ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකා පොලිසියට වේශ නිරූපණ ශිල්පීන් බඳවා ගන්නේ ඇයි?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ශ්‍රී ලංකා පොලිසියේ, පොලිස් සහයක සේවාවට අයත් තනතුරුවල පවතින පුරප්පාඩු කිහිපයක් සඳහා නිලධාරීන් බඳවා ගැනීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයැදුම්පත් කැඳවා තිබේ.
උපපොලිස් පරීක්ෂක තනතුර සඳහා 177 දෙනෙකු සහ පොලිස් කොස්තාපල් තනතුරට 206 දෙනෙකු බඳවා ගැනිමට නියමිතව ඇති අතර ඇතැම් පුරප්පාඩු සඳහා පිරිමි සහ කාන්තා දෙපාර්ශවයට ම අයැදුම් කළ හැක.
සහයක සේවා යටතේ සහ ද්වීතියන සේවා පදනම මත මෙම බඳවා ගැනීම් සිදුකරන බව මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද ජූලි 10 දිනැති අංක 2497 ගැසට් පත්‍රයේ දක්වා ඇත.
අයැදුම් කරන්නේ කොහොම ද?
මෙම තනතුරු සහ ඊට අවශ්‍ය වෘත්තිය සුදුසුකම් මෙන් ම වැටුප්, බඳවා ගැනීමේ විස්තර මෙන් මෙන් ම එක් එක් තනතුරු සඳහා අදාළ කොන්දේසි ඇතුළු සියලු විස්තර එම ගැසට් පත්‍රයේ දැක්වේ.
බඳවා ගැනිමට අදාළ අයැදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් යොමු කළ යුතු අතර අයැදුම්පත් භාර ගැනීම අගෝස්තු 14 වන දා දක්වා සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.
www.police.lk වෙබ් අඩවියට පිවිස 'Join us' විකල්පය තෝරා ගැනීමෙන් හෝ ගැසට් නිවේදනයේ දක්වා ඇති QR කේතය ස්කෑන් කර අයැදුම්පත්‍රය වෙත ප්‍රවේශ වී එය සම්පූර්ණ කළ හැකි වේ.
කිසිදු අයැදුම්පතක් තැපැල් මගින් යොමු නොකළ යුතු බව මෙන් ම මාර්ගගත ක්‍රමයට යොමු කරන ලද අයැදුම්පතේ පිටපතක් මූලික පරීක්ෂණයට පැමිණිමේදී අයැදුම්කරු රැගෙන පැමිණ යුතු බව ද ගැසට් පතේ සඳහන් කර තිබේ.
උපපොලිස් පරීක්ෂක තනතුරු මොනවා ද?
වෙබ් අඩවි සංස්කාරක, වෙබ් අඩවි සංවර්ධන, පද්ධති විශ්ලේෂක, පරිගණක මෘදුකාංග පැකේජ උපදේශක, පරිගණක ක්‍රියාකරු, ග්‍රැෆික් නිර්මාණ උපදේශක, පරිගණක දෘඩාංග සහ ජාලකරණ උපදේශක, වැඩසටහන් සම්පාදක, ජාල පද්ධති පාලක, දත්ත, පද්ධති පාලන, කාර්මික ගෘහස්ථ, කාර්මික, ප්‍රමාණ සමීක්ෂක, භෝජනාගාර පාලක, සැලසුම් ශිල්පී, සූපවේදී සහ ක්‍රීඩා පිටි හා තණතීරු නඩත්තු උපදේශක යන උපපොලිස් පරීක්ෂක තනතුර සඳහා පිරිමින් පමණක් බඳවා ගැනේ.
ඊට අමතවර ඖෂධවේදී, විද්‍යුත් ඛන්තුක රේඛන ශිල්පී, වෛද්‍ය රසායනාගාර කාර්මික සහ හෙද නිලධාරී යන උපපොලිස් පරීක්ෂක තනතුර සඳහා කාන්තා සහ පිරිමි යන දෙපාර්ශවය ම බඳවා ගන්නා බව ගැසට් නිවේදනයේ දැක්වේ.
පොලිස් කොස්තාපල් තනතුරු මොනවා ද?
ශීතකරණ - අධිශීතකරණ අළුත්වැඩියා කාර්මික, වායු සමීකරණ යන්ත්‍ර කාර්මික, මහජන ඇමතුම් උපකරණ ක්‍රියාකරු, විදුලි වෑල්ඩින්කරු, මෝටර් ඔතන්නා, ඉලෙක්ට්‍රොනික් කාර්මික, කාර්මික, ඩෝසර් ක්‍රියාකරු, කුෂන් වැඩ කාර්මික, ලේත්, මැෂින් කාර්මික, ඇලුමිනියම් වැඩකරු, පරිගණක ක්‍රියාකරු සහ පරිගණක කාර්මික යන පොලිස් කොස්තාපල් තනතුර පිරිමි අයැදුම්කරුවන්ට පමණක් විවෘත වේ.
එමෙන් ම පද්ධති ක්‍රියාකරු, මහන මැෂින් කාර්මික, ගිනිඅවි අළුත්වැඩියාකරු, ඇන්ටනා සවි කරන්නා, කාය වර්ධන උපදේශක ශිල්පී, ඩෝසර් කාර්මික, පිහිණුම් තටාක උපදේශක, වෑද්දුම්කරු, වේදිකා ආලෝකකරණ ශිල්පී සහ ශබ්ද පරිපාලක යන තනතුරු සඳහා බඳවා ගනු ලබන්නේ ද පිරිමි නිලධාරීන් පමණි.
වේශ නිරූපණ ශිල්පී සහ ව්‍යායාම උපදේශක යන පොලිස් කොස්තාපල් තනතුරු සඳහා පිරිමි සහ කාන්තා දෙපාර්ශවය ම බඳවා ගන්නා බව ගැසට් පත්‍රයේ දක්වා ඇත.
වේශ නිරූපණ ශිල්පීන් බඳවා ගන්නේ ඇයි?
මෙවර බඳවා ගන්නා නිලධාරීන් අතරට වේශ නිරූපණ ශිල්පීන් ද අයත් වන අතර ඔවුන් පොලිස් සංස්කෘතික අංශයට බඳවා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහාකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් පැවසීය.
"වේශ නිරූපණ අංශය අලුතින් ම හඳුන්වා දීමක්. අපේ සංස්කෘතික කණ්ඩායම්වලට ඉල්ලුම වැඩියි. ඒ අය එක එක උත්සවවලට යනවා ගෙවීම් සහිතව," ඔහු බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ය.
මෙම බඳවා ගැනීම්වලට අදාළ සම්මුඛ පරීක්ෂණ අගෝස්තු 14 වන දායින් පසුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ පැවැත්වෙන බවපොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.