ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අපේක්ෂා රෝහලේ රෝගීන්ට තැඹිලි ලබා දීම නතර කර තිබේ ද? ඉදිරියේදී පරිත්‍යාග ලබා දිය යුත්තේ කොහොම ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
මහරගම පිළිකා රෝහල හෙවත් අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට බාහිර පුද්ගලයන් විසින් කලක් තිස්සේ කරගෙන ගිය තැඹිලි ලබා දීමේ වැඩසටහන් අවලංගු කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
ඒ වෙනුවට එලෙස ලබා දෙන පරිත්‍යාග රෝහල වෙත ලබා දී රෝගීන් වෙත සෞඛ්‍යාරක්ෂිතව ලබා දීමට කටයුතු කරන ලෙස අපේක්ෂා රෝහල් පාලනාධිකාරිය ඉල්ලීමක් කර ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පිරිස් සෑම දිනක ම පාහේ මෙසේ අපේක්ෂා රෝහලේ රෝගීන්ට තැඹිලි ලබා දීම සම්බන්ධ තොරතුරු සහ එසේ ලබා දීමට අවශ්‍ය තැඹිලි ඉල්ලා කරනු ලබන ආයාචනයන් ද පසුගිය කාලය පුරා ම සමාජ මාධ්‍යවල දැකගත හැකි විය.
තැඹිලි ලබාදීම අවලංගු කිරීමේ නිවේදනය
අපේක්ෂා රෝහලේ පාලනාධිකාරිය ජූනි 01 වන දා සිට රෝගීන්ට තැඹිලි දාන ලබා දීම නැවැත්වීමට කටයුතු කර තිබේ.
ඒ සම්බන්ධව ජාතික පිළිකා ආයතනයේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාරගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයක සඳහන් කර ඇත්තේ, බාහිර පුද්ගලයන් විසින් තැඹිලි වතුර ලබා දීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරුන්, සියලු අංශ ප්‍රධානීන් හා රෝහල් කමිටුව සමග සාකච්ඡා කර මෙම ක්‍රියාවලිය නතර කිරීමට පියවර ගත් බව ය.
"මෙම ක්‍රියාවලිය පිළිබඳව මතු වූ සියලු කරුණු සලකා බලා රෝගී සත්කාර සේවාවට අනිසි ලෙස බලපාන අයුරින් කිසිදු ප්‍රමිතියකින් තොරව අපිරිසිදු ලෙස දැඩි ලෙස අසාධ්‍ය වූ රෝගීන්ට (ප්‍රතිශක්තිකරණය හීන වූ) මෙම තැඹිලි වතුර ලබා දීම හා වාට්ටු තුළ පිටස්තර පුද්ගලයින් අවශ්‍ය ආරක්ෂිත මුව ආවරණ සහ අත්වැසුම් පැළදීමකින් තොරව මෙම ක්‍රියාවලියට සම්බන්ධ වීම හා එහිදී රෝගීන්ගේ පෞද්ගලිකභාවයට හානි වන අයුරින් ඡායාරූපකරණය හා වීඩියෝගත කිරීම, සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීම තුළින් රෝගීන්හට බාහිරින් පැමිණෙන විෂබීජ ශරීරගත වීම, පෞද්ගලිකත්වයට හානි සිදු වීම වැනි කාරණා සලකා බලා මෙම දාන ක්‍රියාවලිය වහා ම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීම සියලු ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ එකඟතාව පරිදි සිදු කරන බව දැනුම් දෙමි," යනුවෙන් එම නිවේදනයේ සඳහන් කර තිබේ.
පරිත්‍යාගශීලීන්ට තැඹිලි ලබා දිය හැක්කේ කෙසේ ද?
ආහාර පනතට හා ස්වස්ථතා නියෝගවලට අනුකූලව සෞඛ්යාරක්ෂිත ලෙස මෙම ක්‍රියාවලිය සිදු නොවීම සහ ඉතා විශාල සහභාගීත්වයක් හරහා රෝහල තුළ අනාරක්ෂිතභාවයක් මතු වීම මෙන් ම නීති විරෝධී කටයුතුවල යෙදෙන පුද්ගල කණ්ඩායම් මෙම ක්‍රියාවලිය හා සම්බන්ධ බවට වාර්තා වන හෙයින් එම කරුණු ද සලකා බලා මෙම පියවර ගත් බව එම නිවේදනයේ සඳහන් කර ඇත.
රෝහල සඳහා දිනකට අවශ්‍ය කරනු ලබන තැඹිලි ගෙඩි සංඛ්‍යාව 100-200 ප්‍රමාණයක් දක්වා වන බව ඇස්තමේන්තුගත කර ඇති බවත් එම ප්‍රමාණය පරිත්‍යාගශීලීන්හට ආහාර ඇණවුම් නිලධාරී හරහා ප්‍රධාන මුළුතැන්ගෙයට ලබා දීමේ හැකියාව පවතින බව ද ජාතික පිළිකා ආයතනය නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේ.
නව රෝහල් අධ්යක්ෂවරයා තැඹිලි දාන අවලංගු කළේ ඇයි?
සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි ජාතික පිළිකා ආයතනයේ ඉහළ නිලධාරීයෙකු බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ, රෝගීන් වෙත තැඹිලි ලබා දෙන ක්‍රමවේදය විධිමත් කිරීමක් මිස එලෙස පරිත්‍යාග ලබා දීම නතර කර නොමැති බව ය.
මෙතෙක් කලක් පැවති එම අවිධිමත් ක්‍රමය රෝහලේ නව අධ්යක්ෂවරයා ලෙස පැමිණි විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර විසින් වෙනස් කර තැඹිලි ඇතුළු අනෙකුත් පරිත්‍යාග රෝහල හරහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ ලබා දීමට කටයුතු කරනු ලැබුවේ, ඒ හරහා සිදුවන ජාවාරම් වැළැක්වීමේ අරමුණින් යුතුව බව එම ප්‍රකාශකයා කියා පැවසීය.
වෙනත් ආධාර ලැබෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් තැඹිලි ආධාර ලබා දීමට මේ වන විටත් රෝහල තුළ ලියාපදිංචි වී ඇති බවත් එම කාලය මාස 6 ද ඉක්මවා ඇති බව සඳහන් කළ එම ප්‍රකාශකයා, එලෙස පිටස්තර පුද්ගලයන් විසින් තැඹිලි ලබා දීමේදී නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් රෝගීන් වෙත දැඩි තර්ජනයක් එල්ල කරන බව ද පැවසීය.
එමෙන් ම, එම නිලධාරියා සඳහන් කළ පරිදි ආධාර ලබා දීම සිදු කිරීම විධිමත් පරිදි සිදුනොවූ බවත්, ඇතැම් අවස්ථාවලදී ආධාර ලෙස පිළිකා රෝගීන්ට නුසුදුසු ආහාර ලබා දෙන අවස්ථා ද පවතින බැවින් ජාතික පිළිකා ආයතනයේ හිටපු අධ්යක්ෂවරයා ආධාර ලබා දීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට උත්සහ කළ බවත් එහි එක් පියවරක් ලෙස මෙලෙස අවිධිමත් ලෙස තැඹිලි ලබා දීමේ ක්‍රමවේදය අවලංගු කළ බවත් ය.
විධිමත් ක්‍රමවේදයක් හදන්නැයි පරිත්‍යාශීලීන්ගේ ඉල්ලීමක්
සචිනි ජයවර්ධන අවස්ථා කිහිපයකදී අපේක්ෂා රෝහලේ රෝගීන්හට තැඹිලි වතුර ලබා දීමට තම මිතුරන් හා එක්ව කටයුතු කර තිබේ.
අපේක්ෂා රෝහල විසින් පෙර පැවති ක්‍රමවේදය වෙනස් කිරීම සම්බන්ධව ඇය බීබීසී සිංහල සේවය සමග අදහස් පළ කළා ය.
"සෝෂල් මීඩියාවලින් තමයි මමත් දැක්කේ අපේක්ෂා රෝහලේ තැඹිලි දාන දෙන එක නවත්වලා කියලා. හැබැයි රෝහලෙන් දාලා තියෙන නිවේදනයකුත් දැක්කා රෝහලට තැඹිලි භාර දෙන්න පුළුවන් කියලා. එහෙම හරි ක්‍රමයක් තියෙනවා නම් හොඳයි. එතකොට අපි වගේ තැඹිලි දෙන්න ඉන්න අයටත් රෝහලේ ඉන්න රෝගීන්ටත් ඒක ලොකු සහනයක් වෙනවා නේ."
මීට පෙර ද තැඹිලි ලබා දීමට කලින් වෙන් කළ දිනයක් ලබා ගත යුතුව තිබූ බව ඇය සඳහන් කළ අතර, එහෙත් රෝගීන් වෙත තැඹිලි ලබා දීමේ වඩා විධිමත් ක්‍රමවේදයක් නොදුටු බවත් රෝහල විසින් විධිමත් ක්‍රමවේදයක් සකස් කරනු ලබන්නේ නම් එය රෝගීන්ට යහපතක් වනු ඇති බවට ඇය විශ්වාසය පළ කළා ය.