ප්‍රංශයේ කුකුළෙකුට එරෙහි නඩුවක්

Rooster Maurice

ඡායාරූප මූලාශ්‍රය, AFP

Published

උදෑසන අවදි වී හඬලන 'මොරිස්' නමැති කුකුළෙකු අසල්වැසියන්ට කරදරයක් බවට පත් වීමේ හේතුව මත නඩු හබයකට මැදි වී ඇති පුවතක් ප්‍රංශයෙන් වාර්තා වේ.

ස්වාභාවික අලංකාරයෙන් පිරි ප්‍රංශ දූපතක් වන 'ඔලෙ(ර්)ඔන්' (Oléron) හි නිවාඩු නිකේතනයක් හිමි විශ්‍රාමික යුවලක් 'මොරිස්' නම් කුකුළා ශබ්ද දූෂණය කරන බවට චෝදනා කරමින් නඩු පවරා තිබේ.

නමුත් 'මොරිස්' යෙදෙන්නේ වෙනත් ඕනෑම කුකුළෙකු කරන කාර්යයේ බව කුකුළාගේ හිමිකාරිය වන කොරීන් ෆෙසෝ (Corinne Fesseau) පවසන්නීය

බ්‍රහස්පතින්දා (ජූලි 4) අදාළ නඩුව ප්‍රංශයේ බටහිර ප්‍රදේශයේ පිහිටි රොෂ්ෆෝර්හි (Rochefort ) අධිකරණයක කැඳවූ අවස්ථාවේ දී මොරිස් හෝ පැමිණිලිකරුවන් එහි පැමිණ නොසිටියහ.

නමුත්, මේ වන විට ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයක් වී ඇති මොරිස්ට සහය දැක්වීම සඳහා කුකුළන් අයිතිකරුවන් අධිකරණය ඉදිරිපිට රැස්වී සිටිනු දක්නට ලැබිණි.

පැමිණිලිකරුවන් වන ෂොන්-ලුවී බයිරොන් (Jean-Louis Biron) සහ ජෝඑල්ල අන්ද්‍රියු (Joëlle Andrieux) මින් වසර පහළොවකට පෙර ඔලෙ(ර්)ඔන් දිවයිනේ පිහිටි ගම්මානයක නිවාඩු නිකේතනයක් ආරම්භ කළ අතර, පසුව එය ඔවුන්ගේ විශ්‍රාමික නිවස බවට පත් වී තිබේ.

Rooster Maurice

ඡායාරූප මූලාශ්‍රය, AFP

එම ප්‍රදේශයේ පවතින ශාන්තභාවය එහි පදිංචි වීමට හේතු වූ බව ඔවුහු පවසති. නමුත් 2017 වසරේ සිට මොරිස් ඉතා උස් හඬින් හැඬලීමට පටන් ගෙන තිබේ.

ඔවුන් කුකුළාගේ හිමිකාරිය වන කොරීන් ෆෙසෝට මේ ගැන පැමිණිලි කළ අතර, එය දෙපාර්ශ්වය අතර මතභේදයකට තුඩු දිණි. කොරීන් ෆෙසෝ මෙම ප්‍රදේශයේ වසර 35ක සිට දිවි ගෙවන්නීය.

ගැමි දිවිපෙවතක් තුළ කුකුළන් හඬලන ශබ්දය කොරීන් ෆෙසෝ ඇතුළු ඇයට සහය දක්වන පිරිසට සාමාන්‍යය සිද්ධියක් වන අතර, එය නතර කරන ලෙසට කෙරෙන ඉල්ලීම් සාධාරණ නොවන බව පවසයි.

කෙසේවෙතත්, මොරිස්ගේ හැඬලීම ගැන තීරණය අධිකරණය සතු වන අතර, එය සැප්තැම්බර් මස ප්‍රකාශ කිරීමට නියමිතය.

මේ තොරතුරු ද කියවන්න: