වත්කම් හා බැරකම් ප්‍රකාශ 'වෙනත් කටයුතු සඳහා භාවිතය තහනම් කිරීම' ඇතුළුව දූෂණ විරෝධී පනතට ගෙන ඒමට යන සංශෝධන මොනවා ද?

Anti Corruption

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වූ කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

වත්කම් හා බැරකම් ප්‍රකාශ වෙනත් කටයුතු සඳහා භාවිතය තහනම් කිරීම සහ පනතේ ඇප ලබා දීම සඳහා වූ වගන්ති නව සංශෝධනයෙන් වෙනස් කර ඇත.

ප්‍රධාන ප්‍රඥප්තියේ සිංහල භාෂා පිටපතේ ඇති වරදක් නිවැරදි කිරීමට, රාජ්‍ය සංස්ථාවල මාණ්ඩලික නිලධරයන් ඇතුළත් කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ විධිවිධාන ඇතුළත් කිරීම වැනි කාර්ය කිහිපයක් ද මෙම සංශෝධනය හරහා යෝජනා කර තිබේ.

වත්කම් හා බැරකම් ප්‍රකාශ සම්බන්ධව ඇතුළත් කර ඇති වගන්තිය

යම් නිලධරයෙකුට හෝ යම් ආයතනයකට ඉදිරිපත් කිරීමට හැර වෙනත් අයෙකුට ඉදිරිපත් කිරීම සඳහා වත්කම් බැරකම් ප්‍රකාශයේ සංස්කරණ පිටපතක් ලබා නොගත යුතු බවත්, එලෙස යමෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් රහස්‍යභාවය උල්ලංඝනය කරමින් භාවිත කිරීම වරදක් ලෙසත් සංශෝධන කෙටුම්පතට නව වගන්තියක් එක් කොට තිබේ.

"වෙනත් යම් තැනැත්තකුගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශයක සංස්කරණය කළ පිටපතක් ලබා ගන්නා තැනැත්තකු විසින් 86 වන වගන්තිය යටතේ ඒ ප්‍රකාශය යම් නිලධරයකුට හෝ යම් ආයතනයකට ඉදිරිපත් කිරීමට හැර වෙනත් යම් කාර්යයකට එකී ප්‍රකාශය භාවිත කරනු නොලැබිය යුතු ය."

"වෙනත් යම් තැනැත්තකුගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශයක සංස්කරණය කළ පිටපතක් එකී තැනැත්තාගේ රහස්‍යභාවය උල්ලංඝනය කරමින් වෙනත් යම් තැනැත්තකු විසින් භාවිත කරයි නම් එකී තැනැත්තා විසින් වරදක් සිදු කරනු ලබන අතර මහෙස්ත්‍රාත්වරයකු විසින් පවත්වනු ‌ලබන ලඝු නඩු විභාගයකින් පසුව වරදකරු කරනු ලැබීමේ දී රුපියල් ලක්ෂයක් නොඉක්මවන දඩයකට හෝ වසරක් නොඉක්මවන කාල සීමාවකට බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය හෝ බන්ධනාගාරගත කිරීම යන දෙකට ම හෝ යටත් විය යුතු ය." එහි වැඩිදුරටත් සදහන්ය.

එමෙන් ම, ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන්ට, සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ට වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ විධිවිධාන අදාළ කිරීම ද නව සංශෝධනය හරහා සිදුකර තිබේ.

ඡන්ද අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ගැන සිදුකර ඇති සංශෝධනය

ඡන්ද අපේක්ෂකයන් විසින් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම ද නව සංශෝධනය හරහා වෙනස් කිරීමට යෝජනා කර ඇත.

දූෂණ විරෝධී පනත අනුව මැතිවරණවලට ඉදිරිපත් වෙන සියලු අපේක්ෂකයන් විසින් වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ අකෘති පිටපතක් සහ වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශයේ ලුහුඬු සටහනක් ඒ අපේක්ෂකයාගේ නාමයෝජනා පත්‍ර සමග මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාර දිය යුතු වේ.

නව සංශෝධනය මගින් එය වෙනස් කර ඇති අතර සියලු අපේක්ෂකයන් විසින් වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ පිටපතක් නාම යෝජනා පත්‍ර සමග මැතිවරණ කොමසාරිස් වෙත භාර දිය යුතු බව දක්වා ඇත.

"89.80 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ප) ඡේදයේ සඳහන් කරන ලද මැතිවරණවල සියලු අපේක්ෂකයන් විසින් වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ පිටපතක් ඒ අපේක්ෂකයාගේ නාමයෝජනා පත්‍ර සමග මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාරදිය යුතු ය," යැයි සංශෝධනයේ සඳහන් වේ.

ඇප ලබා දීමේ බලය මහාධිකරණයට

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නව සංශෝධනය හරහා පනතේ වැරදි සඳහා සැකකරුවකු වන තැනැත්තෙකුට ඇප ලබා දීමේ ක්‍රියාවලිය වෙනස් කර ඇත.

දැනට මහේස්ත්‍රාත් අධිකරණ වෙත ලබා දී ඇති ඇප ලබා දීමේ බලය නව සංශෝධනය හරහා මහාධිකරණයට ලබා දීමට යෝජනා කර තිබේ.

"1997 අංක 30 දරන ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව මේ පනත යටතේ වන සියලු වැරදි සංඥෙය සහ ඇප දිය නොහැකි වැරදි විය යුතු ය," යැයි එහි සඳහන් වේ.

"එසේ වුව ද, රුපියල් ලක්ෂයකට වඩා නොඅඩු අල්ලසක් ඉල්ලා සිටීම, පිළිගැනීම සහ පිරිනැමීම පිළිබඳව සැක කරනු ලබන හෝ චෝදනා කරනු ලබන තැනැත්තකු හෝ දූෂණ වරද සිදු කිරීමෙන් රජයට රුපියල් ලක්ෂ පහකට නොඅඩු පාඩුවක් සිදු කරන ලද හෝ තමාට හෝ වෙනත් යම් තැනැත්තකුට රුපියල් ලක්ෂ පහකට නොඅඩු ප්‍රතිලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් අත් කරගෙන ඇති, එකී වටිනාකම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන සහතිකයක් මගින් ස්ථිර කරනු ලැබ ඇති විට ඒ සැකකරු හෝ චූදිතයා වෙත මහාධිකරණයක් විසින් විශේෂ අවස්ථානුගත කාරණාවක දී හැර ඇප ලබා දෙනු නොලැබිය යුතු ය," යන්න නව සංශෝධනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මීට අමතරව 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට මෙන්ම ආදේශ කිරීම් කිහිපයක් සිදුකිරීමට ද නව සංශෝධනය හරහා යෝජනා කර තිබේ.

'යෝජිත සංශෝධනයේ ඍණාත්මක වෙනස්කම් දෙකක්'

දූෂණ විරෝධී පනතට යෝජිත සංශෝධනය මගින් වත්කම් ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ඍණාත්මක වෙනස්කම් දෙකක් සිදුකර ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදී විවෘතභාවය සහ දූෂණ විරෝධය සම්බන්ධයෙන් සිදුකරන බරපතළ පසුබැසීමක් බව වෙරිටේ රිසර්ච් ආයතනයේ නීතිය සහ ආණ්ඩුකරණය පිළිබඳ ප්‍රධානී, නීතිඥ සංඛිතා ගුණරත්න බීබීසී සිංහල සේවය වෙත පැවසුවා ය.

"පළමුව, පුද්ගලයෙකු විසින් ලබාගන්නා ලද වත්කම් ප්‍රකාශනයක් බලධාරීන්ට හැර වෙනත් කිසිවෙකුට ලබාදීම හෝ බෙදාහැරීම වරදක් බවට පත් කිරීමට මෙම සංශෝධනයෙන් යෝජනා කර තියෙනවා. එයින් අදහස් වන්නේ ජනමාධ්‍යයට හෝ පුරවැසියන්ට වත්කම් ප්‍රකාශනයක අන්තර්ගතය පිළිබඳ සාකච්ඡා කිරීමට පවා නොහැකි වීම යි. වත්කම් ප්‍රකාශන මහජනතාවට විවෘත කිරීමේ ප්‍රධාන අරමුණක් වන මහජන වගවීම මෙයින් සීමා වෙනවා," ඇය පෙන්වා දෙයි.

