කියර් ස්ටාමර් ඉල්ලා අස්වෙයි; කම්කරු පක්ෂ නායකත්වයට සහ අගමැති ධූරයට තරග කරන බව ඇන්ඩි බර්න්හැම් තහවුරු කරයි

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගැනීමේ තරගයකට මග පාදමින්, තමා කම්කරු පක්ෂ (Labour Party) නායකත්වයෙන් ඉල්ලා අස්වන බව කියර් ස්ටාර්මර් පවසා ඇත.

ඩව්නිං වීදියේ (Downing Street) සිට අදහස් දක්වමින් ශ්‍රීමත් කියර් ස්ටාර්මර් පැවසුවේ, මීළඟ මහා මැතිවරණය සඳහා කම්කරු පක්ෂයට නායකත්වය දීමට සුදුසු ම පුද්ගලයා තමා නොවන බව පිළිගන්නා බවත්, ධූරයෙන් ඉල්ලා අස්වීමේ සිය තීරණය රජු වෙත දැනුම් දුන් බවත්ය.

ශ්‍රීමත් කියර් තවදුරටත් කියා සිටියේ තමා වෙනුවට නව නායකයෙකු පත් කර ගැනීම සඳහා කාලසටහනක් සකස් කරන ලෙස තමා කම්කරු පක්ෂයේ පාලක මණ්ඩලයෙන් ඉල්ලා ඇති බවත්, ඒ අනුව නාමයෝජනා භාර ගැනීම ජූලි 9 වන දා ආරම්භ කර ජූලි 16 වන දා පාර්ලිමේන්තු ගිම්හාන නිවාඩුව (summer recess) ආරම්භ වීමට පෙර අවසන් වන බවත්ය.

තරගයක් පවතින්නේ නම් සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුව නැවත රැස්වීමට පෙර නව නායකයෙකු පත් කර ගන්නා බව පැවසූ ඔහු, "විධිමත්" බල හුවමාරුවක් සහතික කිරීම සඳහා තමාට හැකි "සෑම දෙයක් ම" කරන බව ද පැවසීය.

නායකත්ව තරගය අවසන් වන තෙක් තමා අග්‍රාමාත්‍යවරයා ලෙස ධූරයේ රැඳී සිටින බව ශ්‍රීමත් කියර් ස්ටාමර් පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ, "මා වසර දෙකකට පෙර භාරගත් බ්‍රිතාන්‍යයට වඩා බෙහෙවින් ශක්තිමත් සහ සාධාරණ බ්‍රිතාන්‍යයක් ඔවුන්ට උරුම වන බව දැන දැන ම", සිය අනුප්‍රාප්තිකයාට "මාගේ පූර්ණ හා නිසැක සහයෝගය" ලබා දෙන බවයි.

ශ්‍රීමත් කියර් ස්ටාමර් 2020 අප්‍රේල් මාසයේදී කම්කරු පක්ෂයේ නායකයා ලෙස තේරී පත් වූ අතර, කම්කරු පක්ෂය ලැබූ මහා මැතිවරණ ජයග්‍රහණයෙන් පසු 2024 ජූලි 5 වන දා ඔහු අග්‍රාමාත්‍යවරයා බවට පත් විය. ධූරයෙන් ඉල්ලා අස්වීමට ඔහු ගත් තීරණය හේතුවෙන්, 2016 වසරෙන් පසු එක්සත් රාජධානියට කෙටි කලකින් ම පත් වන හත්වන අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.

අග්‍රාමාත්‍ය ධූරයට මීළඟට පත්විය හැක්කේ කවුද?

කියර් ස්ටාමර් සිය ඉල්ලා අස්වීමේ කතාව පැවැත්වීම සඳහා අංක10, ඩව්නිං වීදියේ නිල නිවසෙන් (10 Downing Street) පිටතට පැමිණෙන විට ඔහුගේ බිරිඳ වන වික්ටෝරියා ද ඔහු සමග පැමිණ සිටියා ය.

ඔහුගේ ආධාරකරුවන්, සගයන් සහ නිල නිවසේ කාර්ය මණ්ඩලය බලා සිටියදී, තමා මීළඟට අවධානය යොමු කරන්නේ කුමක් කෙරෙහි ද යන්න පවසන විට කියර් ස්ටාමර්ගේ කටහඬ හැඟීම්බරව බිඳී ගියේය.

