ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජීවත්ව සිටියේ නම් 150 වෙනි වසරට එළෙඹෙන මහත්මා ගාන්ධි
ඉන්දියාවේ පියා යන ගෞරව නාමයෙන් හැඳින්වෙන මහත්මා ගාන්ධි හෙවත් මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධිගේ 149 වෙනි ජන්ම දින සැමරුම අදට යෙදී තිබේ.
ඔහු 1869 වසරේ ඔක්තෝබර් මස 02 වන දා ඉන්දියාවේ පෝර්බන්දාර්හිදී උපත ලැබීය.
මේ ඔහු පිළිබඳව බීබීසී සිංහල සේවය තබන සටහනකි.
උතුම් ආත්මය
මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධි, ලෝකයේ වැඩි දෙනෙකු හඳුනන්නේ, 'මහත්මා ගාන්ධි' යනුවෙනි. මහත්මා යනනෙහි අර්ථය 'උතුම් ආත්මය' යන්න ය. ඔහු බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාවට නිදහස ලබා ගැනීම වෙනුවෙන් සහ ඉන්දීය දිළිඳු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ සාර්ථක දේශපාලන ක්‍රියාකාරිකයෙකු විය.
ඔහු ප්‍රකට කළ අවිහිංසාවාදී සංකල්පයට සමස්ත ලෝකය ම තවමත් ගෞරවය දක්වයි.
වරප්‍රසාද ලත් පරිසරයකට උරුමකම් කී ගාන්ධි සාමයේ මිනිසා සහ දිළිඳු ජනතාවගේ නියෝජිතයා බවට පත්වූයේ කෙසේ ද? ඔහු සිය තරුණ අවිධිය විප්ලවකරුවෙකු ලෙස ගත කළේ කෙසේ ද?
1869 - උපත
මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධි 1869 වසරේ ඔක්තෝබර් මස 2 වන දා උපත ලැබුවේ, ඉන්දියාවේ වයඹ දිග පිහිටි පෝර්බන්දාර් නමැති ප්‍රදේශයේදී ය.
ගාන්ධිගේ පවුල ප්‍රභූ පැළැන්තියට අයත් විය. ඔහුගේ පියා පෝර්බන්දාර්හි ප්‍රධාන අමාත්‍යවරයා ලෙස රජයට සේවය කළේ ය. ඔහුගේ මව නිරන්තරයෙන් හින්දු පූජනීය ස්ථානවල කාලය ගත කළ, නිතර උපවාසවල නිරත වූ දැඩි ලෙස ආගම සමග බැඳුණු කාන්තාවක විය.
හින්දු සාරධර්ම, නිර්මාංශමය ආහාර භාවිතය, ආගමික ඉවසීම, සරල දිවිපෙවෙත සහ අවිහිංසාව ඔහුට මවගෙන් ලැබුණු දායාදයන් විය.
1883 - තරුණ විප්ලවවාදියා
පසුකලෙක ගාන්ධිගේ පියා සිය පවුල සමග පෝර්බන්දාර් නගරයට ආසන්න රාජ්කෝට්හි පදිංචියට ගියේය. මෙහි පාසල් අධ්‍යාපනය වඩාත් යහපත් වූ අතර ඔහු එහිදී ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තේය.
ඔහු කස්තුර්බා නමැති එම ප්‍රදේශයේ ම 14 හැවිරිදි දැරියක ආවාහ කර ගත්තේ, 13 වෙනි වියේදී ය. ඒ වන විට ඔහු විප්ලවවාදී තරුණයෙකු ලෙස මත්පැන් පානය, මස් අනුභවය සහ ස්ත්‍රී සේවනයේ ද නිරත විය.
විනෝදකාමී දිවියකට හුරුවී සිටි මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධිට සිය පියා අවසන් හුස්ම හෙළන අවස්ථාවේ ඔහු අසල සිටීමේ අවස්ථාව ද මග හැරිණි.
මේ අතර, සිය බිරිඳට දාව උපන් පළමු දරුවා ඉපදී සුළු වේලාවකින් මිය ගියේය. ඔහු එය දේව දඬුවමක් ලෙස සැලකීය.
1888 - ලන්ඩන් අධ්‍යාපනය
බොම්බේ නගරයේ පිහිටි බව්නගර් විද්‍යාලය පිලිබඳ තෘප්තිමත් නොවූ ගාන්ධිට නීතිය හැදෑරීම සඳහා ලන්ඩනයට යාමේ අවස්ථාව උදා විය.
ලන්ඩනයට ගියහොත් සිය කුලයෙන් ඉවත් කරන බවට ඔහුගේ පරම්පරාවේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ඔහුට බලපෑම් කළ ද ඔහු එම බලපෑම් ඉවත ලා ලන්ඩනයට ගියේය.
නමුත් එහිදී පාරම්පරික හින්දු ප්‍රතිපත්ති අනුව, මාංශ අනුභව නොකිරීම, මත්පැන් භාවිතයෙන් තොරවීම සහ ලිංගික ඇබ්බැහි වීම්වලින් මිදීම යන යහපත් ගුණාංගවලට නැඹුරු වීමට ඔහුට හැකි විය.
ඉන්පසු සමාජයෙන් ලත් බලපෑම අනුව ජනතාවගේ සහ ආගම් අතර අත්‍යවශ්‍ය එකමුතුභාවය පිළිබඳ ඔහු තමාගේ ම මතයක් ගොඩ නැගී ය.
1893 - දකුණු අප්‍රිකාව බලා යයි
ලන්ඩනයෙන් නීති උපාධිය ලත් ගාන්ධි යළි ඉන්දියාවට පැමිණ නීතිඥයෙකු ලෙස සේවය ආරම්භ කළේය. එහෙත්, ඔහු පෙනී සිටි පළමු නඩුව ම පරාජයට පත්වීම නිසා බ්‍රිතාන්‍ය සේවාදායකයා ඔහුගේ රැකියාව අහිමි කළේය.
එයින් ලජ්ජාවට පත් වූ ගාන්ධි, දකුණු අප්‍රිකාවේ රැකියාවක් භාර ගත්තේ ය.
ඔහු දකුණු අප්‍රිකාවට ගොස් දුම්රියක ගමන් කරමින් සිටියදී පළමු පන්තියේ මැදිරියෙන් ඉවත් කෙරුණේ, ඔහුගේ සමේ පැහැය හේතුවෙනි.
ඉන්දීය සංක්‍රමණිකයින්ට එහිදී සිදුවන පහත් සැලකිලි කෙරෙහි කිපුණු ගාන්ධි, වර්ණ භේද වාදයට එරෙහිව දකුණු අප්‍රිකාවේ නේටල්හිදී (Natal) ඉන්දීය කොංග්‍රසය නමින් සංවිධානයක් පිහිටුවීය.
මෙහිදී ඔහු සත්‍යග්‍රහ සහ අවිහිංසාවාදී විරෝධතා සංකල්ප අනුගමනය කරමින් යම් පණිවුඩයක් ඉදිරිපත් කිරීමට සමත් විය.
එහිදී ඔහු පාරම්පරික ඉන්දීය සුදු පැහැති දෝතිය ඇඳීමට හුරු වූ අතර ඔහු එම ඇඳුම හැඳින්වූයේ, 'වැළපෙන වස්ත්‍රය' (mourning robe) යනුවෙනි.
1914 - ඉන්දීය සිවිල් අයිතීන් දකුණු අප්‍රිකාවේදී දිනූ හැටි
ඉන්දීය සම්භවයක් සහිත වැසියන්ගෙන් දකුණු අප්‍රිකාව පවුම් 3 ක බද්දක් අය කිරීමට ගත් තීරණයකට එරෙහිව 1913 වසරේදී ගාන්ධි වැඩ වර්ජනයක් සංවිධානය කළේ ය.
ඉන්දීය මෙහෙකරුවන් වූ ගොවි කම්කරුවන් සහ පතල් කම්කරුවන්ට ගාන්ධි නායකත්වය දුන් පළමු අවස්ථාව එය විය. එහිදී ඉන්දීය කම්කරුවන් 2,221 දෙනෙකුගේ නේටල් සිට ට්‍රාන්ස්වාල් (Transvaal)දක්වා විරෝධතා පාගමනකට ගාන්ධි නායකත්වය දුන්නේ ය.
එහි ප්‍රතිඵලයක් ලෙස මාස 9ක සිර දඬුවම් විඳීමට ගාන්ධිට සිදුවිය.
එහෙත්, වැඩ වර්ජනය තවදුරටත් පුළුල් වූ අතර, ගාන්ධි නිදහස් කරමින් ඉන්දියානුවන්ට එරෙහි බද්ද ඉවත් කර ගැනීමට බ්‍රිතාන්‍ය පාලනයට සිදු විය. එම ජයග්‍රහණය ලන්ඩනයේ ද ප්‍රසිද්ධියක් ලැබුණු අතර ගාන්ධි ජාත්‍යන්තර චරිතයක් බවට පත්වන්නට වූයේ, එතැන් සිටය.
1915 - යළිත් මව් රටට
ගාන්ධි ජයග්‍රාහකයෙකු ලෙස යළි ඉන්දියාවට පැමිණියේ ය.
තමන් සහ තම බිරිඳ වූ කස්තුර්බා තුන් වන පන්තියේ දුම්රිය මැදිරියක ඉන්දියාව පුරා ගමන් කළ යුතු බවට ඔහු තීරණය කළේය.
එම ගමනේදී, දුම්රියවල අධික ජනගහනය සහ දිළිඳුභාවය පිළිබඳව ඔහු දුටු දර්ශනවලින් ඔහු තිගැස්මකට ලක්විය. වරප්‍රසාද නොලත් මිනිසුන් වෙනුවෙන් ක්‍රියා කිරීමට එම ගමන ඔහුට පෙළඹවීමක් ඇති කළේ ය.
ත්‍රස්තවාදීන් ලෙස සැකපිට ඕනෑ ම පුද්ගලයෙකු සිරගත කළ හැකි බවට වූ රවුලට් පනතට (Rowlatt Act) එරෙහිව ගාන්ධි විරෝධතා දිනයක් වෙන් කළේ ය. මේ සඳහා ඉන්දියානුවන් දහස් ගණනක් නගර කීපයකට රැස්වූ අතර විරෝධය පසුව ප්‍රචණ්ඩත්වයකට හැරිණි.
අම්රිත්සාර්හි විරෝධතාකරුවන් 20,000 කට වෙඩි තැබිණි. එහිදී, පුද්ගලයින් 400 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වූ අතර 1300 දෙනෙක් පමණ තුවාල ලැබූහ.
ඉන්දියාවට නිදහස ලබා ගැනීම පිළිබඳ ගාන්ධිගේ ක්‍රියාන්විතය ආරම්භ වූයේ, එම මිනිස් ඝාතනයෙන් පසුව ය.
1921 - ඉන්දීය නිදහස් අරගලය
මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධිගේ ජනප්‍රියත්වය ඉහළ යද්දී ඔහු ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ ප්‍රමුඛයා බවට පත් විය. එසේ ම, බ්‍රිතාන්‍යයෙන් දේශපාලනික නිදහස ලබා ගැනීම සඳහා වූ ව්‍යාපාරයේ ප්‍රධානියා බවට ද ඔහු පත්ව සිටියේ ය.
ආගමික සාමය සහ සියලු ඇදහිලි පිළිගැනීම තුළින් නිදහස් ඉන්දියාවක් නිර්මාණය කිරීමට ඔහුට අවශ්‍ය විය. ගාන්ධි ආරම්භ කළ ප්‍රචණ්ඩත්වයෙන් තොර විරෝධතා සංකල්පය ඉන්දියාවේ සියලු ජන කොටස් සහ ආගම් විසින් පිළිගනු ලැබිණි.
