රුසියාව: ආක්ටික් කවයේ ඩීසල් කාන්දුව සමග හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

Russia oil leak

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ගංගාවේ විශාල කොටසක් තද රතු පැහැයට හැරී ඇත
Published
කියවීමේ කාලය: මිනිත්තු 3

ආක්ටික් කවය තුළ පිහිටි ගංගාවකට ඩීසල් තෙල් ටොන් 20,000 ක් කාන්දු වීමත් සමග රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පූතීන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

පසුගිය සිකුරාදා සයිබීරියාවේ නොරිල්ස්ක් නගරය අසල විදුලි බලාගාරයක ඉන්ධන ටැංකියක් කඩා වැටීමෙන් ඩීසල් කාන්දු වීමට පටන්ගෙන ඇත.

බලාගාරයේ අධ්‍යක්ෂ ව්‍යචේලාෆ් ස්තරොස්තින් අත්අඩංගුවට ගෙන ඇති නමුත් තවමත් චෝදනා ගොනු කර නොමැත.

මෙම බලාගාරය අයත් වන්නේ ලොව ප්‍රමුඛතම නිකල් සහ පැලේඩියම් නිෂ්පාදකයා වන 'නොරිල්ස්ක් නිකල්'හි අනුබද්ධ සමාගමකටය.

ඩීසල් කාන්දුවීම පිළිබඳව මොස්කව් බලධාරීන් දැනුවත් කිරීම සඳහා දින දෙකක් ප්‍රමාද වී ඇතැයි වාර්තා වී තිබෙන අතර, පරිසර දූෂණය සහ නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් රුසියානු විමර්ශන කමිටුව (SK) විසින් අපරාධ නඩුවක් ආරම්භ කරනු ලැබ ඇත.

ඉන්ධන ටැංකි යට භූගත ගිලා බැසීම් කාන්දු වීමට හේතු වූ බව විශ්වාස කෙරේ. ආක්ටික් නිත්‍ය තුහින (වැඩි කලක් හිමට යට වූ පස්) වසරේ මෙම කාලයේ පවතින විශේෂඋණුසුම් කාලගුණය හේතුවෙන් දිය වෙමින් පවතී.

මෙම සිද්ධිය වාර්තා වීමට දින දෙකක් ගතවීම සම්බන්ධයෙන් ජනාධිපති පූතීන් සිය කෝපය පළ කර තිබේ.

කෙසේවෙතත්, රුසියානු හදිසි අවස්ථා සම්බන්ධ ඇමති Yevgeny Zinichev යෙව්ගෙනි සිනිචෙෆ් පූතීන්ට පැවසුවේ නොරිල්ස්ක් බලාගාරය සිය අමාත්‍යංශය දැනුවත් කිරීමට පෙර දින දෙකක් මෙම තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කර ඇති බවය.

කාන්දු වූ තෙල් අනතුර සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 12 ක් (සැතපුම් 7.5 ක්) ඈතට ගලා ගොස් ඇති අතර, අම්බර්නයා ගංගාවේ විශාල කොටසක් තද රතු පැහැයට හැරී ඇත.

බදාදා (මාර්තු 3) දින රූපවාහිනියෙන් විකාශය කෙරුණු වීඩියෝ සම්මන්ත්‍රණයක දී ජනාධිපති පූතීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සමාගමේ ප්‍රධානියා විවේචනය කළේය.

Russia oil leak

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බලාගාරයේ අධ්‍යක්ෂක Vyacheslav Starostin අත්අඩංගුවට ගෙන ඇත

"රාජ්‍ය ආයතන මේ ගැන දැනගන්න දින දෙකක් ගතවුණේ ඇයි? අපි හදිසි අවස්ථා ගැන දැනගන්න ඕනේ සමාජ මාධ්‍යවලින් ද ?" යැයි ඔහු සමාගම් ප්‍රධානී සෙර්ගෙයි ලිපින් ගෙන් ඇසීය.

කලාපයේ ආණ්ඩුකාර අලෙක්සාන්දර් උස්ස් මීට පෙර ජනාධිපති පූතීන්ට පවසා ඇත්තේ "තෙල් කාන්දුව ගැන දැනගත්තේ ඉරිදා සමාජ මාධ්‍යවල පළ වූ තොරතුරුවලින්" බවය.

තෙල් කාන්දුව නිසා වර්ග කිලෝමීටර 350 ක භූමි ප්‍රදේශයක් අපවිත්‍ර වී ඇති බව රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

Russia oil leak

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, පිරිසිදු කිරීම අති දුෂ්කර කාර්යයක් වනු ඇතැයි අනතුරු අඟවා තිබේ

නිවේදනයක් නිකුත් කරමින් නොරිල්ස්ක් නිකල් කියා සිටියේ මෙම සිද්ධිය "කාලෝචිත හා නිසි ආකාරයෙන්" වාර්තා කර ඇති බවය.

හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමත් සමග පිරිසිදු කිරීමේ මෙහෙයුමට සහාය වීම සඳහා අමතර හමුදා එම ප්‍රදේශයට යැවීමට නියමිතය.

පරිමාවෙන් ගත් කළ මෙය නූතන රුසියානු ඉතිහාසයේ දෙවන විශාලතම අනතුර යැයි විශ්වාස කෙරෙන බව ලෝක වනජීවී අරමුදලේ විශේෂඥ Alexei Knizhnikov අලෙක්සෙයි ක්නිශ්නිකොෆ් ඒඑෆ්පී පුවත් සේවයට පවසා ඇත.

Russia oil leak

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති පූතීන්

කුමක් කළ හැකි ද?

පාරිසරික කණ්ඩායම් මේ පිළිබඳ දැඩි අනතුරු ඇඟවීම් සිදු කර ඇති අතර, ඔවුන් පවසන්නේ කාන්දුවීමේ විශාලත්වය සහ ගංගාවේ භූගෝලීය පිහිටීම නිසා පිරිසිදු කිරීම දුෂ්කර වනු ඇති බවය.

ග්‍රීන්පීස් සංවිධානය මෙම තත්ත්වය සසඳා ඇත්තේ 1989 දී ඇලස්කාවේ සිදු වූ එක්සොන් වල්ඩෙස් (Exxon Valdez) ව්‍යසනය සමගිනි.

Russia oil leak

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හදිසි අවස්ථා සම්බන්ධ අමාත්‍යාංශයට අනුබද්ධ කණ්ඩායම් සිද්ධිය වූ ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ

රුසියාවේ පාරිසරික ආරක්ෂණ අංශයේ හිටපු නියෝජ්‍ය ප්‍රධානී අලෙග් මිට්වොල් පැවසුවේ "ආක්ටික් කලාපයේ මෙවැනි අනතුරක් සිදු වී නොමැති" බවය.

පිරිසිදු කිරීම් සඳහා රූබල් බිලියන 100ක් (ඩොලර් බිලියන 1.5 ක්) වැය වන අතර වසර 5 ත් 10 ත් අතර කාලයක් ගතවනු ඇතැයි ඔහු පැවසීය.

නොරිල්ස්ක් නිකල් සමාගමේ තෙල් කාන්දු වීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවේ.

2016 දී, එහි එක් බලාගාරයක සිදුවූ අනතුරක් අසල ගංගාවක් රතු පැහැයට හැරවීමට හේතු වූ බව පිළිගෙන තිබිණි.

Russia oil leak

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නොරිල්ස්ක් නිකල් සමාගමට අයත් විදුලි බලාගාරයේ කොටසක්

මෙතරම් විශාල ඉන්ධන තෙල් ප්‍රමාණයක් දහනය කිරීමට උත්සාහ කිරීම ගැන ස්වාභාවික සම්පත් අමාත්‍ය දිමිත්‍රි කොබිල්කින් අනතුරු අඟවා ඇත.

තෙල් ප්‍රතික්‍රියාකාරක සමඟ තනුක කිරීමට උත්සාහ කරන ලෙස ඔහු යෝජනා කර සිටී. පරිසර දූෂණය සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ මිලිටරි සහාය ඇති හදිසි අවස්ථා සම්බන්ධ අමාත්‍යාංශයට පමණක් බව ද ඔහු පැවසීය.

Skip Instagram post
Instagram අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Instagram විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Instagram කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of Instagram post

මේ තොරතුරු ද කියවන්න: