"සුව කිරීමට අසීරු 'සුපිරි මැලේරියාව' ලොවටම තර්ජනයක්"

ඡායාරූප මූලාශ්‍රය, Science Photo Library
අග්නිදිග ආසියාව පුරා ඉතා වේගයෙන් ව්‍යාප්තවෙමින් පවතින 'සුපිරි මැලේරියාව' මුළු ලොවටම තර්ජනයක් විය හැකි බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති.
මැලේරියාව සඳහා දැනට නිපදවා ඇති ඖෂධ මගින් මෙම 'භයානක මැලේරියා පරපෝෂිතයා' විනාශ කළ නොහැකිය.
කාම්බෝජයෙන් පළමුව වාර්තා වූ මෙම 'සුපිරි මැලේරියාව' මේවනවිට තායිලන්තය, ලාඕසය දක්වා ව්‍යාප්තවී වියට්නාමයේ දකුණු ප්‍රදේශයට ද පැමිණ තිබේ.
බැංකොක් නුවර පිහිටි ඔක්ස්ෆර්ඩ් නිවර්තන කලාපීය ඖෂධ පර්යේෂණ ආයතනය කියා සිටියේ නව මැලේරියාව, ප්‍රතිකාරයකින් සුවකළ නොහැකි රෝගයක් බවට පත්වීමේ අවදානමක් පවතින බවය.
"මේක බරපතළ තර්ජනයක් කියල අපට හිතෙනවා. මේක ඉතා වේගයෙන් මුළු කලාපය පුරාම පැතිරෙමින් පවතිනවා. තවදුරටත් පැතිරිලා අප්‍රිකාවටත් පැතිරෙයි කියල අපට බියක් ඇතිවෙනවා" යැයි එම ආයතනයේ ප්‍රධානී මහාචාර්ය අර්ජෙන් ඩොන්ඩ්‍රොප් බීබීසීයට පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මදුරුවන් මාර්ගයෙන් ශරීරගත වන පරපෝෂිතයෙකු නිසා වසරකට මිනිසුන් මිලියන 212ක් පමණ මැලේරියාවෙන් පීඩා විඳින අතර එය ළමුන් විශාල පිරිසක් මියයාමට හේතු වේ.
මේ සඳහා දැනට නිපදවා ඇති ඖෂධවලට නව මැලේරියා පරපෝෂිතයා ප්‍රතිරෝධයක් දක්වන බව විද්‍යාඥයෝ පවසති.
එම නිසා ප්‍රතිකාර අසාර්ථක වූ ප්‍රතිශතය "ඉතා අවදානම්" මට්ටමක පවතින බව ඔවුහු ප්‍රකාශ කරති.
මහාචාර්ය ඩොන්ඩ්‍රොප් කියා සිටියේ වියට්නාමය තුළ 30%ක් පමණ ප්‍රතිකාර අසාර්ථක වී ඇති අතර කාම්බෝජයේ ඇතැම් කලාපවල 60%ක් පමණ ප්‍රතිකාර අසාර්ථක වී ඇති බවය.
මෙම සුපිරි මැලේරියාව අප්‍රිකාවට ව්‍යාප්ත වුවහොත් එය විනාශකාරී තත්වයක් විය හැකි බව ඔහු පැවසීය.
ඊට හේතුව, දැනට වාර්තාවන මැලේරියා රෝගීන්ගේ ප්‍රමාණයෙන් 92%ක්ම වාර්තාවන්නේ අප්‍රිකාවෙන් වීමය.
ශ්‍රී ලංකාව, මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් බවට වූ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත පිළිගන්වනු ලැබ තිබේ.



























