ඊජිප්තුව: ඉපැරණි ළමා ඇටසැකිලි සොයාගනී

එක් සැකිල්ලක් සමග මළ සිරුර සංරක්ෂණයට යොදාගත් හණ රෙදි ද හමුවෙයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, එක් ඇටසැකිල්ලක තිබී ඖෂධ ගල්වා සංරක්ෂණය කිරීමට යොදා ගත් හණ රෙදි හමු විය
Published

ඊජිප්තුවේ අස්වාන් නගරය ආසන්නයෙන් මෑතක සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීම් මගින් වසර 3000 වැඩි කාලයකට ඉහත දී මිහිදන් කළ ළමුන් සිව් දෙනෙකුට අයත් ඇටසැකිලි සොයා ගත් බව බලධාරීහු පවසති.

ස්වීඩන සහ ඊජිප්තු ඒකාබද්ධ කණ්ඩායමකට එලෙස හමු වූ එක් ඇටසැකිල්ලක ඖෂධ ගල්වා සංරක්ෂණය කිරීමට යොදා ගත් හණ රෙදි (ලිනන්) තිබු බව පුරාවස්තු අමාත්‍යාංශයේ ප්‍රධානී ආචාර්ය අයිමන් ඇශ්මවි ප්‍රකාශ කළේය.

මිහිදන් කළ මිනිස් ඇටසැකිලි ඊජිප්තුවේ 18 වෙනි රාජවංශය දක්වා දිව යයි. (ක්‍රි.පූ 1549/1550 - 1292)

ස්වීඩනය, ඔස්ට්‍රියාව සහ ඊජිප්තු පුරාවිද්‍යා කණ්ඩායම් ගවේෂණයේ යෙදෙන්නේ අස්වාන් නගරය ආශ්‍රිත ප්‍රදේශයේය
ඡායාරූප ශීර්ෂ වැකිය, ස්වීඩනය, ඔස්ට්‍රියාව සහ ඊජිප්තු පුරාවිද්‍යා කණ්ඩායම් ගවේෂණයේ යෙදෙන්නේ අස්වාන් නගරය ආශ්‍රිත ප්‍රදේශයේය

මේ අතර ඊජිප්තු සහ ඔස්ට්‍රියානු ඒකාබද්ධ කණ්ඩායමක් විසින් සොහොන් බිමක කොටසක් සොයා ගනු ලැබ ඇති අතර ස්විට්සර්ලන්ත කණ්ඩායමක් විසින් කාන්තා ප්‍රතිමාවක් සොයා ගනු ලැබ ඇත.

පුරාවිද්‍යාඥයන් විසින් භූමදානය කළ මිනිස් මළ සිරුරුවලට අයත් ඇටසැකිලි සොයාගනු ලැබුවේ ගෙබෙල් අල්-සිල්සිලා පුරාවිද්‍යා භූමි ප්‍රදේශයෙනි.

අවුරුදු දෙකත් තුනත් අතර වයසේ පසු වූ කුඩා දරුවෙකු වෙනුවෙන් නිර්මාණය කර ඇති එක් සොහොන් ගැබක් ගලක් තුළ නෙළා ඇත.

මළ සිරුර ඔතන ලද රෙදිවලට අමතරව, මෘත දේහය බහාලූ ලී පෙට්ටියේ අවශේෂ අතර තිබී කාබනික කොටස් හමුවී තිබේ.

වසර 3000කට වඩා පැරණි හානි නොවූ ළමා ඇටසැකිළි
ඡායාරූප ශීර්ෂ වැකිය, වසර 3000 කට වඩා පැරණි හානි නොවූ ළමා ඇටසැකිළි

අවුරුදු හයත් නවයත් අතර වයසේ පසු වූ දරුවෙකු සහ අවුරුදු පහත් අටත් අතර වයසේ පසු වූ දරුවෙකු දෙවන හා තෙවන වලවල් තුළ මිහිදන් කර ඇත. ඔවුන් මිහිදන් කිරීම සඳහා ද ලී පෙට්ටි යොදා ගනු ලැබ තිබේ. ආරක්ෂාවට බඳින සුරයක් සහ මැටියෙන් කරන ලද වළන් කට්ටලය බැගින් එම වලවල් තුළ තිබී සොයා ගනු ලැබ ඇත.

සිව් වෙනි වල අයත් වන්නේ ද අවුරුදු පහත් අටත් අතර වයසේ පසු වූ දරුවෙකුටය.

නව සොයා ගැනීම් මගින් තට්මොසිඩ් යුගය හෙවත් 18 වෙනි රාජවංශ යුගයට අයත් මිහිදන් කිරීමේ චාරිත්‍ර මෙන්ම සමාජීය, ආර්ථික සහ ආගමික වත්පිළිවෙත් පිළිබඳ නව මානයක් පෙන්නුම් කරනු ඇති බව ස්වීඩනපුරාවිද්‍යා මෙහෙයුම් කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය මරියා නිල්සන් පවසන්නීය.

ගෙබෙල් අල්-සිල්සිලා පුරාවිද්‍යා භූමි ප්‍රදේශයෙන් මේ දක්වා සොයා ගනු ලැබ ඇති සොහොන් ගැබ් සංඛ්‍යාව 69 කි.

මේ අතර වසර 4000 වඩා පැරණි ඊජිප්තුවේ පළමු මධ්‍යතන යුගය දක්වා දිවෙන සොහොන් භූමියක කොටසක් සොයා ගැනීමට කොම් ඔම්බො (Kom Ombo) නගරයේ කඳු ගැටයක ගවේශණයේ යෙදුනු ඊජිප්තු සහ ඔස්ට්‍රියානු ඒකාබද්ධ කණ්ඩායමක් සමත් වී තිබේ.

ගඩොලින් සකස් කරන ලද සොහොන් වලවල් තුළ මුට්ටි සහ අනෙකුත් අවමංගල භාණ්ඩ
ඡායාරූප ශීර්ෂ වැකිය, ගඩොලින් සකස් කරන ලද සොහොන් වලවල් තුළ තිබී හමු වූ භාණ්ඩ

මැටි ගඩොලින් සකස් කරන ලද සොහොන් ගණනාවක තිබී මැටියෙන් කරන ලද වළන් සහ අවමංගල්‍ය කටයුතු සඳහා යොදා ගැනුණු වෙනත් භාණ්ඩ හමුවූ බව එම පුරාවිද්‍යා මෙහෙයුමේ ප්‍රධානී ආචාර්ය අරින් ෆොස්ටර් පැවසුවාය.

සොහොන් භූමියට පහතින් තිබී පැරණි රාජධානි යුගය දක්වා දිවෙන (ක්‍රි.පූ 2613 -2181) නගරයක කොටස් හමු වූ බව ඇය සඳහන් කළාය.

එම කලාපයෙන් හමු වූ තෙවන සොයා ගැනීම වන්නේ ග්‍රීක - රෝම යුගය දක්වා දිවෙන අසම්පූර්ණ ප්‍රතිමාවකි. අස්වාන් ප්‍රදේශයේ කැණීම් කළ ඊජිප්තු සහ ස්විට්සර්ලන්ත ඒකාබද්ධ කණ්ඩායමක් විසින් එම ප්‍රතිමාව සොයා ගනු ලැබ ඇත.

හුණු ගලෙන් නිර්මාණය කල කවන්ධ කාන්තා ප්‍රතිමාව
ඡායාරූප ශීර්ෂ වැකිය, හුණු ගලෙන් නිර්මාණය කළ හිස රහිත කාන්තා ප්‍රතිමාව

හුණු ගලෙන් නිර්මාණය කර ඇති සෙන්ටි මීටර 38 පමණ උසැති හිස රහිත ප්‍රතිමාවේ පාද සහ දකුණත දක්නට නොමැත.

ප්‍රතිමාවේ දක්නට ඇති වස්ත්‍රය සහ ග්‍රීක දෙවගනක් වන ආතමිස්ගේ වස්ත්‍ර අතර සමානකම් දක්නට ඇති බව ප්‍රදේශයේ පුරාවස්තු පිළිබඳ ප්‍රධානි අබ්දෙල් මෝනිම් සයීඩ් පැවසීය.

මේගැනත් දැනගන්න: