ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔබේ දරුවා සෝෂල් මීඩියාවල 'ස්ටාර්' කෙනෙක් ද? නැත්නම් 'ගොදුරක්' ද?
- Author, අමන්දිකා කුරේ
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
මෑතකදී මගේ සමාජ මාධ්‍ය ගිණුම්වල ඉහළ පහළ යන අතරතුර මා නෙත ගැටුණු වීඩියෝවක් විය.
එහි ඇතුළත් වූයේ තවමත් ප්‍රාථමික අධ්‍යාපනය ලබන බවට සිතිය හැකි වයසේ කුඩා පිරිමි දරුවෙකු පාසල් ඇඳුමකින් සැරසී සිදු කරන ඉදිරිපත් කිරීමකි.
මෙම ලිපිය කියවන ඔබ ද සමාජ මාධ්‍ය තුළ මෙම වීඩියෝව දකින්නට ඇති ඉඩ ඉතා ඉහළ ය.
කථික ශෛලියකින් ඔහු ඉදිරිපත් කළ ඉදිරිපත් කිරීම ඉන්පසු දින කිහිපයක් පුරා ම සමාජ මාධ්‍ය තුළ එය වෛරල් වූ අතර, එම සිදුවීම වී දැනට සති කිහිපයක් ගතවී ඇතත් තවමත් එම වීඩියෝවේ කොටස් සමාජ මධ්‍යයේ විවිධ මීම් සහ හාස්‍යජනක අදහස් දැක්වීම්වල දැකිය හැකි ය.
ඉන්පසුව නැවතත් එවැනි දරුවන් කිහිපදෙනෙකුගේ වීඩියෝ, මා ෆෙස්බුක්හි සැරිසරන අතරතුර දැකිය හැකි විය.
ඇතැම් වීඩියෝවල එම දරුවන් සමච්චලයට ලක්වන ආකාරයේ කමෙන්ට් රාශියක් ද දැකගත හැකි විය.
කුඩා ගැහැනු දරුවන්, පිරිමි දරුවන් මෙලෙස සිදු කරන ඉදිරිපත් කිරීම් පමණක් නොව වයස අවුරුදු 1ට අඩු හෝ වයස අවුරුදු 1-2 අතර දරුවන්ගේ වීඩියෝ ද මා හට එලෙස හමුවූ වීඩියෝ අතර විය.
මේ බොහොමයක් ගිණුම් දරුවාගේ දෙමව්පියන් විසින් පවත්වාගෙන යන ඒවා බවට නිරීක්ෂණය වූ අතර, ඇතැම් ඒවා එම දරුවන්ගේ සමීප ඥාතීන් විසින් පවත්වාගෙන යන ඒවා බව නිරීක්ෂණය විය.
මෙම වීඩියෝ සඳහා විශාල නැරඹුම් වාර සහ ප්‍රතිචාර හිමිව තිබෙන අයුරු ද මම නිරීක්ෂණය කළෙමි.
මෙලෙස මෑතකාලීනව විශාල වශයෙන් කුඩා දරුවන්ගේ වීඩියෝ ඔවුන්ගේ නමින් ම සකසා ඇති ගිණුම්වල පල කරන මේ ප්‍රවණතාවය සහ එහි අවදානමක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් තොරතුරු සොයාබැලීමට අදහසක් මා හට ඇතිවූයේ ඒ අනුව යි.
'දරුවන්ට අවස්ථාවක් ලබා දෙන අරමුණින් ආරම්භ කළ දෙයක්'
මා විසින් නරඹන ලද වීඩියෝවේ සිටි කුඩා පිරිමි දරුවාගේ දෙමව්පියන් සහ මාගේ ඇස ගැටුණු තවත් එවැනි කුඩා ගැහැනු දරුවෙකුගේ දෙමව්පියන් සම්බන්ධ කරගැනීමට මා උත්සහ කළේ ඒ සම්බන්ධයෙන් ඔවුන් දරන අදහස සම්බන්ධයෙන් දැනගැනීමට යි.
කුඩා දැරියගේ මව සහ පිරිමි දරුවාගේ පියා සම්බන්ධ කරගැනීමට ඒ අනුව මට හැකි විය.
ඔවුන් දෙදෙනා සමග ම සාකච්ඡා කිරීමේදී පැහැදිලි වූ දෙයක් වූයේ ඔවුන් එලෙස දරුවන්ගේ වීඩියෝ සමාජ මාධ්‍යයේ පල කිරීමට හේතුවී ඇත්තේ, ඔවුන් පවසන දරුවන්ගේ හැකියාවන් සඳහා අවස්ථාවක් ලබා ගැනීම සඳහා ය.