ඒ අනුව, බ්‍රිතාන්‍ය නිෂ්පාදන භාවිතය අත්හැරීම වැනි බ්‍රිතාන්‍ය පාලනයට සහය නොදෙන දේ කිරීම සඳහා ඔහු ඉන්දීය වැසියන් පෙළඹවීය. මෙහි ප්‍රතිඵලය වූයේ, ගාන්ධි වසර දෙකක සිර දඬුවම් ලැබීම ය.
1947 - ඉන්දියාව නිදහස ලබයි
නිදහස වෙනුවෙන් ගොඩ නැගුණු ශක්තිමත් හඬ යටපත් කිරීමට අපොහොසත් වූ බ්‍රිතාන්‍යය ඉන්දියාවට නිදහස දීම සඳහා සාකච්ඡා කිරීම ආරම්භ කළේ ය.
කෙසේ වෙතත්, ගාන්ධි අපේක්ෂා කළ ප්‍රතිඵලය අත් නොවිණි.
මවුන්ට්බැට්න් සැලැස්ම අනුව ඉන්දියාව සහ පාකිස්තානය යනුවෙන් නිදහස් රාජ්‍ය දෙකක් බිහි විය. එහිදී, ආගමික රේඛාවකින් රාජ්‍ය දෙකට බෙදිණි.
ඉන්දීය අගනුවර වූ දිල්ලි නගරයේ නිදහස් සැමරුම් උත්සව පැවැත්වුව ද, ගාන්ධිගේ දර්ශනය වූ එක්සත් ඉන්දියාවක් යන අදහස ව්‍යර්ථ විය. එම බෙදීම මිනිස් ඝාතන රැසකට මෙන් ම පුද්ගල සංක්‍රමණ මිලියන ගණනකට මග පෑදීය.
එවන් පරිසරයක් තුළ ගාන්ධි දිල්ලි නුවර සිට කල්කටාව බලා ගියේ, උපවාස කරමින් ප්‍රචණ්ඩත්වය නවතා සාමය ගෙන ඒමේ අදහසිනි.
1948 - උතුම් ආත්මයක මරණය
බෙදීම නිසා තවදුරටත් ප්‍රචණ්ඩත්වය වර්ධනය විය. ඉන්දියාවේ වෙසෙන මුස්ලිම් වැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා මහත්මා ගාන්ධි යළිත් දිල්ලි නුවරට පැමිණියේ ය. එහිදී ඔහු මුස්ලිම් වැසියන්ගේ අයිතිවාසිකම් දිනා දීම සඳහා උපවාසයක් ආරම්භ කළේ ය.
බිර්ලා හවුස්හි (Birla House) පැවති යාඥා මෙහෙයක් සඳහා යමින් සිටියදී ඔහු හින්දු අන්තවාදියෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක් විය. ඔහුගේ පපු ප්‍රදේශයට වෙඩි තුනක් තබා තිබිණි.
ඇතැම් හින්දු අන්තවාදීන්ට ඔහුගේ මරණය සතුටට කරුණක් වුව ද, බහුතර ඉන්දීය ජනතාව එය ජාතික ශෝකයක් ලෙස සැලකූහ.
යමුනා නදිය දක්වා ගමන් කළ මහත්මා ගාන්ධිගේ අවමගුල් පෙරහැරට මිලියනයක් පමණ ජනතාව එක්ව සිටියහ.
එක්සත් ඉන්දියාවක් වෙනුවෙන් තමන් දුටු සිහිනය සැබෑ කර ගැනීමට නොහැකි වූ, සාමය වෙනුවෙන් කැපවුණු ගෝලීය චරිතයක් වූ මහත්මා ගාන්ධි වෙනුවෙන් සමස්ත ලෝක වාසීහු දුක් වුහ.