Tax Officer කෙනෙකු ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවයට එක්විය හැක්කේ මෙහෙමයි

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උපදෙස් පරිදි මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ III ශ්‍රේණිය සඳහා පවතින පුරප්පාඩු 200ක් පිරවීම වෙනුවෙන් විවෘත තරග විභාගයක් පැවැත්වීමට අයැදුම්පත් කැඳවා තිබේ.

මෙරට දේශීය ආදායම් නිලධාරිවරයෙකුගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ රජයට ලැබිය යුතු බදු නීත්‍යනුකූලව හා කාර්යක්ෂමව එකතු කිරීමයි.

පුද්ගලයන් සහ ව්‍යාපාරවලින් අය විය යුතු ආදායම් බදු, වැට් වැනි බදු නිවැරදිව ගණනය කර එකතු කිරීම ඔවුන් සතු වගකීමකි.

ඊට අමතරව, බදු ගෙවන්නන්ගේ වාර්තා පරීක්ෂා කිරීම, බදු පැහැර හැරීම් පිළිබඳ විමර්ශනය කිරීම සහ බදු නීති පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඔවුන් සිදු කරන අනෙකුත් රාජකාරි අතර වෙයි.

අයැදුම්පත් කැඳවීම සිදුවන්නේ කෙසේ ද?

ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ III ශ්‍රේණිය තනතුර සඳහා අයැදුම් පත් කැඳවීම සිදුවේ. එම තනතුරට අදාළ පුරප්පාඩු 200ක් පිරවීම එහි අපේක්ෂාවයි.

මේ සඳහා අයැදුම් කළ හැක්කේ, මාර්ගගත ක්‍රමයට (Online) පමණි. ඒ සඳහා www.doenets.lk වෙබ් අඩවිය වෙත පිවිස 'Our Services' යටතේ ඇති 'Online Applications' මගින් අයැදුම් කළ හැකි වේ.

2026 අගෝස්තු 3 වන දින පෙ.ව. 9.00 සිට 2026 අගෝස්තු මස 31 වන දින ප.ව. 9.00 දක්වා අයැදුම්පත් භාර ගැනීම සිදුවේ.

2026 ඔක්තෝබර් මස කොළඹදී ඊට අදාළ විභාගය පැවැත්වෙනු ඇත.

විභාග ගාස්තුව ලෙස රු. 1,200ක මුදලක් ගෙවිය යුතු අතර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් ඒ සඳහා හැකියාව පවතී.

මූලික සුදුසකම් මොනවා ද?

අයැදුම්කරු ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය ය.

2026.8.31 දිනට වයස අවුරුදු 22ත් 28ත් අතර විය යුතු ය. එනම් 1998.08.31 සහ 2004.08.31 අතර උපන් පුද්ගලයින්ට මේ සඳහා අයැදුම් කළ හැක.

කෙසේ වෙතත් රාජ්‍ය හෝ පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් සඳහා උපරිම වයස් සීමාව අවුරුදු 35කි.

මෙම විවෘත තරග විභාගය සඳහා පෙනී සිටිය හැක්කේ වාර 2ක් පමණි.

අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් මොනවා ද?

මෙම තනතුර සඳහා අයැදුම් කරන්නෙකු පහත සඳහන් සුදුසුකම්වලින් එකක් සපුරා තිබීම අනිවාර්ය වේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත් රාජ්‍ය, විදේශීය හෝ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත විශ්වවිද්‍යාලයකින් ලබා ගත් පළමු වන හෝ දෙවන පන්තියේ පන්ති සාමාර්ථයක් සහිත අවම වසර 3ක උපාධියක් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු වීම හෝ වරලත් ගණකාධිකාරීවරයෙකු වීම එම සුදුසුකම් අතර වේ.

වැටුප් පරිමාණය සහ සේවා කොන්දේසි

රාජ්‍ය සේවයේ වැටුප් පරිමාණ සටහන් කරන්නේ අදාළ තනතුරේ ආරම්භක වැටුප, වසරින් වසර ලැබෙන වැටුප් වර්ධක (Increments) සහ එම තනතුරේ ලබාගත හැකි උපරිම මූලික වැටුප අනුවයි.

ඔබ මෙම තනතුරට බැඳුණු වහා ම ඔබට හිමි වන ආරම්භක මාසික මූලික වැටුප රුපියල් 82,150කි. (මීට අමතරව රජයෙන් ගෙවන වෙනත් දීමනා එකතු වේ).

තනතුරේ මුල් වසර 10 තුළ, සෑම වසරක් පා සාම ඔබේ මූලික වැටුපට රුපියල් 2,400 බැගින් එකතු වේ. ඊළඟ වසර 8 තුළ (එනම් 11 වන වසරේ සිට 18 වන වසර දක්වා), සෑම වසරක් පාසා ම ඔබේ මූලික වැටුපට රුපියල් 2,940 බැගින් එකතු වේ.

ඊළඟ වසර 17 තුළ, සෑම වසරක් පාසා ම ඔබේ මූලික වැටුපට රුපියල් 3,900 බැගින් වැටුප් වර්ධකයක් එකතු වේ.

මෙම තනතුරේ සිටියදී ඔබට ලබාගත හැකි උපරිම මාසික මූලික වැටුප රුපියල් 195,970කි. මෙම සේවා කාලය පුරා ම ලබන සියලු ම වැටුප් වර්ධක එකතු වූ විට අවසානයේ මෙම අගයට ළඟා වේ.

SL-1-2025 යනු, රාජ්‍ය සේවා චක්‍රලේඛ අනුව මෙම වැටුප් කාණ්ඩයට දී ඇති සංකේත නාමයයි. "SL-1" යනු රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ (Executive Grade) තනතුරුවලට අදාළ වැටුප් කේතය වන අතර, "2025" යනු එය අදාළ වන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ වර්ෂයයි.

රැකියාවේ ස්වභාවය ස්ථිර වන අතර විශ්‍රාම වැටුප් සහිත වේ. එමෙන් ම පරිවාස කාලය වසර 3කි. එහිදී වසර 3ක් ඇතුළත පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සහ නියමිත රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබාගත යුතු ය.

බඳවා ගැනීමේ පරීක්ෂණය පැවැත්වෙන්නේ කෙසේ ද?

බඳවා ගැනීම ලිඛිත විභාගයකින් සහ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකින් සිදු කෙරෙන අතර ලිඛිත විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර 3ක් ලබා දීම සිදුවේ.

විභාගය සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍යවලින් පැවැත්වෙන අතර, සියලු ම ප්‍රශ්න පත්‍රවලට එක ම භාෂා මාධ්‍යයකින් පිළිතුරු සැපයිය යුතු ය.

ලිඛිත විභාගයෙන් ඉහළ ම ලකුණු ලබන අයැදුම්කරුවන් සුදුසුකම් සපරා ඇතිදැයි පරීක්ෂා කිරීම සඳහා සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලබන අතර, කුසලතා අනුපිළිවෙලින් බඳවා ගැනීම් සිදු කරනු ලබයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර 2026 ජූලි 31 දිනැති රජයේ ගැසට් පත්‍රයෙන් හෝ www.doenets.lk වෙබ් අඩවිය වෙත පිවිස ලබා ගත හැක.