"පුද්ගලයකුගේ රහස්‍යය භාවයක් උල්ලංඝනය කරනු ලැබිය හැකි," ඕනෑ ම තොරතුරක් සංස්කරණය කොට ප්‍රසිද්ධියට පත් කිරීමෙන් ඉවත් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) බලය ලබාදීම තොරතුරු සම්බන්ධව අත්නෝමතික ලෙස තීරණ ගැනීමේ හැකියාවක් එම කොමිසමට ලබා දීමක් බව ද ඇය කියා සිටියා ය.

'අත්තනෝමතික ලෙස තීරණ ගැනීමේ හැකියාව ලබා දීම'

යෝජිත සංශෝධනට අනුව, ඒ සඳහා කොමිෂන් සභාව කිසිදු රෙගුලාසියක් නිකුත් කළ යුතු නොවන අතර එම තීරණ සඳහා හේතු දැක්වීමේ වගකීමක් ද පනවා නොමැති බව ද නීතිඥ සංඛිතා ගුණරත්න පෙන්වා දුන්නා ය.

"මෙය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සහ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ දැනට පවතින නීතිමය රාමුව මත පදනම් වීම වෙනුවට, මහජනතාවට දැකිය හැකි සහ නොදැකිය හැකි තොරතුරු සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස තීරණ ගැනීමේ හැකියාව මෙමගින් අල්ලස් කොමිෂන් සභාවට ලබා දෙනවා."

"මෙය ඉතා අසීරුවෙන් දිනාගත් විනිවිදභාවය සහ වගවීම පිළිබඳ ප්‍රතිපාදන ආපසු හැරවීමක් වන අතර දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණවලට බරපතළ හානියක් සිදු කරනවා," යැයි නීතිඥවරිය බීබීසී සිංහල සේවය සමග කියා සිටියා ය.

තවද, අනෙකුත් බොහෝ නීතිමය සංශෝධන මෙන් ම, දූෂණ විරෝධී පනතට යෝජිත මෙම සංශෝධන ද කිසිදු මහජන අදහස් විමසීමකින් හෝ විවෘත ක්‍රියාවලියකින් තොරව ඉදිරිපත් කර තිබීම සම්බන්ධව වෙරිටේ රිසර්ච් ආයතනයේ නීතිය සහ ආණ්ඩුකරණය පිළිබඳ ප්‍රධානී, නීතිඥ සංඛිතා ගුණරත්න සිය කනස්සල්ල පළ කළා ය.

ජනපතිගේ යෝජනාවක්

මෙම සංශෝධන සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබා දීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ නිල වෙබ් අඩවියේ අදහස් දැක්වීමක් කර තිබේ.

එහි දැක්වෙන පරිදි මෙම පනත සංශෝධනයට අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, ජනාධිපති අනුර කුමාර දිසානායක ය.

එම අදහස් දැක්වීම මෙසේ ය.

'2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත බලාත්මක වීමෙන් පසු එම පනතට අනුව විමර්ශන, නඩු පැවරීම, පරිපාලනමය සහ අධිකරණමය කටයුතු සිදු කිරීමට යාමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සැලකිය යුතු නෛතික අර්ථනිරූපණ හා තාක්ෂණික ගැටලුවලට මුහුණපෑමට සිදු වී ඇත.

එබැවින්, ඉහත සඳහන් පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට සහ අලුතින් වගන්ති කිහිපයක් එකී පනතට හඳුන්වා දීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යෝජනා කර තිබේ.

ඒ අනුව, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ විධිවිධාන අධ්‍යයනය කර අත්‍යවශ්‍යයෙන් ම සංශෝධනය කළ යුතු වගන්ති හා ඇතුළත් කළ යුතු නව වගන්ති පිළිබඳව නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විතව කමිටුවක් පත් කිරීම සඳහා ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.'