මැලේරියා අවදානම අවධානයට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කච්චතිව් දූපත්වල පැවැත්වීමට නියමිත ආගමික උත්සවය සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගීවන බැවින් මැලේරියා රෝගය පැතිර යාමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු කොට එම ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය පවසයි.
යාපනය කච්චතිව් දූපත්වල ලබන සතියේ අරම්භවීමට නියමිත දේවස්ථාන මංගල්‍යය සඳහා ශ්‍රී ලංකාවෙන් සහ අසල්වැසි ඉන්දියාවෙන් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සහභාගීවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එබැවින් බැතිමතුන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කොට ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂක වෛද්‍ය එච්.ඩී.බී හේරත්ට උපදෙස් දී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
'නව මදුරු විශේෂයක්'
මේ අතර මන්නාරම පේසාලේ ප්‍රදේශයේ ළිඳකින් හමුවූ මැලේරියා වාහක නව මදුරු විශේෂය විනාශ කිරීම සඳහා අඛණ්ඩ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
පේසාලේ ප්‍රදේශයෙන් හමු වූ මැලේරියා වාහක මදුරු විශේෂය ඉන්දියාවේ මුහුදුබඩ පළාත්වලින් වැඩිවශයෙන් වාර්තාවන බව සෞඛ්‍ය අමාත්‍යංශ නිවේදනයේ දැක්වේ.
මැලේරියා රෝගය පැතිර යෑම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කොට ඇති බව පවසන සෞඛ්‍ය අමාත්‍යංශය 2017 වසර තුළ රටේ විවිධ ප්‍රදේශවලින් මැලේරියා රෝගීන් නව දෙනෙකු සොයා ගෙන ඇති බව සඳහන් කළේය.
























