ලෝක මානසික සෞඛ්‍ය දිනය 2021: ඔබ කවුරුන්ද යන්න සහ සිටින්නේ කොතැනක ද යන්න මත සැලසෙන සෞඛ්‍ය සේවා

Rachel hugs her eldest daughter

ඡායාරූප මූලාශ්‍රය, Andrew Fox

ඡායාරූප ශීර්ෂ වැකිය, රේෂල් ගේ වැඩිමහල් දියණිය තවමත් ප්‍රතිකාර ගනිමින් සිටියි
    • Author, සරෝජ් පතිරණ
    • Role, BBC ලෝක සේවය
  • Published

ඔක්තෝබර් 10 වෙනි දින ලෝක මානසික සෞඛ්‍ය පිළිබඳ දිනයයි.

'අසමාන ලෝකයක මානසික සෞඛ්‍යය' යන්න මානසික සෞඛ්‍යය පිළිබඳ ලෝක ෆෙඩරේෂණය (WFMH) විසින් මේ වසරේ එම දිනයේ තේමාව ලෙස නම් කර තිබේ.

එම ෆෙඩරේෂණය පවසන පරිදි ලොව පුරා වෙසෙන අඩු ආදායම්ලාභී සහ මැදි ආදායම් සහිත රටවල ජනතාවගෙන් 75%ත් 95%ත් අතර ප්‍රමාණයකට මානසික සෞඛ්‍ය සේවා ලබාගැනීමට හැකියාවක් නැත. කෙසේ වුවත්, ධනවත රටවල වෙසෙන බොහෝ දෙනා ද මානසික සෞඛ්‍ය සේවා ලබාගැනීම පිණිස අරගලයක නිරතවන බව ඔබ නොදැන සිටියා විය හැකිය.

ලොව පුරා රටවල් කිහිපයක වෙසෙන මානසික රෝගයකින් පෙළුන කාන්තාවක්, රෝගී තරුණියකගේ මවක්, ක්‍රියාධාරිනියක් සහ මානසික වෛද්‍යවරියකගේ අදහස් ඇසුරින් සැකසුණ විමසුමකි, මේ.

රෝගියා: 'හැඳුනුම්පත නැත්නම් ප්‍රතිකාර නෑ'

Thiruchelvi in a rural setting

ඡායාරූප මූලාශ්‍රය, P. Thiruchelvi

ඡායාරූප ශීර්ෂ වැකිය, විවාපත් වී වැඩි කලක් යාමට ප්‍රථම තිරුචෙල්විගේ සැමියා ඇයට පහරදෙමින්, දැඩි පීඩාවට පත්කරන්නට විය

විවාපත් වී වැඩි කලක් යාමට ප්‍රථම පී තිරුචෙල්විගේ සැමියා ඇයට පහරදෙමින්, දැඩි පීඩාවට පත්කරන්නට විය.

ඇය පවසන්නේ, ඔහු තමන් 'වද බන්ධනවලට' ලක් කළ බවය.

එය කෙතරම් පීඩාකාරී වී ද යත්, 12 වසරකට පසුවත් ඒ ගැන සිහිපත් කිරීම පවා තිරුචචෙල්වීට වේදනාවකි.

ඇය ඔහුට දාව දරුවෙකු ද ප්‍රසූත කළ නමුත් වද බන්ධන හේතුවෙන් ඇය මානසික රෝගියෙකු බවට පත්වූ විට 2009 දී ඔහු ඔවුන් දෙදෙනා හැර ගියේය.

ඔහු කොතැනක දැයි අදත් ඇය නොදනී.

තමිල්නාඩුවේ ගුදාලුර් දිස්ත්‍රික්කයේ නිවසක අතේ සතයක් හෝ නොමැතිව, කුසගින්නේ කල් ගෙවූ ඇයත් කුඩා පුතුටත් සිදුවූයේ හිසට සෙවනක ද අහිමිව වීදියට බැසීමටය. තමන් කවුදැයි හඳුන්වාදීම පිණිස හඳුනුම්පතක් පවා ඇය සතුව නොවීය.

ඇය විෂාදයෙන් පෙළෙන්නට වූවාය.

එහෙත් ඇයටත්, පුතුටත් සරණවීමට කිසිවෙකුත් නොවීය.

Thiruchelvi and a group of villagers

ඡායාරූප මූලාශ්‍රය, P. Thiruchelvi

ඡායාරූප ශීර්ෂ වැකිය, දිළිඳු පවුල්වලට මානසික සෞඛ්‍ය සේවා ලබාගැනීම වෙනුවෙන් කටයුතු කරන තිරුචෙල්වී

සිය අනන්‍යතාව සහතික කළ නොහැකි නම්, ඉන්දියාවේ නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම ඉතා දුෂ්කර කරුණකි.

තවත් බොහෝ දෙනා මෙන්ම තිරුචේල්වීට ද සිය අනන්‍යතාව සනාථ කිරීමට කිසිවක් නොවූ අතර, ස්ථිර ලිපිනයක් ද නොවීය.

එහි ප්‍රතිඵලයක් ලෙසින් මානසික ප්‍රතිකාර ලබාගැනීමේ ක්‍රමයක් ද නොවූ කල, ඇයගේ අසනීපය උත්සන්න වන්නට විය.

"මොනවාද කරන්නේ, යන්නේ කොහෙද කියල මම දැනගෙන හිටියේ නෑ. මට මගේ ජීවිතේ නැතිකරගන්න පවා හිතුණා," ඇය පවසන්නීය.

ඇය අසීරුවෙන් තමිල්නාඩුවේ චෙන්නායි අගනුවරට පැමිණි වේලේ, බන්යන් නම් පුණ්‍යායතනයක් මුණගැසිණ.

නිවාස අහිමි පුද්ගලයන්ට ආධාර කිරීමේ ව්‍යාපෘතියක් ඒ වනවිට බන්යන් ආයතනය දියත්කර තිබුණි.

Thiruchelvi now works with local communities

ඡායාරූප මූලාශ්‍රය, Thiruchelvi

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය අනන්‍යතාව සහතික කළ නොහැකි නම්, ඉන්දියාවේ නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම ඉතා දුෂ්කර කරුණකි

බන්යන් ආයතනය තිරුචෙල්වී සහ පුතාට නිවහනක් සපයා දී ඇයට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු සම්පාදනය කළේය.

අද තමන්ගේම නිවහනක වෙසෙන ඇය මානසික ආබාධ වෙනුවෙන් ප්‍රතිකාර ලබාගැනීම දුෂ්කර පවුල්වලට ප්‍රතිකාර ලබාගැනීමට ආධාර කරන්නීය.

මානසික ආබාධවලින් පෙලෙන දෙමවුපියන්ගේ දරුවන් සමඟ ද සමීපව කටයුතු කරන ඇය, ඔවුන්ටද මානසික ප්‍රතිකාර ලබාගැනීමට උපකාර කරයි.

කියවන්න:

සහන සේවිකාව: 'ඒත් මොනවද තියන උදවු?'

Philippa Reekie

ඡායාරූප මූලාශ්‍රය, Philippa Reekie

ඡායාරූප ශීර්ෂ වැකිය, අරමුදල් නොමැතිකම සහ මානසික සෞඛ්‍ය සේවකයින්ගේ හිඟය දකුණු අප්‍රිකාවේ බරපතල ගැටලුවක් බව ෆිලිපා රීකි පවසයි

දකුණු අප්‍රිකාවේ මිලියන 17ක පිරිසක් විෂාදය, මානසික ආතතිය ඇතුළු මානසික ආබාධවලින් පෙලෙන බව 2014 දී Sunday Times of South Africa පුවත්පත වාර්තා කළේය.

එය ඊට පෙරාතුව South Africa Stress and Health සංවිධානය විසින් කරන ලද අධ්‍යයනයක් මත පදනම් වූවකි. සිය ජීවිත කාලය තුළ දකණු අප්‍රිකානු වැසියන් අතුරින් 30.3% ක් කිසියම්ම හෝ ආකාරයක මානසික ආබාධයකින් පෙලී ඇති බව එම අධ්‍යයනයෙන් හෙළි විය.

ඒ අනුව "දකුණු අප්‍රිකාවේ ජනගහනයෙන් තුනෙන් එකක් මානසික ආබාධවලින් පෙළෙනු ඇති," බව මානසික සෞඛ්‍යය සම්බන්ධ ක්‍රියාකාරිනියක වන ෆිලිපා රීකි පවසයි.

විශේෂයෙන්ම අවුරුද 15ත් 25ත් අතර තරුණ, තරුණියන් ගැන ප්‍රබල අවධානය පළ වී තිබෙන බව පවසන ඇය, මෙම වයස් ඛාණ්ඩය අතර සිය දිවි නසා ගැනීම් ද වසරින් වසර ඉහළ යමින් තිබෙන බව ද පෙන්වා දෙයි.

කෙසේ වුවත් රට තුළ මනෝ වෛද්‍යවරුන්ගේ බරපතල හිඟයක් පවතී.

"ප්‍රජා වෛද්‍ය සේවයට ප්‍රමාණවත් ප්‍රතිපාදන ලැබෙන්නේ නැහැ," ෆිලිපා රීකි පවසයි. "අවදානමට මුහුණදෙන දරුවන් සහ තරුණයන් වෙනුවෙන් තිබෙන සේවා කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ."

එමෙන්ම ඇය පවසන්නේ, දකුණු අප්‍රිකාවේ රෝහල්වල මානසික සෞඛ්‍ය වාට්ටු කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර, රට පුරා මානසික සෞඛ්‍යය වෙනුවෙන් කැප වූ ආයතන ද නොමැති තරම් බවය.

මානසික සෞඛ්‍ය ආයතනවල සේවක හිඟය සහ මූල්‍ය අපචාර ගැන දකුණු අප්‍රිකාවේ මානව හිමිකම් කොමිසම ද වාර්තා කොට තිබේ.

එහෙත් විශේෂයෙන්ම මානසික රෝගීන් සඳහා රජයේ රෝහල්වල පවතින පහසුකම් ගැන ද කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකිය.

"මානසික රෝගීන්ට හරියට බාත්රූම් එකක්වත් නෑ කියල වාර්තා පලවෙනවා. ගොඩක් රෝහල්වල මානසික රෝගීන් වෙනුවෙන් තියන ඇඳන් කොහෙත්තම ප්‍රමාණවත් නැහැ," යනුවෙන් ද ෆිලිපා රීකි සඳහන් කළාය.

අන් බොහෝ රටවල මෙන්ම, මානසික සෞඛ්‍යය සම්බන්ධ සමාජයේ ආකල්ප හේතුවෙන් බොහෝ දෙනා උපකාර ලබාගැනීමට මැලි වෙති.

"නමුත් ප්‍රශ්නය තියෙන්නේ, ඔවුන් උපකාර ඉල්ලුවත්, දෙන්න තියන උපකාර මොනවාද ?"

මනෝ වෛද්‍යවරිය: 'රෝගියෙක් වෙනුවෙන් ගතකරන්න පුළුවන් විනාඩි දහයක් විතරයි'

A hospital in St Petersburg

ඡායාරූප මූලාශ්‍රය, Andrey Bessonov

වෛද්‍ය වේරා (ඇයගේ සැබෑ නම නොවේ) වසර 45ක් මුළුල්ලේ රුසියාවේ වෛද්‍යවරියක ලෙසින් සේවය කරන්නීය.

ඇය මේ වනවිට මොස්කව් අගනුවර ආණ්ඩුවේ වෛද්‍ය සායනයක (පොලික්ලිනිකා) සහ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්තානයකද සේවය කරන්නේ මනෝ වෛද්‍යවරියක ලෙසිනි.

ඇය පවසන්නේ, වර්තමානයේ රුසියාවේ ඉතා ඉහළ මනෝ වෛද්‍ය ප්‍රතිකාර සේවයක් පවතින නමුත් එමගින් ප්‍රතිකාර ලබාගත හැක්කේ ධනවතුන්ට පමණක් බවය.

අතීතයේදීට වඩා රුසියාවේ මනෝ වෛද්‍යවරුන් විශාල පිරිසක් සිටින බව වෛද්‍ය වේරා පවසයි; එහෙත් දිළිඳු රෝගීන්ට නියමිත ප්‍රමිතියට අනුකූලව ප්‍රතිකාර නොලැබිය හැකිය.

"සොවියට් දේශය තිබුණ කාලේ මනෝ වෛද්‍යවරුන් බොහොම අඩුවෙන් හිටියේ," ඇය බීබීසී සමග කියා සිටියාය. "දැන් හැම ළදරු පාසලකම වගේම හැම පාසලකමත් නොමිලේ ප්‍රතිකාර කරන මනෝ වෛද්‍යවරයෙක් ඉන්නවා."

එහෙත් එමගින් හැඟවෙන්නේ රුසියාවේ සෑම කෙනෙකුටම ඉතා පහසුවෙන් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගත හැකිය යන්න නොවන බව අයගේ අදහසය.

වෛද්‍ය වේරා පෞද්ගලික සායනයේ සේවය කරනවිට ඇය දිනකට ප්‍රතිකාර කළ යුත්තේ රෝගීන් දහයකට නොවැඩි පිරිසකටය. ඇය ඒ සෑම රෝගියෙක් වෙනුවෙන්ම විනාඩි 30 කට ආසන්න කාලයක් ගත කළ යුතුය.

එහෙත් ආණ්ඩුවේ සායනයේ දී දිනකට රෝගීන් 40 ක පමණ පිරිසකට ප්‍රතිකාර කිරීමට ඇයට සිදුවේ.

"එක රෝගියෙක් වෙනුවෙන් අපිට ගතකරන්න වෙන්නේ විනාඩි 10ක් වගේ කාලයක්."

A hospital in St Petersburg

ඡායාරූප මූලාශ්‍රය, Andrey Bessonov

නොමිලේ ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් දැඩි අගහිඟකම්වලින් පෙලෙද්දී, පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවකයෝ ඉහළ වැටුප් ගනිමින් සුඛෝපභෝගී ජීවිත ගතකරති.

"කියන්න කණගාටුයි, හැමදෙනාම දැන් සල්ලි පස්සේ දුවනවා. ඒත් පෞද්ගලික ප්‍රතිකාර ගන්න හැමදෙනාටම වත්කමක් නෑ." වෛද්‍ය වේරා පවසන්නීය.

සාමාන්‍ය ප්‍රතිකාර මෙන් නොව මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා කිහිප වතාවක්ම වෛද්‍යවරයා හමුවිය යුතු වීම පෞද්ගලික ප්‍රතිකාර පතන අය මුහුණදෙන තවත් ප්‍රශ්නයකි.

අතීතයේ දී මෙන් නොව නවීන ලෝකයේ විවිධ පීඩනයන් හේතුවෙන් පෙරට වඩා දරුවන්ගේ මානසික ගැටළු උත්සන්න වී ඇති බව පවසන වෛද්‍ය වේරා, එබැවින් දරුවන් දහසක් සිටින පාසලකට එක් මානසික වෛද්‍යවරයෙක් කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බවත් පෙන්වා දෙන්නීය.

"වර්තමානයේ අපේ රටේ මානසික ගැටලුවලට මුහුණ දෙන්න අපිට තව, තවත් මානසික වෛද්‍යවරු ඕනේ."

අම්මා : 'මගේ දුව රෝහලේ තනි කරලා එනකොට මට සිය දිවි නසාගන්න හිතුනා'

එංගලන්තයේ නොටින්හැම් ප්‍රදේශයේ වෙසෙන රේෂල් බැනිස්ටර් ගේ දියණිය මීට වසර කිහිපයකට පෙර කෑම අරුචියෙන් පෙළෙමින් මානසික රෝගයක ලක්ෂණ පෙන්නුම් කළ විට පවුලේ වෛද්‍යවරයා වහාම ඇයට ප්‍රතිකාර ලබා දීමට යුහුසුළු විය.

එහෙත් ඇයට වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම එතරම් පහසු නොවීය.

Rachel's eldest daughter, back to camera, holding a cat

ඡායාරූප මූලාශ්‍රය, Andrew Fox

ඡායාරූප ශීර්ෂ වැකිය, රේෂල් ගේ වැඩිමහල් දියණියට මුලින්ම ආහාර අරුචිය ඇතිවූයේ 2013 දීය

"රෝහල්වල ස්ටාෆ් අඩුවීමත් එක්ක ඇතිවුන මානසික පීඩනය නිසා රෝහල්වල ගොඩක් දෙනා ලෙඩ නිවාඩු දැම්ම. ඒ නිසා විශේෂඥයෙක් ලඟට යන්න ඇපොයින්ටන්ට් එකක් ගන්න හරිම අමාරුයි," ඇය පවසන්නීය.

"ඒ නිසා මානසික සෞඛ්‍ය වෙනුවෙන් වැදගත්ම දෙයක් වෙන රෝගියා සහ වෛද්‍යවරයා අතර සමීප සම්බන්ධයක් ගොඩ නගා ගන්න හැකියාවක් නැහැ."

එහි ප්‍රතිඵලයක් ලෙස රේෂල් ගේ දියණියගේ රෝගය දරුණු අතට හැරිණ. ඇයගේ ශරීරයේ බර අඩුවිය; මානසික පමණක් නොව ශාරීරික සෞඛ්‍යය ද බිඳ වැටින.

"අවුරුදු දෙකක් විතර දුවට නිසි විදියට ප්‍රතිකාරයක් ලැබුනේ නැහැ."

Rachel talks to her eldest daughter (who has her back to camera)

ඡායාරූප මූලාශ්‍රය, Andrew Fox

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රතිකාර සඳහා දියණිය ද සමඟ බොහෝ දුර ගෙවා යාමට රේෂල් ට සිදු විය

ප්‍රතිකාර සඳහා වරක් ඇයට දියණිය ද සමඟ කිලෝමීටර් 80ක් දුර ගෙවා යාමට සිදු වූ අතර, ඊළඟ වතාවේ කිලෝමීටර් 160 ක් දුර පිහිටි සායනයකට ඔවුන් යොමු කෙරිණ.

තුන්වෙනි වතාවේ ඔවුහු කිලෝමීටර් 500ක් ගෙවා ස්කොට්ලන්තය බලා ගුවන් ගතවූහ.

එවර දියණිය මානසික රෝහලේ තනිකොට ගුවන්තොටුපොළ කරා ගමන් කරමින් සිටියදී තමන්ට ද දිවි තොර කර ගැනීමේ අදහසක් පහළ වූ බවත් රේෂල් බැනිස්ටර් බීබීසී සමඟ පැවසීය.

ඇය පවසන්නේ, දියණියට නිසි ප්‍රතිකාර ලබාගැනීම මෙතරම් දුෂ්කර වූයේ ජාතික සෞඛ්‍ය සේවය සඳහා ආණ්ඩුව ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා නොදීම හේතුවෙන් බවය.

රේෂල් ගේ අත්දැකීම පිළිබඳව 2018 දී බීබීසී පළ කළ වාර්තාවකට පිළිතුරු දෙමින් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ, "දරුවන් සිය ප්‍රදේශයෙන් පිටත ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකරන ක්‍රියාදාමය නිමාකිරීමට කැප වී සිටින," බවය.

කියවන්න:

Rachel and her daughter play with a cat

ඡායාරූප මූලාශ්‍රය, Andrew Fox

අසමානතාව සහ ප්‍රතිපාදන කප්පාදුව

මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සම්බන්ධ ඉහත දැක්වුණ ගැටළු කිසිවක් ඉහත කී රටවලට පමණක් පොදු වූ කරුණු නොවන අතර, ලොව පුරා බොහෝ රටවල එවැනි ගැටළු පවතී.

ලොව දිළිඳු රටවලට වඩා ධනවත් රටවල් සිය ඒක පුද්ගල ආදායමෙන් 650ස් වාරයක් මානසික සෞඛ්‍යය වෙනුවෙන් වැය කළත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාව අනුව ලොව පුරා රටවල් සෞඛ්‍යය වෙනුවෙන් වැය කරන මුදලට සාපේක්ෂව එය සොච්චමකි.

එම වාර්තාවට අනුව, 2017 සිට 2020 දක්වා කාලය තුළ ලෝකයේ ධනවත්ම රටවල් රෝහල්ගත කරන රෝගියෙකු වෙනුවෙන් වැය කරන මුදල අඩකින් අඩු වී තිබේ.

මානසික වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලයේ (Royal College of Psychiatrists) විශේෂඥ වෛද්‍ය ටෘඩි නිමාලි සෙනෙවිරත්න (Dr Trudi Seneviratne) පවසන්නේ, බ්‍රිතාන්‍යය වැනි සංවර්ධිත රටක පවා "අපේ මානසික සෞඛ්‍ය ගැටළු සහ මානසික සෞඛ්‍ය ගැටළු මතුවීමේ අවදානම ගැන ප්‍රමාණවත් අවධානයක් නොමැති," බවය.

"බ්‍රිතාන්‍යයේ පවා මානසික රෝග ගැන තියන ස්ටිග්මාව (ආකල්ප) නිසා මිනිස්සු ඒ ගැන ප්‍රසිද්ධියේ කතාකරන්න කැමති නෑ," වෛද්‍ය ටෘඩි සෙනෙවිරත්න පැවසීය.