තායිලන්ත ලෙනේ ගලවාගැනීමේ මෙහෙයුම: අවසන් ළමුන් පස් දෙනා බේරා ගැනීමට සූදානම් වෙති

Published

පසුගිය මස තායිලන්තයේ ලෙන් සංකීර්ණයක් තුළ සිරවූ පිරිමි ළමුන් කණ්ඩායමේ අවසන් සාමාජිකයන් පස් දෙනා බේරා ගැනීමේ අවදානම් සහගත මෙහෙයුම යළි ආරම්භ කිරීමට කිමිදුම්කරුවෝ සුදානම් වෙති.

ළමුන් සිව් දෙනාගේ සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක බව පැවසේ.

ජලයෙන් යට වී පවතින ලෙන් සංකීර්ණයේ පටු මං ඔස්සේ ඔවුන් රැගෙන ඒමට කටයුතු සුදානම් කර තිබේ.

පසුගිය දින දෙක තුළ ළමුන් අට දෙනෙකු ලෙන් සංකීර්ණයෙන් පිටතට රැගෙන එනු ලැබිණි.

'Tham Luang' ලෙන් සංකීර්ණයේ සිදු කෙරෙන බේරා ගැනීමේ මෙහෙයුම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.

පසුගිය ජුනි 23 වෙනිදා ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හමුවේ හටගත් ගංවතුරත් සමග ළමුන් සහ ඔවුන්ගේ පුහුණුකරු ලෙන් සංකීර්ණය තුළ සිරවිය.

කිමිදුම්කරුවන් විසින් පසුගිය සතියේදී ඔවුන් සොයා ගනු ලැබිණි.

ළමුන්ගේ තත්ත්වය කෙබඳුද?

බේරා ගනු ලැබූ දරුවන් අට දෙනා ප්‍රසිද්ධියේ දැක ගැනීමට නොහැකි වී ඇති නමුත් ඔවුන් සැලකිය යුතු සෞඛ්‍ය මට්ටමක පසුවන බව ප්‍රකාශයට පත් විය.

සඳුදා පිටතට රැගෙන එන ලද ළමුන් සිව් දෙනා අසල පිහිටි රෝහලක් වෙත රැගෙන යනු ලැබිණි.

ඉරිදා බේරා ගැනුණු ළමුන් සිව් දෙනා නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ඔවුන් සිය දෙමව්පියන් සමග එක්වීමට නියමිතව ඇත.

බේරා ගැනුණු ළමුන්ට බත් කැඳ ආහාරයට ගැනීමට හැකියාව ඇති බව බලධාරීහු පවසති.

කෙසේ නමුත් ආහාර නොමැතිව දින දහයක් ගත කර ඇති බැවින් ජීරණ පද්ධතිය යථා තත්ත්වයට පත්වන තුරු තායිලන්තයේ දැඩි කැමැත්තක් දක්වන ඌරු මස් සහිත කෑම වර්ගයක් ලබා දෙන ලෙස ළමුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණු බව බලධාරීහු වැඩිදුරටත් කියා තිබිණි.

25 හැවිරිදි පුහුණුකරු දිනකීපයකට ඉහතදී දෙමව්පියන් වෙත ලිපියක් යවමින් දරුවන් ලෙන තුළට රැගෙන යාම සම්බන්ධයෙන් සමාව ඇයද තිබිණි.

"ඔහුට වරද පටවන්නේ නැති බව" සඳහන් කරමින් දෙමව්පියන් විසින් ඔහුට යළි ලිපියක් යවනු ලැබීය.