ඉතිහාසයේ විශාලතම ඔට්ටු ඇල්ලීමේ ඉසව්ව මෙවර පාපන්දු ලෝක කුසලානය වෙයි ද?

    • Author, ෆ්‍රැන්සිස්කෝ වේලාස්කේස්
    • Role, ව්‍යාපාරික වාර්තාකරු
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

මෙවර FIFA පාපන්දු පිරිමි ලෝක කුසලානය ලොව පුරා විශාලතම ඔට්ටු ඇල්ලීමේ ඉසව්ව වීමට නියමිත අතර, ලොව පුරා ඩොලර් බිලියන 50කට (£37.4bn) වැඩි ඔට්ටු ඇල්ලීම් සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මූල්‍ය සේවා සමාගමක් වන Macquarie සිදුකරන අනාවැකියකට අනුව, සෑම තරගයක් සඳහා ම ඩොලර් මිලියන 500ක් පමණ ඔට්ටු අල්ලනු ඇතැයි අපේක්ෂා කරයි.

අපේක්ෂිත ඩොලර් බිලියන 50ක මුළු මුදල, 2022 කටාර්හි පැවති ලෝක කුසලාන තරගාවලියේදී ඔට්ටු අල්ලන්නන් තැබූ ඩොලර් බිලියන 35ක ඔට්ටුවලට වඩා සැලකිය යුතු වැඩි වීමක් වේ.

බොහෝ දෙනෙකුට කාලයත් සමඟ මුදල් අහිමි වන බවත්, ලෝක කුසලාන ඔට්ටු ඇල්ලීම ඇතැමුන්ට වඩාත් ඇබ්බැහි කරවන සූදුවකට යොමු විය හැකි බවත් සූදුව පිළිබඳ දැනුවත් කිරීමේ කණ්ඩායම් අනතුරු අඟවයි.

මෙවර තරගාවලියේ කණ්ඩායම් සංඛ්‍යාව 32 සිට 48 දක්වා ඉහළ ගොස් තිබීම ඔට්ටු ඇල්ලීමේ අපේක්ෂිත ආදායම වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව Macquarie හි විශ්ලේෂක චැඩ් බෙන්යන් පැවසීය.

එහි ප්‍රතිඵලයක් ලෙස, 2022 දී කටාර්හි පැවති තරග 64 ට සාපේක්ෂව, සති හයක කාලසටහන තුළ මෙවර තරග 100කට වඩා පැවැත්වෙනු ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝවේ හිතකර කාල කලාපයන් හේතුවෙන් විශේෂයෙන් යුරෝපයේ, ලතින් ඇමෙරිකාවේ සහ අප්‍රිකාව ද ඇතුළුව ගෝලීයව තරග නරඹන්නන් සංඛ්‍යාව වැඩි කෙරෙනු ඇති බවත් එමගින් ඔට්ටු ඇල්ලීමේ උනන්දුව ද වැඩි කෙරෙන බවත් බෙන්යන් තවදුරටත් පැවසීය.

මෙම තත්ත්වය වර්ධනය වීමට තවත් හේතුවක් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ධනය වන ක්‍රීඩා ඔට්ටු ඇල්ලීමේ වෙළෙඳපොළ ය. 2022 දී 40%ක් පමණ වූ ක්‍රීඩා සඳහා ඔට්ටු අල්ලන්නන් පිරිස දැන් 65% දක්වා ඉහළ ගොස් ඇත.

එයින් ඇඟවුම් කෙරෙන්නේ ඇමෙරිකාවේ බොහෝ දෙනෙකුට ඔට්ටු තැබිය හැකි පළමුවන ලෝක කුසලානය මෙය බවයි.

කෙසේ වෙතත්, ඔට්ටු තැබීමේ සමාගම්වලට එක් වරක් ඔට්ටු තබන්නන් නිත්‍ය පරිශීලකයින් බවට පත් කළ නොහැකි නම්, මෙම වැඩිවීම කෙටි කාලීන විය හැකි බව බෙන්යන් අනතුරු ඇඟවීය. එමෙන්ම සිය වෙබ් අඩවිවල කැසිනෝ පහසුකම් ඇති සමාගම්වලට මෙමගින් වැඩි ප්‍රයෝජනයක් අත්වෙනු ඇතැයි ඔහු පැවසුවේය.

