මහත්මා ගාන්ධිගේ පින්තුරයකට වෙඩි තැබූ කාන්තාවක් අත්අඩංගුවට

Published

දක්ෂිණාංශික හින්දු කණ්ඩායමක නායිකාවක විසින් මහත්මා ගාන්ධිගේ පින්තුරයකට වෙඩි තබන ආකාරය දැක්වෙන වීඩියෝවක් ව්‍යාප්ත වීමත් සමග එම නායිකාව අත්අඩංගුවට ගෙන තිබේ.

හින්දු මහසභා නම් වූ සංවිධානයක් මහත්මා ගාන්ධි ඝාතනයේ 71 වන සංවත්සරය "සැමරීමට" උත්සවයක් සංවිධාන කර තිබිණි.

ඒ පිළිබඳ වීඩියෝ දර්ශනවල දැක්වුණේ මහත්මා ගාන්ධි ඝාතනය කළ පුද්ගලයා වූ නතුරාම් ගොඩ්සේගේ සේයා රුවකට මල්දමක් පැළඳවීමෙන් අනතුරුව, පූජා පාන්ඩේ නම්වූ අදාළ කාන්තාව වායු පිස්තෝලයකින් මහත්මා ගාන්ධිගේ පින්තුරයකට වෙඩි තබන අයුරු ය.

ඇතැම් දක්ෂිණාංශික හින්දු මතවාදීන් දිගු කලක සිට මහත්මා ගාන්ධි දුටුවේ, පමණ ඉක්මවූ මධ්‍යස්ථ මතධාරියෙකු ලෙසය.

මේ ගැනත් කියවන්න:

මෙම වීඩියෝව පසුගිය සතියේදී ඇයගේ කණ්ඩායම විසින් අන්තර්ජාලයට මුදා හරිනු ලැබ ඇති බවට විශ්වාස කෙරේ. ඉන්පසුව අයව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ක්‍රියාත්මක විය.

එමෙන්ම අදාළ දර්ශනවල දක්නට ලැබුණු ඇගේ සැමියා ද සොයා පොලිස් කණ්ඩායම් දෙකක් මෙහෙයුම් අරඹා තිබුණි.

"පමණ ඉක්මවූ මුස්ලිම් හිතවාදියෙකු"

මහත්මා ගාන්ධි ඝාතනය කෙරුණු ජනවාරි 30 වනදා හටගත් මේ සිදුවීමට සම්බන්ධ තවත් කිහිපදෙනෙකු ම අත්අඩංගුවට ගෙන තිබේ.

1948 ජනවාරි 30 වෙනිදා මහත්මා ගාන්ධිට, ඉතා සමීපයේ සිට ඔහුගේ පපුවට වෙඩි පහර තුනක් එල්ල කර ඝාතනය කළ ගොඩ්සේ, හින්දු මහසභා කණ්ඩායම ද අයත්වන ජාතිකවාදී දක්ෂිණාංශික කණ්ඩායම්වලට අයත්වුවෙකි.

මහත්මා ගාන්ධි පමණ ඉක්මවූ මුස්ලිම් හිතවාදියෙකු මෙන්ම හින්දූන් පාවාදුන් අයෙකු ලෙසත් 1947 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබීමෙන් අනතුරුව ඉන්දියාව හා පාකිස්තානය නිර්මාණය කරමින් සිදුවූ දෙකඩවීම හා ලේ වැගිරීමට මුල් වූ පුද්ගලයෙක් ලෙසත් දැඩි හින්දු මතධාරීහු චෝදනා කරති.

මතභේදාත්මක අතුරු කණ්ඩායමක් විසින් ගොඩ්සේ උත්කර්ෂයට පත්කරමින් මහත්මා ගාන්ධිගේ ඝාතනය සැමරූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ.

2015 දී ගොඩ්සේගේ පිළිරූ කර්ණාටක ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක හයක ස්ථාපනය කිරීමට මෙම කණ්ඩායම උත්සාහ කළ අතර ඊට විරෝධය පා එම ප්‍රාන්තය පුරා විරෝධතා පැතිර ගියේය.