ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වනජීවී: "ජීවිතයට එක් වරක් පමණක්" ඡායාරූපයට ගත හැකි ඉරියව්වක සිටි පිළිහුඩුවෙක්
මත්ස්‍යයකු ඩැහැ ගැනීම සඳහා වූ කිමිදුමකට පෙර ජලය මතුපිට පියාසලමින් සිටියදී වනජීවී ඡායාරූප ශිල්පියෙකුගේ කැමරාවට හසුවූ පිළිහුඩුවකු වනජීවී විශේෂඥයින් විසින් හඳුන්වා දෙනු ලැබුවේ "ජීවිතයට එක් වරක් පමණක්" ගත හැකි පක්ෂි ඡායාරූපයක් ලෙසිනි.
ආධුනික ඡායාරූප ශිල්පියකු වන පෝල් ග්‍රෙගරි (Paul Gregory) විසින් සැප්තැම්බර් 14 වෙනි සෙනසුරාදා උදෑසන එම ඡායාරූපය ගනු ලැබුවේ එංගලන්තයේ නොටිංහැම්ශයර් හි පිහිටි ඇටන්බරා ස්වභාවික රක්ෂිතයේදීය.
සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල්ව සංසරණය වූ එම ඡායාරූපය පිළිබඳ අදහස් පළකළ 57 හැවිරිදි පෝල් ග්‍රෙගරි පැවසුවේ තමන් "සුදුසු ස්ථානයේ සුදුසු වේලාවේ" සිටි බැවින් එම ඡායාරූපය ගැනීමට හැකි වූ බවකි.
සුරදූතයකුගේ වැනි ඉරියව්වකින් පක්ෂියකු ඡායාරූපයට හසුකර ගැනීම අතිශය දුර්ලභ කටයුත්තක් බව ස්වභාවික රක්ෂිතය පවත්වාගෙන යන නොටිංහැම්ශයර් වනජීවී භාරයේ කළමනාකරු ටිම් සෙක්ස්ටන් පැවසීය.
එම භාරය පවසන ආකාරයට පක්ෂියකු පියාඹා යන සැණින් සාමාන්‍යයෙන් පක්ෂි නිරීක්ෂකයින්ට දකින්නට ලැබෙන්නේ 'නිල් පැහැති රේඛාවක්' වැන්නක් පමණි.
"වල් පඳුරුවලින් ගැවසුණු ජලයේ පිළිහුඩුවකු ගේ දැකීමක් මා අපේක්ෂා කළේ නැහැ." යැයි පක්ෂියා දකින්නට පෙර පැය දෙකක පමණ කාලයක් එහි සැඟව සිටි පෝල් ග්‍රෙගරි පැවසීය.
"නවය විතර වෙනකොට පිළිහුඩුවා දැක්කා.. ඉරියව්ව හසුවුණේ ඊට පස්සේ"
"ගිය අවුරුද්දේ මට කිසිවක් නොලැබුණු නිසා මේක තෑග්ගක් වගේ. ඉවසීම ශක්තියක්" යැයි ඔහු පැවසීය.
ටිම් සෙක්ස්ටන් සඳහන් කළේ නොගැඹුරු දිය කඩිතිවල සිටින කුඩා මසුන් දඩයමේ යෙදෙන පිළිහුඩුවන් බොහෝවිට ඡායාරූපයට හසුවන්නේ උස් තැනක ලැග සිටින විට බවය.
"මේ වගේ ක්‍රියාකාරී වූ අවස්ථාවල ඡායාරූප නිතර හසුවන්නේ නැහැ" යැයි කී ඔහු, "මෙය ඡායාරූප දසලක්ෂයකින් එකක් වෙන්න පුළුවන්" බව කියා සිටියේය.