලින් 5%ක් මේ අනුව ගෙවිය යුතුව තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අලුතින් එක් වූ වෘත්තීන් මොනවා ද?
නව සංශෝධනය අනුව පහත සඳහන් වෘත්තීන්වල නියැළෙන පිරිස් ද ඉහත සඳහන් රැඳවුම් බද්ද ගෙවීම සිදු කළ යුතු ය.
- විගණකවරුන්
- නිරූපණ ශිල්පීන්
- පෞද්ගලික පුහුණුකරුවන්
- ක්‍රීඩා පුහුණුකරුවන්
- තක්සේරුකරුවන්
- කලාකරුවන්
- නළුවන්
- නර්තන ශිල්පීන්
- වීඩියෝ ශිල්පීන්
- චිකිත්සකවරුන්
- මනෝ චිකිත්සකවරුන්
- රූපලාවන්‍ය ශිල්පීන්
- අරක්කැමියන්
- විදුලි කාර්මික ශිල්පීන්
- දන්ත වෛද්‍යවරුන්
- පශු වෛද්‍යවරුන්
- සමාජ මාධ්‍ය විශේෂඥයන්
- සන්නාම තානාපතිවරුන්
- ක්‍රීඩකයන්
- තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥයන්
- ප්‍රචාරණ නියෝජිතයන්
- උපදේශකයන්
- භාෂා පරිවර්තකයන්
- ලේඛකයන්
- ණය එකතු කරන්නන්
ඔබ ගන්නා සෑම ගෙවීමකට ම මෙය අදාළ ද?
මෙම බද්ද අදාළ වන්නේ ඔබ ලබා ගන්නා රු. 100,000ක් හෝ ඊට වැඩි ගෙවීම් සඳහා පමණි.
උදාහරණයක් වශයෙන් ඔබ ආයතන කිහිපයකට නිරූපණ ශිල්පිනියක ලෙස සේවාවක් ලබා දෙන්නේ යැයි උපකල්පනය කරන්න.
එක් සමාගමකින් ඔබට රු. 120,000ක් ද තවත් ආයතනයකින් ඔබට රු. 75,000ක ගෙවීමක් සිදු කර තිබේ නම් මෙම රැඳවුම් බද්ද ගෙවීමට සිදු වන්නේ ඔබ ලබා ගත් රු. 120,000.00 ගෙවීම සඳහා පමණි.
ඔබට අදාළ ආයතනය විසින් ගෙවීම සිදු කරන්නේ ම 5%ක බදු මුදල අඩු කරගෙන යි.
පසුව ඔවුන් විසින් ඔබ වෙනුවෙන් එම බදු මුදල දේශීය අදායම් දෙපාර්තමේන්තුවට ගෙවනු ලබයි.
ඒ වෙනුවෙන් ඔවුන් ඔබට රැඳවුම් බද්ද ගෙවූ බවට සහතිකයක් ලබා දිය යුතු යි.
එම සහතිකය ඔබට එක් එක් වර්ෂයේ ඔබේ බදු වාර්තා ගොනු කිරීම (Tax Returns) සඳහා වැදගත් වේ.
බදු වාර්තා ගොනු කිරීමේදී මෙම බද්ද අදාළ වන්නේ කෙසේ ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන නන්දන කුමාර බීබීසී සිංහල වෙත පැහැදිලි කළේ මෙවැනි අයෙකුගේ වාර්ෂික ආදායම මත ගෙවිය යුතු ආදායම් බදු ගණනය කිරීමේදී වසර පුරා මෙලෙස ගෙවා ඇති රැඳවුම් බදු, ගෙවීමට ඇති මුළු බදු ප්‍රමාණයෙන් අඩු කළ හැකි බව ය.
නිරූපණ ශිල්පියෙකු උදාහරණයට ගෙන ඔහු එය පැහැදිලි කළේ ය.
"මොඩ්ල්ගේ ටැක්ස් එක ගණනය කරනවනේ, එතකොට එයාගේ විත්හෝල්ඩින් ටැක්ස් එක එයාට ක්‍රෙඩිට් එකක් විදිහට අඩු කරගන්න පුළුවන්," ඔහු පැවසුවේ ය.
තව ද ඔහු පැවසුවේ පුද්ගලික ආදායම් බදු නිදහස් සීමාව වන රු. ලක්ෂ 18ට වඩා අදාළ පුද්ගලයාගේ වාර්ෂික ආදායම අඩු නම්, බදු වාර්තා ගොනු කිරීමෙන් පසුව මේ ආකාරයට ගෙවා ඇති රැඳවුම් බද්ද නැවත ලබා ගැනීමට හැකි බව යි.
"එයාගේ අදායම අඩු නම්... උදාහරණයක් විදිහට එයා කරලා තියෙන්නේ එක ඉවෙන්ට් එකයි අවුරුද්දට ම. ලක්ෂ දෙකයි [ගාස්තුව]. ඒ ලක්ෂ දෙක බද්දට යටත් නැත්නම්, ඒක [ගෙවූ රැඳවුම් බද්ද] රිෆන්ඩ් එකක් විදිහට ගන්න පුළුවන්," පෙර උදාහරණය ම ගෙන කොමසාරිස් වරයා පැහැදිලි කළේ ය.
කෙසේවෙතත් යම් ආයතනයක් විසින් ඔබට ගෙවීම සිදු කරන විට මෙම බද්ද අය කරගෙන දේශීය අදායම් දෙපාර්තමේන්තුවට ගෙවීම සිදු නොකර සම්පූර්ණ මුදල ම ඔබට ගෙවා ඇති නම්, එම ආයතනයේ බදු ගණනය කිරීමේදී ඔබේ සේවාව වෙනුවෙන් ගෙවූ මුදල වියදමක් ලෙස දැක්වීමට අවස්ථාවක් ලබා නොදෙන බව ද කොමසාරිස්වරයා පැවසුවේ ය.
එවැනි අවස්ථාවක එම සම්පූර්ණ මුදල සඳහා 30%ක බද්දක් ගෙවීමට එම ආයතනයට සිදු වේ.

































