සුරේෂ් සලේගේ නඩුවට අදාළව ජාතික රෝහල් අධ්‍යක්ෂවරයාට නොතීසි නිකුත් කළේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, ITJP
රෝහල්ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වන දා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නොතිසි නිකුත් කිරීමට නියෝග කළේ ය.
අදාළ පැමිණිල්ල අද (සැප්: 15) කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
'විශාල වෛද්‍ය කුමන්ත්‍රණයක් තිබෙනවා'
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්" ස්වාමීනී... මෙම සැකකරු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබිය යුතුද? නැද්ද? යන කරුණ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඔබතුමා පසුගිය 02 වැනි දා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කළා. එම වෛද්‍ය වාර්තාව මෙතෙක් ඇවිල්ලා නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒ පිළිබඳව විමසීමක් කර තිබෙනවා. මේ අවස්ථාවේදී ජාතික රෝහල දැනුම් දී තිබෙනවා එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලබා දිය නොහැකි බවත් එය අධිකරණයට එවන බවත් සඳහන් කර තිබෙනවා. එහෙත් එම වාර්තාව මෙතෙක් එවා නෑ. ස්වාමීනි...මෙහි විශාල වෛද්‍ය කුමන්ත්‍රණයක් තිබෙනවා. හෘද වස්තුව බද්ධ කලත් රෝහල්ගතව සිටින්නේ දින දහයක් පහළොවක් පමණයි. නමුත් මේ සැකකරු දින සීයක් පමණ රෝහල්ගතව සිටිනවා. ඔහුට ප්‍රතිකාර වශයෙන් කරල තිබෙන්නේ දත් පිරවීම, කන් සුද්ද කිරීම වැනි කටයුතු පමණයි. මේ වන විට කරලා තිබෙන්නේ ඔහුගේ හෘද ස්පන්දනය විධිමත් කිරීමේ යන්ත්‍රයක් සවි කිරීම පමණයි. ඒක විශාල ශල්‍යකර්මයක් නෙවෙයි. ඔහු රෝහල් ගතවෙලා සිටින්නේ හේතු දෙකක් මත. එකක් තමයි විමර්ශන අඩාල කිරීම. දෙවැන්න තමයි ඔහුට ඉහළින් සිටින පුද්ගලයින් ආරක්ෂා කිරීම. එක් අවස්ථාවකදී මොහු මනෝ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් අත්අඩංගුවෙන් බේරීමට උත්සාහ කළා. ඉන්පසුව ඔහුගේ හාම්පුතුන්ට විරුද්ධව විදේශ ගමන් තහනම ගත්තට පස්සේ දින තුනකින් ආහාර වර්ජනයක් ආරම්භ කලා. මේ සැකකරු රෝහල ඔහුගේ විවේකාගාරය කරගෙන." යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල් වරයා මේ සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.
මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය ඉන්පසුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට වාර්තා කළේය.
"ස්වාමීනි... මේ දක්වා සිදුකළ විමර්ශන වලින් පැහැදිලිව පෙනී ගොස් තිබෙනවා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳ ඛේදවාචකය ගැන යුද හමුදා බුද්ධි බලකායේ පිරිසක් කලින් දැනගෙන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් ආකාරය. ස්වාමීනි... පලමුවන යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකාය ක්‍රියාත්මක වන්නේ වවුනියාව ප්‍රදේශයේ සිට. තුන්වන සන්නද්ධ බුද්ධි බළකාය ක්‍රියාත්මක වන්නේ ගිරිතලේ ප්‍රදේශයේ සිට. පසුගිය කාලයේ දේශපාලන ඝාතන හා ප්‍රහාර සිදු කළේ මේ ගිරිතලේ බුද්ධි බලකා කඳවුරේ සිට. ගිරිතලේ බුද්ධි බලකා කඳවුරට තොරතුරු ලබාදෙන "තම්බියන්" නමැති තොරතුරුකරුවෙකු සිටිනවා. ඔහු කොටි සංවිධානයෙන් ඉවත් වූ පුද්ගලයෙක්. ඔහු ඉන්දියානු බුද්ධි අංශ සමගත් කටයුතු කර තිබෙනවා. මේ පුද්ගලයා යුද හමුදා බුද්ධි අංශයටත් තොරතුරු ලබා