'අද මම ලෝකය දකින්නේ ඒ අය ඇස් දෙක දුන්න නිසා'

ඡායාරූප මූලාශ්‍රය, Eranga Madushan
අක්ෂි රෝගයකට ගොදුරුව දෙනෙත් අන්ධ වූ එරංග මධුෂාන් අද ලෝකය දකින්නේ වෙනෙකුගේ දෑසින්ය.
ඇසේ කුනිතය (Cornea) ඉදිරියට නෙරා ඒමේ රෝගයට ගොදුරු වු ඔහුට සිය දෙනෙත් කෙමින් කෙමින් අහිමි වන්නට විය.
හසලක මිනිපේ දිවි ගෙවන එරංග මධුෂාන් මහියංගනය රෝහලෙන් මුලින්ම ප්‍රතිකාර ලබා ගැනිමෙන් අනතුරුව මහනුවර ජාතික රෝහලෙන් සිය රෝගය හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කර ඇත.
“අවුරුදු 13 දී විතර මගේ ඇස්වල පෙනීම අඩු වෙන්න ගන්නවා ඊට පස්සේ අවුරුදු 16,17 වගේ වෙද්දි පෙනීම හොඳටම අඩු වෙනවා. ඉස්සෙලාම මහියංගනය රෝහලෙන් ප්‍රතිකාර ගත්තා එයාලා කණ්නාඩි තමයි පාවිච්චි කරන්න කිව්වේ. ඒකෙනුත් පෙනීම ගන්න බැරි වුන නිසා මම නුවර අක්ෂි රෝහලට ගියා. එහෙන් පරික්ෂා කරලා මට තියෙන රෝගය හොයාගත්තා. එතනින් මට ලෙන්ස් (සිවි කාච) දාන්න කිව්වා. ඒත් ඒවා දාගෙන ඉන්න බැහැ මගේ කුනිතය ඉස්සරහට එන නිසා කාච ඇහේ හිටින්නේ නැහැ, ඇහෙන් වැටෙනවා, ඇහැ කැපෙනවා. මම ඒවා දාගෙන ඉස්කෝලේ ගියත් පුදුම අමාරුවකින් හිටියේ.”
“ඉෂාන්ත ජයසේකර කියන වෛද්‍යතුමා තමයි මට කුනිතයක් බද්ධ කරනවා කියලා. තීරණය කළේ. ඊට පස්සේ 2019 වම් පැත්තේ ඇහැට කුනිතය බද්ධ කළා, ඊට පස්සේ දකුණු පැත්තේ ඇහැට 2021 දකුණු ඇහැට බද්ධ කළා.” ඔහු බීබීසි සිංහල සේවයට කියා සිටියේය.
පළමු කුනිතය බද්ධ කරන අවස්ථාව වන විට එරංගගේ දෑස් පෙනීම සම්පුර්ණය පාහේ දුර්වල වී ගොස් ඇති අතර ඔහු පැවසුවේ අලෝකය පමණක් දුටු නමුත් කිසිවක් හඳුනාගත නොහැකි මට්ටමේ සිටි බවයි.
ඔහුගේ වම් ඇසට කුනිතය ලබා දී ඇත්තේ මහනුවර රෝහලෙන් වන අතර අනෙක් කුනිතය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමය විසිනි.

ඡායාරූප මූලාශ්‍රය, Eranga Madushan
'O/L ලියද්දි එක ඇහැක් ඔපරේෂන් කළා. A/L ලියද්දි තව ඇහැක් දැම්මා'
දෙනෙත් නොපෙනී යාම නිසාවෙන් සිය අධ්‍යාපනයට වු බාධා මෙන්ම වෙනකෙකුගේ දෑසින් අධ්‍යාපන කටයුතු ජයගත් අයුරු එරංග විස්තර කළේ අහිංසක ආඩම්බරයකිනි.
“O/L ලියන්න තිබුන කාළේ තමයි පළවෙනි ඇහැ බද්ධ කරන්න තිබුනේ. ඒ නිසා මට විභාගේ ලියන්න බැරි වුනා. උසස් පෙළ අවුරුදු දෙකක් පහු වුනා ඇස්වල ප්‍රශ්නය නිසා.”
වසර දෙකක් උසස් පෙළ විභාගය අතපසු වු එරංග මධුෂාන් සිසුවා මේ දිනවල උසස් පෙළ විභාගයට සුදානම් වන අතර සමාන පෙළ විභාගය විශිෂ්ඨ සමාර්ථ නමයක් (A9) ලබාගෙන ඇත්තේ බද්ධ කරන ලද එක් ඇසකින් විභාගයට මුහුණ දීමෙන්ය.
“O/L ලියද්දි එක ඇහැක් ඔපරේෂන් කළා. A/L ලියද්දි තව ඇහැක් දැම්මා,”යි ඔහු කිවේ සිනාසෙමිනි.
එරංග අද වන විට ලෝකය දකින්නේ වෙනකෙකුගේ දෑසකින් ය. ඒවා කාගේ දැයි ඔහු නොදන්නා නමුත් ඇස් දන් දෙන සියලු දෙනා වෙත ඔහු හදවතින්ම සිය ස්තුතිය පුද කරයි.
“අද මම ලෝකය දකින්නේ ඒ අය ඇස් දෙක දුන්න නිසා. ඒ අය කරගත්තේ කියලා නිම කරගන්න බැරි පිනක්.”
‘අපේ ඇස්වලින් ලෝකයේ එක් ලක්ෂ පනස් තුන් දහසක් එළිය ලබනවා’
ලොව පුරා දහස දහස් ගණනකගේ ඇස් පාදන්නට ලාංකික ඇස් දන් දෙන්නන් පිහිට වී ඇත්තේ ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමය හරහා ය.
එම සංගමය ආරම්භ කළ දා සිටි මේ වසරේ සැප්තැම්බර් 10 වැනි දා වන විට ලොව පුරා පුද්ගලයින් එක් ලක්ෂ පනස් තුන් දහසකට එළිය ලබා දීමට ඔවුනට හැකිව තිබේ.
ඉන් අනු දහස් අනූවක් විදේශිකයින්ටත්, දේශිය වශයෙන් හැට අට දහස් තුන්සීය අනු හතර දෙනෙකුත් අන්ධ භාවයෙන් මුදා ගැනීමට හැකියාව ලැබුණු බව ජාත්‍යන්තර ඇස් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමයේ ජනත් සමන් මාතරආරච්චි බීබීසි සිංහල සේවය හා එක්වෙමින් කියා සිටියේය.
“ජපානය, චීනය, මැදපෙරදිග රටවල්, පාකිස්ථානය, යේමනය, සිරියාව, තායිලන්තය, මැලේසියාව වගේ රටවල් 57 ක නගර 117 කට අපි ඇස් දෙනවා. වසරකට විදේශ රටවලට අපි කුනිත 3000 – 3500 අතර ගාණක් යවනවා. දේශිය වශයෙන් 1000 – 1500 අතර ප්‍රමාණයක් පාවිච්චි වෙනවා,” යැයි හෙතෙම සඳහන් කළේය.

එක් කුනිතයක් සකස් කර විදේශයකට යැවීමට ඩොලර් 400ක පමණක් මුදලක් වැයවන මුත් දේශිය වශයෙන් මෙන්ම විදෙස් රටවලට කුනිත ලබාදීමට කිසිදු මුදලක් අය නොකරන බව ජනත් සමන් මාතරආරච්චි පැවසීය.
“අපි කුනිතයට සල්ලි ගන්නේ නැහැ. හැබැයි විදේශ රටවලින් දෙන ආධාරවලින් තමයි අපි මේ වැඩේ කරගෙන යන්නේ. ලංකාවේ අයගෙනුත් අපි සල්ලි ගන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ අයගෙන් අපි ආධාර ලබාගන්නෙත් නැහැ,” ජ්‍යෙෂ්ඨ කළමනාකරු පවසයි.
ගුණාත්මක භාවයෙන් උසස් ඇස් මෙරටින් ලබාගත හැකි වීම නිසා විදේශ රටවලින් විශාල වශයෙන් මෙරටින් අක්ෂි ලබා ගන්නා බව ද ඔහු සඳහන් කළේය.
“ලංකාවේ වැඩි වශයෙන් ඇස් දන් දෙන්න හේතුව අපේ බෞද්ධ දර්ශනය. සීයට අසුපහක් විතර තමයි ඇස් දන් දෙන්නේ. ඊට අමතරව කතෝලික අයයි හින්දු අයත් දෙනවා. ආසියාවේ වැඩියෙන්ම ඇස් දන් දෙන රට තමයි ශ්‍රී ලංකාව.”