"අපි කලින් දවසේ රෑ මේකට සූදානම් වෙනවා. පහුවෙනිදට කියන්නේ මොකක්ද කියලා හදාගෙන නින්දට ගිහින් පහුවෙනිදා උදේ ඉස්කෝලේ යන්න දුව ලෑස්ති වුණාට පස්සේ උදේ 6.45ට විතර තමයි අපි වීඩියෝ කරලා දාන්නේ," අප සමග අදහස් දැක්වූ දැරියගේ මව පැවසුවා ය.
"අම්පාර කියන්නේ ටිකක් දුෂ්කර පැත්තක්නේ මීඩියා පැත්තෙන්," ඇය අප සමග පැවසුවා ය.
ඒ නිසා සිය දියණියගේ දක්ෂතා පෙන්වීමේ අරමුණින් වසරකට පමණ පෙර එම ෆේස්බුක් පිටුව ආරම්භ කළ බව එම මව පැවසුවා ය.
අප විසින් සම්බන්ධ කරගත් වෛරල් වූ වීඩියෝවේ සිටි කුඩා පිරිමි දරුවාගේ පියා ද පැවසුවේ ඊට සමාන කතාවකි.
"වයිෆ් තමයි කිව්වේ මෙහෙම පේජ් එකක් හදමු කියලා. ඒත් මට රැකියාවත් එක්ක ඒකට වෙලාවක් තිබුණේ නෑ. ඒ නිසා එයා ම කමියුනිකේෂන් එකකට ගිහින් හදාගත්තේ," එම දරුවාගේ පියා පැවසුවේ ය.
'සමාජ මාධ්‍ය කියන්නේ 50:50 අවස්ථාවක් තියෙන තැනක්'
මේ ආකාරයට දරුවන්ගේ වීඩියෝ වැනි දෑ සමාජ මාධ්‍යයේ බෙදා හදාගැනීම සම්බන්ධයෙන් නීතිමය පසුබිමක් තිබේ ද?
මේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලබා ගැනීම සඳහා බීබීසී සිංහල විසින් පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක සම්බන්ධ කරගන්නා ලදී.
"දෙමව්පියන් දෙදෙනාගේ ම කැමැත්තෙන් නම් දරුවාගේ වීඩියෝ දාන්නේ සහ ඒකෙ බලහත්කරීත්වය හෝ යම් අපරාධයක් සම්බන්ධයෙන් දෙයක් අඩංගු වෙන්නේ නැති නම්… එවැනි වීඩියෝ පල කිරීම සම්බන්ධයෙන් එහෙම නීතිමය පසුබිමක් නෑ," ඇය පැවසුවා ය.
නීතිමය පසුබිම එසේ වුවත් දරුවන්ගේ වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදාහැරිම සම්බන්ධයෙන් දෙමව්පියන් සැලකිලිමත් විය යුතු බව ඇය පවසයි.
"මේ වගේ වීඩියෝ නිසා දරුවන්ට අලුත් අවස්ථා ලැබෙන්න පුළුවන්. ඒ වගේ ම ඒක නරක පැත්තට යන්නත් පුළුවන්. ඒ නිසා මේ කොයි දේටත් 50:50 අවස්ථාවක් තියෙනවා කියන එක දෙමව්පියන් මතක තබාගන්න ඕනේ," එම ජ්‍යෙෂ්ඨ නිලධාරිනිය පැවසුවා ය.
අප නොදකින අවදානමක්
මෙවැනි දරුවන්ගේ වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම දැනට නීතිවිරෝධී දෙයක් නොවන නමුත් එම වීඩියෝ අප නොසිතන අවදාමක් ඇති කළ හැකි බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු තිනුරි තිසේරා පවසයි.
"පොඩි ළමයින්ව ඒ වගේ වීඩියෝ කරලා දාන එකේ ඇත්තට ම ගැටලුවක් තියෙනවා, හේතුව ගත්තොත් දැන් ලෝකේ පුරා ම AI තාක්ෂණය දියුණු වෙලා තියෙනවානේ. පොඩි ළමයින්ගේ පින්තූර, වීඩියෝ අරගෙන ඒවා වැරදි විදිහට යොදාගන්න අවදානම් තියෙනවා. ඇය පැහැදිලි කළා ය.
"මේවා AI තාක්ෂණයෙන් හදලා හෝ නිරුවත් දර්ශන විදිහට හදලා හෝ ඒවා බුලි කරන්න හෝ ඔන්ලයින් හැරස්මන්ට් කරන්න පාවිච්චි කරන්න පුළුවන්."
එමෙන් ම ඩීප් ෆේක් වැනි තාක්ෂණයන් යොදා ගනිමින් ඒවා විවිධ අපරාධ සඳහා යොදා ගැනීමේ අවදානමක් පවතින බව ඇය පෙන්වා දුන්නා ය.
එමෙන් ම එවැනි ව්‍යාජ වීඩියෝ සකසා දෙමව්පියන්ට ඒ තමාගේ දරුවා යැයි හැඟෙන පරිදි සකසා වංචා සිදු කිරීමට ද ඉඩ ඇති බව තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරිය පෙන්වා දුන්නා ය.
"කෙනෙක් තමන්ගේ දුව හෝ පුතාගේ දාන වීඩියෝ එකක ඒ දරුවාගේ කටහඬ සහ රූපය යොදාගනිමින් ඒ දෙමව්පියන්ව ම වංචාවලට හසු කරගන්න පුළුවන්," තිනුරි තිසේරා පැවසුවා ය.
එමෙන් ම ඇය තවදුරටත් පෙන්වා දුන්නේ කුඩා කාලයේදී ම දරුවන් මෙවැනි දේ වෙත යොමු වීමෙන් ඔවුන් දුරකතනවලට සහ ඩිජිටල් තිරවලට කුඩා කාලයේදී ම ඇබ්බැහි වීමේ අවදානමක් පවතින බව යි.
ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින තත්ත්වය සහ සදාචාරය පිළිබඳ එක් එක් අයට පවතින අවබෝධයන් වෙනස් නිසා, යම් ආකාරයකින් කුඩා දැරියකගේ නිරුවත් වීඩියෝවක් AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද අවස්ථාවක වුව ද, එය එම දැරිය කොන් කිරීමට ලක් කිරීමට හෝ අධ්‍යාපන කටයුතුවලට ප්‍රශ්න ඇති කළ හැකි තත්ත්වයක් ඇති කිරීමේ අවදානමක් ඇතැයි ඇය පවසයි.
"මේ වගේ දෙයක් හදලා ඒ ළමයාගේ පාසලේ ගුරුවරුන් අතර වගේ හුවමාරු වුණොත්, ඒ ළමයා ඒ පාසලේ අධ්‍යාපනය ලබන්න බැරි තත්ත්වයක් වුණත් ඇති වෙන්න පුළුවන්."
'මගේ දරුවා වැරදි දෙයක් නෙමෙයි කියන්නේ'
සිය දරුවන්ගේ වීඩියෝ විවිධ ෆේස්බුක් පිටු හරහා විවිධ අර්ථකතන ලබා දෙමින් හුවමාරු කරගන්නා ආකාරය සහ ඒවාට ලැබී තිබූ ඇතැම් සෘණාත්මක ප්‍රතිචාර සම්බන්ධයෙන් තමන් ද කලකිරීමට පත්වූ බව අප සමග අදහස් දැක්වූ මව සහ පියා පැවසූහ.
"ඇත්තට ම කිව්වොත් අපේ දුවගේ වීඩියෝවලට සමහර ඇය බැන බැන එක එක ඒවා දානවා. මේ පොඩි දරුවොනේ, එහෙම දරුවන්ට ඇයි බනින්නේ කියලා තේරෙන්නේ නෑ," දැරියගේ මව පැවසුවා ය.
"මට ඇත්තට ම මේක නවත්වන්නත් කිහිප වතාවක් හිතුණා, නමුත් ඇත්තට ම මගේ දරුවා කියන්නේ වැරදි දේවල් නෙවෙයිනේ. ඒ නිසා මම හිතුවා ඒ වගේ මිනිස්සු මොනවා කිව්වත් දරුවා වෙනුවෙන් මේ දේ කරනවා කියලා," ඇය අප සමග පැවසුවා ය.
එමෙන් ම කුඩා පිරිමි දරුවාගේ පියා ද පැවසුවේ දරුවාට යහපතක් කිරීමේ අරමුණින් එම කටයුත්ත විවිධ විවේචන මැද වුව ද සිදු කරන බව යි.
"අපේ පුතා කියන 'සත්‍ය බොහෝ ම කටුකයි' කියන වීඩියෝ එක වෛරල් යද්දී මම වයිෆ්ට කිව්වා මේක අපි අයින් කරමු කියලා. පස්සේ ඒ වීඩියෝ එක දැකලා පුතාගේ පෙරපාසල් ගුරුවරිය කතා කරලා කිව්වා ඒක අයින් කරන්න එපා කියලා. ඒ වගේ ම දරුවට දැන් මීඩියා ඉගෙන ගන්න අවස්ථාවකුත් ඒ නිසා ම ලැබිලා තියෙනවා," ඔහු පැවසුවේ ය.
"දැන් සමහර අය කියනවනේ මේ ෆේස්බුක් එකෙන් සල්ලි හම්බවෙන නිසා මේවා කරනවා කියලා. ඒක ඕන් වෙලා තිබුණට අපි ඒ සල්ලි ගන්න ඒවා මොකුත් කරලා නෑ මෙච්චර කාලෙකට. අපට ටින් නම්බර් එකකවත් නෑ. එනිසා අපි ඒවා මොකුත් කරලා නෑ," එම පියා පැවසුවේ ය.
ෆේස්බුක්හි පල කරන අන්තර්ගතයන් හරහා ශ්‍රී ලංකාවේ මුදල් ඉපයීමේ අවස්ථාව මෑතකදී හිමිවූ අතර, එහිදී ඒ සඳහා සුදුසුකම් ලබන ෆේස්බුක් ගිණුම් සඳහා ඔවුන්ගේ ගිණුම්වල පල කරන අන්තර්ගතයන්ට හිමිවන ප්‍රතිචාර ප්‍රමාණය අනුව සහ රීච් වෙන ආකාරයට අනුව මුදල් ඉපයීමට හැකි ය.
එමෙන් ම නව යොවුන් අය තරුණ තරුණියන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් සුවිශේෂී නීති නොමැති රටවල්වල වුව ද ෆේස්බුක් ගිණුමක් සකසා ගැනීමට වයස අවුරුදු 13ට වැඩි විය යුතු බව ෆේස්බුක් සමාගමේ ඇති කොන්දේසියකි.
'දරුවන්ගේ දක්ෂතා ඒ සඳහා සුදුසු ස්ථානවල පෙන්වන්න'
කෙවෙතත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ යහපත් චේතනාවකින් සිදු කළ ද දරුවන් සමාජ මාධ්‍යවලට නිරාවරණය කිරීම සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව යි.
"සමාජ මාධ්‍යය කියන්නේ සමාජය ම තමයි, ඒකෙ ධන සහ සෘණ කියන දෙක ම තියෙනවා. එතකොට දෙමව්පියන් යහපත් චේතනාවකින් වෙන්න පුළුවන් තමන්ගේ දරුවාව ප්‍රසිද්ධ කරන්න හදන්නේ," අප සමග අදහස් දැක්වූ එහි ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිනියක් කියා සිටියා ය.
"නමුත් ඒ සඳහා ගැලපෙන සභාවල තමයි ඒ දේවල් කළ යුත්තේ. මොකද අපි යහපත් චේතනාවකින් සමාජ මාධ්‍යයේ දරුවන්ගේ දේවල් ප්‍රසිද්ධ කළත් තමන්ගේ ළමයාව අගයන්න හරි, දියුණුවක් ලබන්න හරි අවස්ථාව නැති වෙන්න පුළුවන්. දෙමව්පියන්ට දැනුවත්කම තියෙන්න ඕනේ තමන්ගේ දරුවන්ව අගයන්න සුදුසු සභාවලට තමන්ගේ දරුවන්ව ඉදිරිපත් කරන්න."
තව ද ඇය පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ ඩිජිටල් අවකාශයට මුදා හරින දේවල් මකා දැමීම ඉතා අපහසු බව යි. අප එක් වරක් එය මකා දැමුවා ද නැවත නැවතත් එම වීඩියෝ හෝ ඡායාරූප වෙනත් අය විසින් පල කිරීමට හැකි බව එම නිලධාරිනිය පෙන්වා දෙයි.
"මතක තියාගන්න ඕනේ දෙයක් තමයි අපි දෙයක් සමාජ මාධ්‍යයට දානවා කියන්නේ ඒක මකලා ඉවර කරන්න බෑ. දරුවට දැනට ප්‍රශ්නයක් නැති වුණත් පස්සේ කාලෙකට මේ දේවල් දරුවට හානියක් වෙන දෙයක් වෙන්න පුළුවන්. අපි සමාජ මාධ්‍යයට දෙයක් දැම්මට පස්සේ අපි ඒක කොච්චර මැකුවත් ඒක කොහෙන් හරි මතු වෙන්න පුළුවන්," ඇය පවසයි.
දරුවාගේ දඟකාරකම් වෙන්න පුළුවන්, සමහර දරුවෝ නිකන් ඉන්න ගමන් කියන දෙයක් වෙන්න පුළුවන්, දරුවෙක් හදිසියේ ආව උද්දාමයක් ගැන ප්‍රතිචාර දක්වන දෙයක් වෙන්න පුළුවන්, මේ වගේ දරුවෙක්ගේ පල කරන ඕනේ ම දෙයක් ඒ අවස්ථාවේ හෝ පසු කාලීනව හෝ දරුවාට හානිකරන වෙන්න අවදානමක් තියෙනවා."
එමෙන් ම ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ සෑම දෙයක් ම නීති යොදා පාලනය කළ නොහැකි බව ය.
"හැම මිනිස් චර්යාවක් ම නීතියකින් පාලනය කරන්න බෑ, ඒ නිසා දෙමව්පියන් සෑම විට ම හැම දෙයක් ගැන ම සිතලා බලලා කටයුතු කරන්න ඕනේ," අප සමග අදහස් දැක්වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිනිය පැවසුවා ය.