ඔහු මෙසේ පැවසීය: "මා රටේ ඉහළ ම ධූරයෙන් සමුගන්නා විට, මගේ ජීවිතයේ වඩාත් ම වැදගත් කාර්යය සඳහා වැඩි කාලයක් කැප කරනවා. එනම්, හොඳ මෙන් ම නරක කාලවලදීත් මට ශක්තිය වෙමින් මා අසලින් ම සිටි මගේ ආදරණීය බිරිඳ වික්ටෝරියාට (Vic) හොඳ ම ස්වාමිපුරුෂයෙකු වීම සහ මගේ ආඩම්බරය මෙන් ම සතුට වන මගේ දරුවන්ට හොඳ ම පියෙකු වීමට."

ශ්‍රීමත් කියර් ස්ටාමර් සතිඅන්තය ගත කළේ බකිංහැම්ෂයර්හි (Buckinghamshire) පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල ග්‍රාමීය නිවස වන චෙකර්ස්හි (Chequers) සිය අනාගතය පිළිබඳව දැඩි ලෙස කල්පනා කරමිනි.

පසුගිය සතියේ පැවති මේකර්ෆීල්ඩ් අතුරුමැතිවරණයෙන් (Makerfield by-election) ඇන්ඩි බර්න්හැම් (Andy Burnham) ලැබූ ජයග්‍රහණයෙන් පසුව, සිය ඉල්ලා අස්වීමේ කාලසටහන ප්‍රකාශයට පත් කරන ලෙස කම්කරු පක්ෂය (Labour) අභ්‍යන්තරයෙන් ශ්‍රීමත් කියර් ස්ටාමර් වෙත එල්ල වූ පීඩනය දැඩි ලෙස ඉහළ ගොස් තිබිණි.

ග්‍රේටර් මැන්චෙස්ටර්හි (Greater Manchester) හිටපු නගරාධිපතිවරයා වන බර්න්හැම්, රිෆෝම් යූකේ (Reform UK) පක්ෂයේ සිය ප්‍රතිවාදියාට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් නැවත පාර්ලිමේන්තුවට පිවිසීම තහවුරු කර ගැනීමත් සමග, ශ්‍රීමත් කියර් ස්ටාමර් වෙනුවට ධූරයට පත් වීමට වැඩිම ඉඩක් ඇති ප්‍රධානත ම අපේක්ෂකයා ලෙස බොහෝ දෙනා ඔහුව සලකනු ලබති.

බර්න්හැම්, මන්ත්‍රීවරයෙකු ලෙස සිය අසුන නිල වශයෙන් භාර ගැනීම සඳහා සඳුදා දින වෙස්ට්මිනිස්ටර් (Westminster) බලා යාමට නියමිතව ඇත.

හිටපු සෞඛ්‍ය ලේකම් වෙස් ස්ට්‍රීටින් ද ඕනෑ ම කම්කරු පක්ෂ නායකත්ව තරගයකට එක්වීමේ සිය අභිප්‍රාය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

ස්ටාර්මර්ගේ නායකත්වය කෙරෙහි වූ නොසතුට

මැයි මාසයේදී එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තයෙන් ලැබුණු දුර්වල මැතිවරණ ප්‍රතිඵල මාලාවට පෙර සිට ම, ශ්‍රීමත් කියර් ස්ටාමර්ගේ නායකත්වය කෙරෙහි වූ නොසතුට ද වර්ධනය වෙමින් පැවතුණි.

මෙයට ඔහුගේ ම පක්ෂය තුළින් එල්ල වූ පීඩනය හේතුවෙන් මාසයක් ඇතුළත ප්‍රධාන ප්‍රතිපත්ති තුනක් සම්බන්ධයෙන් සිය ස්ථාවරය වෙනස් කිරීමට ඔහු ගත් තීරණය ද ඇතුළත් විය.

ශ්‍රීමත් කියර් ස්ටාමර් විසින් මැන්ඩෙල්සන් ස්වාමිවරයා (Lord Mandelson) ඇමෙරිකානු එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා ලෙස පත් කිරීමට ගත් තීරණය ද, ඔහුගේ තීරණ ගැනීමේ හැකියාව සහ අගමැති කාර්යාලයේ සමස්ථ ක්‍රියාකලාපය පිළිබඳව ප්‍රශ්න මතු කිරීමට හේතු විය.

අභාවප්‍රාප්ත, ලිංගික අපරාධකරුවෙකු ලෙස වරදකරු කරනු ලැබූ ජෙෆ්රි එප්ස්ටීන් (Jeffrey Epstein) සමග මැන්ඩෙල්සන් ස්වාමිවරයා පැවැත්වූ සබඳතාවයේ ප්‍රමාණය පිළිබඳව නව තොරතුරු අනාවරණය වීමෙන් පසුව ඔහුව ධූරයෙන් පහ කරනු ලැබිණි.