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බීබීසී ගුවන් විදුලියෙන් ලොවම දැනගත් ඇස් දන් දීම
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමයේ ජනත් සමන් මාතරආරච්චි අක්ෂි දාන සංගමයේ ආරම්භය හා ඇස් දන්දීම ආරම්භ වු ඉතිහාසය දිගහැරියේ ය.
“ලංකාවේ කුනිත බද්ධ කිරිම සිදුවෙන්නේ 50 දශකයේ මුල් භාගයේ. මේ කාලේ ඇස් හොයාගන්න නිසි ක්‍රමවේදයක් තිබුනේ නැහැ. තිබුන එකම ක්‍රමවේදය තමයි එල්ලලා මරන අයගේ ඇස් ගන්න එක. හැබැයි රෝහල්වල ඉල්ලුමයි මේ ලැබෙන ප්‍රමාණයයි ඉතාම අඩුයි, මොකද අවුරුද්දකට එහෙම මරන්නේ වැඩිම වුනොත් 4 දෙනෙක් විතර වීම නිසා. මෙහෙම තියෙද්දි 1956 දී ලංකාවේ එල්ලුම් ගහ තහනම් වෙනවත් එක්කම ඇස් ලබා ගන්න ක්‍රමයක් නැතිව යනවා අන්ධ ජනතාව විශාල අපහසුතාවයකට පත් වෙනවා,” ඔහු සඳහන් කළේය.
“මේ වකවානුවේදී අක්ෂි දාන සංගමයේ නිර්මාතෘතුමන් හඩ්සන් සිල්වා එවක වෛද්‍ය සිසුවෙක් විදියට ඉද්දි 'මළ නෙතට පණ' කියලා ලිපියක් ලියනවා. ඒකෙන් කියන්නේ මැරිච්ච කෙනෙකුගේ ඇහැකින් අන්ධ කෙනෙකුට කොහොමද පෙනීම ලබා දෙන්නේ කියන කාරණාව. මේ ලිපිය ජනතාව අතර ජනප්‍රිය වෙනවා ජනතාව අතර. ඊට පස්සේ ඒ අයට ඕන වෙනවා මේකට සම්බන්ධ වෙන්න. හැබැයි එහෙම සම්බන්ධ වෙන්න ආයතනයක් තිබුනේ නැහැ. එතනදී තමයි 1961 ජුනි මාසේ 11 වැනිදා අපේ නිර්මාතෘ ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමය ආරම්භ කරන්නේ,” මාතරආරච්චි පෙන්වා දුන්නේ ය.
එසේ ආරම්භ කරන ලද සංගමය දේශීය වශයෙන් ඇස් ලබාදීම ආරම්භ කර ඇති අතර පරිත්‍යාගශීලින්ගෙන් ඇස් ලැබීම නිසා 1964 වන විට ඇස් අතිරික්තයක් දක්වා අක්ෂි දන් දීම වර්ධනය වී ඇත.
එසේ ලැබෙන ඇස් කුනිත විදේශ රටවලට ලබා දිමේ අරමුණින් සංගමයේ නිර්මාතෘ වෛද්‍ය හඩ්සන් සිල්වා විසින් විවිධ රටවලට ඇස් ලබා දිය හැකි බවට දන්වා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 1964 දී මෙරටින් කුනිත 6 ක් ලබා ගන්නා සිංගප්පුරුවේ මවුන්ට් එළිසබෙත් රෝහල එය රෝගීන්හට සාර්ථකව බද්ධ කර තිබේ.
මෙම සැත්කම් සාර්ථක වීම සම්බන්ධව බීබීසි ගුවන් විදුලියෙන් ප්‍රචාරයක් ලබා දීමෙන් පසුව ලොව රටවල් කිහිපයක්ම මෙරටින් කුනිත ඇනවුම් කිරිම ආරම්භ කරන ලද බව ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමයේ ජනත් සමන් මාතරආරච්චි කියා සිටියේය.
“සිංගප්පුරුවට යවපු කුනිත 6 තමයි අපේ පළවෙනි ජත්‍යාන්තර පරිත්‍යාගය වුණේ. ඒක බොහෝම සාර්ථකව බද්ධ කළා කියලා බීබීසි ගුවන් විදුලිය හරහා ලෝකයටම ප්‍රචාරයක් ලබා දුන්නා. මෙන්න මේක ප්‍රතිඵලයක් හැටියට ලෝකේ නන් දෙසින් අපෙන් ඇස් ලබා ගැනීමට කටයුතු කළා. අපේ ප්‍රමුඛතාවය වෙන්නේ දේශිය වශයෙන් ඇස් ලබා දීම. ඉතුරුවෙන ඇස් තමයි අපි පිටරටට යවන්නේ.”
ඉවත දමන ඇස් වෛද්‍ය පුහුණුවට
පරිත්‍යාගශීලියකුගෙන් ලබා ගන්නා ඇස් කුනිත දවස් 14ක් ඇතුළත අනිවාර්යෙන්ම අවශ්‍ය රෝගියකුට බද්ධ කළ යුතු වේ.
ලබා ගන්නා සෑම ඇසක්ම බද්ධ කිරිමට සුදුසු මට්ටමේ නැතැ යි කී ජනත් සමන් මාතරආරච්චි, එසේ වෙනත් අයෙකුට බද්ධ කළ නොහැකි අක්ෂි වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබා දෙන බව පැවසීය.
“හැම ඇහැක්ම අපිට පාවිච්චියට ගන්න බැහැ. මොකද අපි ඇහැ ගන්නේ පියවි ඇහෙන් බලලා ඒ තත්වය අනුව අපි ගන්නවා. අපි ඇහැක් ගත්තට පස්සේ ඒකේ ලැබ් එකට ගෙනල්ලා හරස් කඩක් අරගෙන බලනවා. එහෙම කරනකොට අපිට යම් ප්‍රමාණයක් ඉවත් කරන්න සිද්ද වෙනවා. හැබැයි ඇස් ඉවත් කරලා දාන්නේ නැහැ අපි ඒවා දෙනවා වෛද්‍යවරුන්ගේ පුහුණුව සඳහා.”
ඇස් බද්ධ කිරිමට වයස ගැලපීම, රුධිර වර්ගය ගැලපීම හෝ වෙනත් කිසිවක් ගැලපීම අවශ්‍ය නොවේ. එහෙත් වසංගත රෝග හෝ බෝ වන රෝග සහිත පුද්ගලයන්ගේ සහ සමාජ රෝග සහිත අය වැනි නිර්ණායක කිහිපයක් යටතේ ඇතැම් පුද්ගලයන්ගේ ඇස් බද්ධ කිරීමට යොදා ගනු නොලබයි.
ඇස් දන් දෙන්න පුළුවන් කොහොමද?
ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 21කට අධික පිරිසක් මරණින් පසු ඇස් දන්දීම සඳහා සිය සංගමයේ ලියාපදිංචි වී සිටින බව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පවසයි.
ඇස් දන් දීමට අවශ්‍ය නම් එය කළ හැකි ක්‍රම දෙකක් පවතින බව ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමයේ ජනත් සමන් මාතරආරච්චි බීබීසි සිංහල සේවය වෙත කියා සිටියේ පරිත්‍යාගශීලින්ගේ දැන ගැනීම පිණිස ය.
“ඇස් දන් දෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තමන් ජීවත්ව ඉද්දි පොරොන්දු පත්‍රයක් පුරවලා ඒකට දායක වෙන්න පුළුවන්. අනිත් එක තමයි තමන්ගේ ඥාතීන්ට පුළුවන් කෙනෙක් මැරුණට පස්සේ ඒ වැඩේ කරන්න. අක්ෂි දාන සංගමය කතා කරලා අපිට ඇස් දන් දෙන්න පුළුවන්.”
මරණයෙන් පැය 4 ක් ඉක්ම යාමට පෙර ඇස් ලබා ගත යුතු බව ද ඔහු අවධාරණය කළ අතර මිය ගොස් පැය 4න් පසුව සෛල මිය යාම ආරම්භ වීම හේතුවෙන් ඇස් ලබා ගත නොහැකි බව සඳහන් කළේය.
ඔබේගේ දෙනෙත් වෙනත් අයෙකුට දන් දීමට කැමත්තක් දක්වන්නේ නම් දුරකතන අංක 011 2692051 / 011 2696109 ඔස්සේ ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමය හා සම්බන්ධ වී ලියාපදිංචි විය හැකිය.