Stop Predatory Gambling ජාතික අධ්‍යක්ෂ ලෙස් බර්නාල් අනතුරු ඇඟවූයේ "ලෝකය පුරා මිනිසුන් සිය දහස් ගණනක්, විශේෂයෙන්ම තරුණයින්, ලෝක කුසලාන තරගවලදී ඔට්ටු තැබීම නිසා ජීවිතය උඩුයටිකුරු වන ණය බර සහ ආර්ථික අපහසුතා වලට මුහුණ දෙනු ඇත" යනුවෙනි.

"ක්‍රීඩා ඔට්ටු අල්ලන පුද්ගලයින් සියදෙනෙකු ගත්තොත් ඉන් 99 දෙනෙකුට දීර්ඝ කාලීනව මුදල් අහිමිවීමක් වෙන්න පුළුවන්... වාණිජමය ක්‍රීඩා ඔට්ටු ක්‍රියාකරුවන්ගේ ව්‍යාපාර ආකෘතිය සම්පූර්ණයෙන්ම ඔට්ටු ඇල්ලීමට ඇබ්බැහි වූ පුද්ගලයන් මත පදනම්වයි ක්‍රියා කරන්නේ. ඒ ආකාරයේ ඇබ්බැහි වීම පීඩනයට පත්වන පුද්ගලයින් අතර සියදිවි නසා ගැනීමේ අනුපාතය වෙනත් කිසිවකට සමාන නොවෙන්න පුළුවන්," බර්නාල් පැවසුවේය.

ලෝක කුසලානය අතරතුර පුද්ගලයින් සුදූවට ඇබ්බැහි කරවීම සීමා කිරීමටත්, මුදල් අහිමි වීමෙන් ජනතාව ආරක්ෂා කරන ලෙසටත් ඔහු ලොව පුරා දේශපාලඥයින් ගෙන් ඉල්ලා සිටියේය.

එක්සත් රාජධානියේ, ඔට්ටු ඇල්ලීමේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරී මැට් සර්බ්-කසින් පැවසුවේ ලෝක කුසලානය සඳහා ඔට්ටු අල්ලන්නන් "වැඩි වැඩියෙන් ඇබ්බැහි කරවන කැසිනෝ අන්තර්ගතයන් ප්‍රවර්ධනය කරන" බවයි.

සමාජ පර්යේෂණ සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ වාර්තාවකට අනුව, එක්සත් රාජධානියේ සූදු සමාගම්වල ආදායම් වලින් 79%ක් හිමිවන්නේ ඉහළම වියදම් කරන්නන්ගෙන් 10%ක ගෙනි. එනම් ඔවුන් වසරකට අවම වශයෙන් පවුම් 5,639ක් ඔට්ටු තැබූ පුද්ගලයින් ය.

පුරෝකථන වෙළෙඳපොළ සඳහා නීති

Macquarie වාර්තාව නිකුත් වන්නේ ඇමෙරිකාවේ අන්තර්ජාලය මත ඇති පුරෝකථන වෙළෙඳපොළ සම්බන්ධ නීති තවත් දැඩි කිරීමට සූදානම් වෙමින් ඇති අවස්ථාවකය.

බදාදා, එක්සත් ජනපද අනාගත වෙළඳ භාණ්ඩ වෙළෙඳ කොමිසම (CFTC) ත්‍රස්තවාදය, ඝාතන, යුද්ධය, සූදු හෝ ෆෙඩරල් හෝ රාජ්‍ය නීතිය යටතේ ඕනෑ ම නීති විරෝධී ක්‍රියාකාරකමක් වැනි මාතෘකා සම්බන්ධයෙන් ඔට්ටු ඇල්ලීම සීමා කිරීමට යෝජනා කළේය.

ඉරාන සහ යුක්රේන යුද්ධ වැනි සිදුවීම්වලදී පරිශීලකයින්ට එකිනෙකාට එරෙහිව ඔට්ටු තැබීමට ඉඩ දීම සම්බන්ධයෙන් පුරෝකථන වෙළෙඳපොළ දැඩි විවේචනයට ලක්ව ඇත.

ප්‍රතිචාර හේතුවෙන්, පුරෝකථන වෙළෙඳපොළ මෙහෙයුම්කරුවෙකු වන කල්ෂි තවදුරටත් එම මාතෘකා සම්බන්ධයෙන් වෙළෙඳපොළ පවත්වාගෙන නොයයි.

තරගකාරී තවත් ආයතනයක් වන Polymarket තවමත් ඒවා සිදුකරනු ලබන නමුත් ඉන් මුදල් උපයන්නේ නැත. වෙළෙඳපොළෙන් මෙවා ඉවත් කළ ද සිදුවීම් වෙනස් නොවන බව ඔවුන් බීබීසී පුවත් වෙත පවසා ඇත.