ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පී චිදම්බරම්: හිටපු ඉන්දීය මුදල් ඇමති අත්අඩංගුවට
ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන පලනිඅප්පන් චිදම්බරම් දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ විදේශ ආයෝජන සඳහා අනුමැතිය ලබා දීමට අල්ලස් ලබා ගත් බව ඔහුට එල්ලවී ඇති චෝදනාවය.
73 හැවිරිදි චිදම්බරම් එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඔහු 1984 සිට මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි. ඔහු ස්වදේශීය ඇමති වශයෙන් ද වරක් ක්‍රියා කළේය.
බදාදා (අගෝස්තු 21) මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුණි. හිටපු අමාත්‍යවරයාගේ ආධාරකරුවන් සහ මාධ්‍යවේදීන් ඔහුගේ මෝටර් රථය වටකර ගත් බැවින් එම අවස්ථාවේදී නොසන්සුන් වාතාවරණයක් ඇතිවූ බව වාර්තා විය.
හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා විමර්ශන නිලධාරීන්, අඟහරුවාදා රාත්‍රියේ නව දිල්ලි නුවර පිහිටි නිවසට පැමිණිය ද ඔහු නිවසේ නොමැති බව නිලධාරීන්ට දන්වා තිබේ.
අත්අඩංගුවට ගැනීමට පැය කිහිපයකට පෙර චිදම්බරම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීය. ඊට පෙර දින, ඔහුගේ ඇප අයදුම්පත්‍රය දිල්ලි මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
චිදම්බරම්ගේ නීතිඥයන් අධිකරණයට පැවසුවේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ රජය හිටපු අමාත්‍යවරයාගෙන් සහ ඔහුගේ පුත්‍රයාගෙන් "දේශපාලනික වශයෙන් පලිගැනීමේ" ක්‍රියාවක නිරත වන බවය.
චිදම්බරම් හිටපු ඇමතිවරයාගේ පුත්‍රයා වන කාර්ති ට එරෙහිව ද දූෂණ චෝදනා එල්ල වේ.
2007 වසරේදී 'අයිඑන්එක්ස්' සමාගමට ඩොලර් මිලියන ගණනාවක් වටිනා විදේශ ආයෝජන සඳහා අනුමැතිය දී ඇති බවට චිදම්බරම්ට චෝදනා එල්ල වී ඇත. එකල ඔහු මුදල් ඇමතිවරයා විණි.
මුදල් අමාත්‍යංශයෙන් අදාළ අනුමැතියන් ලබා දුන් කාලයේ කාර්ති චිදම්බරම්ට ද 'අයිඑන් එක්ස් මීඩියා' සමාගමෙන් විවිධාකාර උදව් ලැබුණු බව කියවේ.
මුල්‍ය අපරාධ විමර්ශනය කරනු ලබන ආයතනය සහ මධ්‍යම විමර්ශන කාර්යාංශය ඔවුන් දෙදෙනා ගැනම පරීක්ෂණ පවත්වති.
මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් කාර්ති චිදම්බරම් 2018 දී අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු ඇප මත නිදහස් කළේය. ඔහු තමිල්නාඩු ප්‍රාන්තයෙන් ආ කොංග්‍රස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.
මේ තොරතුරුත් කියවන්න: