'දේශබන්දු ඇතුළු තිදෙනෙකු ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා'

ඡායාරූප මූලාශ්‍රය, Google
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
2024 ජනාධිපතිවරණය සමයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන අය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීම තුළින් එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනෙකු පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්. 15) තීන්දු කළේ ය.
ඒ අනුව, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් රු. 50,000ක් බැගින් සහ අදාළ විමර්ශනය සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින් රු. 10,000 බැගින් පෙත්සම්කාර ශානි අබේසේකරට සහ රවී සෙනෙවිරත්නට වන්දි ගෙවිය යුතු බව ද තීන්දුවේ සඳහන් විය.
වගඋත්තරකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදු කරන ලද පැමිණිල්ල දේශපාලනික අරමුණකින් යුතුව සිදු කළ ද්වේශසහගත පැමිණිල්ලක් බවත්, ඒ මත විමර්ශන ඇරඹීම තුළින් වගඋත්තරකරුවන් පෙත්සම්කාර ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් තීන්දුවේ සඳහන් විය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මෙම තීන්දුව ලබා දුන්නේ ය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉකුත් ජනාධිපතිවරණය සමයේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන අය විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේ ය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ගිහාන් කුලතුංග මෙලෙස සඳහන් කළේ ය:
"පෙත්සම්කරුවන් ඉකුත් ජනාධිපතිවරණය සමයේ ජාතික ජන බලවේගයට සම්බන්ධ පොලිස් සාමූහිකයට සම්බන්ධ වෙමින් කටයුතු කර තිබෙනවා.
"මෙම සිද්ධියට අදාළව පැමිණිල්ල ඉදිරිපත් කළ වගඋත්තරකාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන වෙනත් දේශපාලන ප්‍රවාහයකට සහය පළ කරමින් කටයුතු කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට චෝදනා කරමින් වගඋත්තරකාර නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් 2024 වසරේ ජූලි 24 වන දා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"ඉන් පසුව ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළා. එම දෙපාර්තමේන්තුවේ සේවය කළ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින් අදාළ පැමිණිල්ල පදනම් කරගෙන පෙත්සම්කරුවන්ට විරුද්ධව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
"ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල මත තමන්ට එරෙහිව සිදුකරන විමර්ශනය ද්වේශසහගත බව පෙන්වා දෙමින් පෙත්සම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා. ඒ තුළින් අදාළ විමර්ශනය පදනම් කරගෙන තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ද ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා."
ඉන් අනතුරුව වැඩිදුරටත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා මෙලෙස පැවසීය:
"මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන්නේ වගඋත්තරකාර නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි. එම පැමිණිල්ල දේශපාලන අරමුණක් සහිතව ඉදිරිපත් කළ පැමිණිල්ලක් බව පෙනී යයි. එය ද්වේෂසහගත අරමුණකින් ඉදිරිපත් කර ඇති බවත් පැහැදිලි වෙයි.
"එම පැමිණිල්ල මත විමර්ශන ආරම්භ කිරීමෙන් අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා සහ අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන යන අය පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙනවා.
"ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 12(1) සහ 13(1) යන ව්‍යවස්ථාවන් මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට අත්‍යාසන්න තත්ත්වයක් මේ තුළින් උද්ගත වෙලා තිබෙනවා."
විනිසුරුවරයා අනතුරුව මෙසේ ද පැවසීය:
"මෙම පෙත්සම මීට පෙර කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර ශානි අබේසේකරට සහ රවී සෙනවිරත්නට අදාළ විමර්ශන කටයුතු අත්හිටුවා තිබෙන බවට නීතිපතිවරයා මෙම අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබුණා. මෙම පෙත්සම්කරුවන්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවට අදාළ විමර්ශනයත් අවසන් කර තිබෙන බවත් නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබුණා.
"එහෙත් නීතිපතිවරයා අධිකරණයට ලබා දුන් එම ප්‍රතිඥාව නිසියාකාරව ක්‍රියාත්මක කර නොමැති බව අධිකරණයට පෙනී යනවා. අධිකරණය හමුවේ විමර්ශන අවසන් කර තිබෙන බව ප්‍රකාශ කළත් එම විමර්ශනවලට අදාළව යළිත් උපදෙස් නිකුත් කිරීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව නීතිපතිවරයා විසින් මෙම පෙත්සම්කරුවන් සම්බන්ධයෙන් අධිකරණයට ලබා දුන් ප්‍රතිඥාව නිසියාකාරව ඉටු කර නොමැති බව අධිකරණය විසින් නිරීක්ෂණය කරනවා."
ඉන් අනතුරුව මෙම නඩු තීන්දුවේ පිටපතක් පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව තුළින් වැඩිදුරටත් සඳහන් කළේ ය.