දෙනවා. මේ ඔත්තුකරු භාරව කටයුතු කරන්නේ කෝප්‍රල් සුරංග. කෝප්‍රල් සුරංගට ඉහළින් සිටිනවා කර්නල් රණවීර. මේ "තම්බියන්" නමැති පුද්ගලයා සහරාන්ලාගේ ක්‍රියාකාරකම් ගැන කෝප්‍රල් සුරංගට තොරතුරු ලබා දෙනවා. නමුත් ඒ තොරතුරු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ චූලා කොඩිතුවක්කු වෙත ලබාදීමක් සිදුවන්නේ නෑ. පාස්කු ප්‍රහාරයට පෙර දිනත් මේ ඔත්තුකරු පසුදා එල්ලවීමට නියමිත ප්‍රහාරය ගැන යුද හමුදා බුද්ධි අංශයට තොරතුරු ලබා දෙනවා. නමුත් යුද හමුදා බුද්ධි අංශය කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ. නිහඬව සිටිනවා. මේක රණවිරු ක්‍රියාවක්ද? එහෙමත් නැත්නම් දේශද්‍රෝහී ක්‍රියාවක්ද? කියලා මම අහන්න කැමතියි. පාස්කු ප්‍රහාරයට පෙර දින ලැබුණු මෙම තොරතුර ගැන යුද හමුදා බුද්ධි අංශයට පොලිසිය සමඟ සාකච්ඡා කරන්න තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්න තිබුණා. ඒත් ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. ප්‍රහාරය සිදුවන්නට ඉඩ දී බලාගෙන සිටියා. ඔවුන් වහා ක්‍රියාත්මක වුණා නම් මෙම ප්‍රහාරය වළක්වා ගන්න හැකියාව තිබුණා" යනුවෙන් පැවසීය.
වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා" ඒ වගේම දේශපාලකයකු වන රිෂාඩ් බදියුදීන් සහ ව්‍යාපාරිකයෙකු වන අලව්දින් සම්බන්ධයෙන් මා කරුණු දැක්වීමට බලාපොරොත්තු වෙනවා. පාස්කු ප්‍රහාරයෙන් මියගිය මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු වන ඉන්සාෆ්ගේ මාමණ්ඩිය තමයි ව්‍යාපාරික අලව්දීන්. පාස්කු ප්‍රහාරයෙන් පසුව මේ අලව්දින් නැමති පුද්ගලයාගේ දියණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රැඳුවුම් නියෝග මත රඳවාගෙන පරීක්ෂණ සිදු කරනවා. නමුත් 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව රැඳවුම් නියෝග මත සිටී මේ තැනැත්තිය නිදහස් කිරීම සිදුවෙනවා.
මෙවැනි ක්‍රියා සිදුකර ගැනීම සඳහා තමයි සැකකාර සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත්කර ගන්නේ. ඔහු කළේ සහරාන් පිළිබඳ තොරතුරු වසන් කර පහළ මට්ටමේ සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම පමණයි.
විමර්ශනවලදී අනාවරණය වෙලා තිබෙනවා මේ අලව්දින් නැමති ව්‍යාපාරිකයාගේ සතු අධිවේගී බෝට්ටුවලින් සහ සහරාන් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් වරින් වර ඉන්දියාවට ගොස් මෙරටට පැමිණ තිබෙන බවට. ඒ අනුව සහරාන්ලාගේ කටයුතුවලට අලව්දින් නැමති ව්‍යාපාරිකයා සහය ලබාදීලා තිබෙනවා. රිෂාඩ් බදියුදීන් නමැත්තා දේශපාලන රැකවරණය ලබාදීලා තිබෙනවා "යනුවෙන් පැවසීය.
වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා "පාස්කු ප්‍රහාරය එල්ල වී දින පහකට පසුව සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් 16 දෙනෙකු මිය යනවා. යුද හමුදා විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් තමයි මේ තත්ත්වය ඇතිවුණේ. මෙහි සිටි පුද්ගලයින්ව ජීවග්‍රහයෙන් අල්ලගන්න හැකියාව තිබුණා. එසේ තිබියදී ප්‍රහාර එල්ල කොට මේ පුද්ගලයින් සියලු දෙනා විනාශ කළේ ඇයිද කියන කාරණය පිළිබඳව සැක මතු ව තිබෙනවා. මේ ප්‍රහාරය ගැන තොරතුරු ගන්න ගිය නියාස් නමැති මාධ්‍යවේදියකුත් මරණයට පත්වුණා. මේක නැගෙනහිර පළාතේ යුද හමුදාව යටතේ පැවැති ප්‍රදේශයක්."මේ පිළිබඳවත් වැඩිදුර විමර්ශන සිදු කරන බව ඔහු සඳහන් කළේය.
බුද්ධි අංශ නිලධාරියෙකුට විදේශ ගමන් තහනමක්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වැඩිදුරටත් විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට පැහැදිලි කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා "ස්වාමීනි ජාතික බුද්ධි සේවය තුළ තිබෙනවා අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බලන අංශයක්. එය භාරව කටයුතු කළේ පොලිස් පරීක්ෂක රන්ජන් සෙනරත් බණ්ඩාර නමැත්තෙක්. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට විදේශීය බුද්ධි සේවයකින් 2019 වසරේ අප්‍රේල් මස 03 වනදා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට තොරතුරු ලැබෙනවා. පසුව නිලන්ත ජයවර්ධන ඔහු යටතේ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මල්ලවාරච්චිට මේ තොරතුර ලබාදෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව විසින් මේ තොරතුර වැඩිදුර කටයුතු කිරීම සඳහා පොලිස් පරීක්ෂක බණ්ඩාරට ලබා දෙනවා. පසුව ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක බණ්ඩාර නැගෙනහිර පළාතට ගොස් "සෙයිනි" නැමැති පුද්ගලයා මුණගැසෙනවා. "සෙයිනි" යනු සහරන්ගේ බාල සොහොයුරා. ඔහු සයින්දමරුදු ප්‍රහාරයෙන් මිය ගියා. ඒ අවස්ථාවේදී පොලිස් පරීක්ෂක බණ්ඩාර විසින් සෙයිනි නමැත්තාව අත්අඩංගුවට ගෙන තිබුණා නම් මේ ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා. නමුත් ඔහු එසේ කළේ නැහැ. ඔහු කළේ සෙයිනි මුණගැසී කතා කරලා තේ එකක් බීලා ආපසු ඒම පමණයි. මේ පුද්ගලයාගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙනුත් සැකයක් මතුවෙලා තිබෙනවා. එම නිසා ඔහු විදේශගත වීමේ අවදානමක් මතුවී තිබෙනවා. ඒ හේතුවෙන් මෙම පුද්ගලයාට රටින් පිටවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා" යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේ ය.
ඉන් අනතුරුව සුරේෂ් සලේ වෙනුවෙන් නීතීඥ අසිත් සිරිවර්ධන සමග පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින්" ස්වාමීනි... බී වාර්තාවල ඕන පචයක් දාන්න පුළුවන්. ඒත් ඒවා සාක්ෂි නෙවෙයි. පැමිණිල්ලේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළා. නමුත් ඒ තුළ මගේ සේවාදායකයාට සම්බන්ධ කරුණු ඉදිරිපත් වුණේ නෑ. මගේ සේවා දායකයාගේ ගෝලයෝ මේවා කළා කියලයි සඳහන් කළේ. මගේ සේවා දායකයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස ඔබතුමා නියෝගයක් කළා. එය ඉදිරිපත් කළ යුත්තේ වෛද්‍ය බලධාරීන් විසින්. ස්වාමීනී මට රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා තරම් වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුමක් නෑ. මොකද නීති විද්‍යාලයේවත් නීතිපති දෙපාර්තමේන්තුවේ වත් වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුම ලබාදෙන අංශයක් තිබුණේ නෑ. ඒ නිසා වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් මගේ උගත් මිත්‍රයා ඉදිරිපත් කරන කරුණු ගැන මට කිසිවක් කීමට හැකියාවක් නෑ "යනුවෙන් සඳහන් කර සිටියේ ය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතු මහේස්ත්‍රාත්වරයා" මෙම සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණය විසින් පත්කළ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් විසින් වාර්තාවක් කැඳවීමට නියෝගයක් නිකුත් කළා. එම වාර්තාව සකස් කිරීම සඳහා පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය විසින් කොළඹ ජාතික රෝහලින් තොරතුරු ඉල්ලා තිබෙනවා. ඔවුන්ට දැනුම් දීලත් තිබෙනවා එවැනි තොරතුරු අවශ්‍ය නම් අධිකරණය හරහා ඉල්ලීම් කරන්න කියලා." යනුවෙන් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
ඉන් අනතුරුව මෙම පැමිණිල්ල නැවත ලබන 22 වනදා කැඳවීමටද අධිකරණය නියම කර සිටියේ ය.
ඉකුත් 02 වනදා අධිකරණය විසින් කළ නියෝගය පරිදි රෝහල්ගතව සිටින සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් නොකිරීම සහ පංච පුද්ගලයා වෛද්‍ය මණ්ඩලය විසින් ඉල්ලා සිටි තොරතුරු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ මීළඟ නඩු දිනයේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නොතිසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.

































