ලිංගිකත්වය වෙනස් කර ගැනීමට ඉඩ සලසන චක්‍රලේඛ: මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙරට කාන්තාවන්ට හා පිරිමින්ට ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මාර්ගයෙන් සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර දෙමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ මෙන් ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපන්ති නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබිණි.
මෙම පෙත්සම අද (ජූලි 20) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබී ය.
එම අවස්ථාවේදී පෙත්සම්කාර ශාන්ත ජයතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජීව විද්‍යාත්මක පදනමින් බැහැරව වෛද්‍ය සැත්කම් මගින් යම් අයෙකුට ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමට නීතිමය හැකියාවක් නොමැති බව සඳහන් කළේ ය.
"ස්වාමීනි ...2015 වසරේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ චක්‍රලේඛ හා මාර්ගෝපදේශ අනුව මනෝ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ සහතිකයක් මත පුද්ගලයෙකුට සිය ලිංගික අනන්‍යතාව සැත්කමක් මාර්ගයෙන් වෙනස් කර ගැනීමට ඉඩ සලසා තිබෙනවා. මේක සම්පූර්ණයෙන් ම නීතියට පටහැනියි. මේ ආකාරයට ලිංගික වෙනස් වීමකට භාජනය වන පුද්ගලයින්ට අලුතින් උප්පැන්න සහතික හා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට රජය කටයුතු කරනවා. ඒකත් සම්පූර්ණයෙන් ම වැරදි යි," පෙත්සම්කරු පැවසීය.
ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනි... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ හැක්කේ එම අයිතිවාසිකම් උල්ලංඝනය සිදුවී මාසයක් තුළ පමණ යි. නමුත් මේ පෙත්සම්කරු 2015 වසරේ සිට 2024 වසර දක්වා නිකුත් කර තිබෙන චක්‍රලේඛ අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබෙනවා. නමුත් ඔහු මේ නඩුකරය ඉදිරිපත් කරන්නේ 2026 වසරේ. ඒ අනුව මේක කාලාවරෝධී වූ නඩුකරයක්," යනුවෙන් පැවසීය. ඒ අනුව අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඉන් අනතුරුව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ආචාර්ය රාධිකා කුමාරස්වාමි ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනී... මේ පෙත්සම තුළින් පෙත්සම්කරු පාර්ලිමේන්තුව මගින් සම්මත කළ 2024 අංක 37 දරන කාන්තාවන් සවි බල ගැන්වීමේ පනත බලරහිත කරන ලෙස ඉල්ලා තිබෙනවා. එය පාර්ලිමේන්තුව මගින් සම්මත කරනු ලැබූ පනතක්. ඊට කතානායකවරයා අත්සන් යෙදූ අවස්ථාවේ සිට එය රටේ නීතියක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. පෙත්සම්කරු ඉල්ලා සිටින ආකාරයට එවැනි නීත්‍යනුකූල ආකාරයෙන් සම්මත වූ පනතක් බලරහිත කරන ලෙස නියෝග නිකුත් කිරීමට හැකියාවක් නැහැ. ඒක ජනතා පරමාධිපත්‍යයට පටහැනි යි," යනුවෙන් පැවසීය.
ඉන් අනතුරුව කාන්තා මාධ්‍ය එකමුතුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය. "මෙම පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක පෞද්ගලිකව නම් කර තිබෙනවා. ඒක සම්පූර්ණයෙන් ම වැරදි යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා ජනාධිපතිවරයාට එරෙහිව නඩු කටයුත්තක් ඉදිරිපත් කළ නොහැකි බවට. ජනාධිපතිවරයාට එරෙහිව නඩු කටයුත්තක් ඉදිරිපත් කළ හැක්කේ නීතිපතිවරයා වගඋත්තරකරු කරමින් පමණ යි. නමුත් එම නීතිමය ප්රතිපාදනය මෙම පෙත්සමේ අනුගමනය කර නැහැ."
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඒ අනුව මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව ද ඔහු විවෘත අධිකරණයේදී පැවසුවේ ය.
එයින් අනතුරුව තවත් අතරමැදි පෙත්සම්කරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් නීතිඥ පුලස්ති හේවාමාන්න ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.
අතරමැදි පෙත්සම්කරුවන්ගේ දේශන අවසන් වීමෙන් පසුව පෙත්සම්කරු ඇමතු අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන "අතරමැදි පෙත්සම්කරුවන් ප්‍රකාශ කර තිබෙනවා මෙම ක්‍රියාව තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ කෙසේ දැයි නිශ්චිතව ඔබ පැහැදිලි කර නොමැති බව. මේ හරහා ඔබගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ කෙසේ ද?" යනුවෙන් විමසුවේය.
ඊට පිළිතුරු දුන් පෙත්සම්කාර ශාන්ත ජයතිලක මෙසේ පැවසීය.
"ස්වාමීනි... 2015 වසරේ සිට නිකුත් කර තිබෙන චක්‍රලේඛ තුළින් ඕනෑ ම කාන්තාවකට හෝ පිරිමියෙකුට අවස්ථාව සැලසෙනවා තමන්ගේ ලිංගික අනන්‍යතාව වෙනස් කර ගැනීමට. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කර තිබෙන චක්‍රලේඛයක් අනුව තමයි එය සිදුවන්නේ. ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව එවැනි ලිංගික අනන්‍යතා වෙනස් කර ගැනීමක් සිදුකිරීමට හැකියාවක් නෑ... ස්වාමීනි. මේක සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි ක්‍රියාවක්."
එම අවස්ථාවේදී පෙත්සම්කරු වෙත තවත් ප්‍රශ්නයක් මතු කළ අගවිනිසුරුවරයා " හරි... ඒකෙන් ඔබට තිබෙන ප්රශ්නය කුමක් ද?" යනුවෙන් විමසුවේ ය.
ඊට ප්‍රතිචාර දැක්වූ පෙත්සම්කරු "මේක තමයි ප්රශ්නය ස්වාමීනි ...සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයාට මෙවැනි චක්‍රලේඛයක් නිකුත් කරන්න නීතියෙන් බලය නෑ. ඒකයි මා සඳහන් කරන්නේ," යනුවෙන් පැවසීය.
සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්රමුඛ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමට අදාළව අතරමැදි පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගන්නා බවත්, ඒ අනුව මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කරන බවත් නියෝග කළේ ය.

































