රුසියානු මලල ක්‍රීඩකයන්ට රියෝ ඔලිම්පික් උළෙල අහිමි වෙයි

රුසියානු මලල ක්‍රීඩකයන්ට රියෝ ඔලිම්පික් උළෙල අහිමි වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

Published

රුසියානු රජයේ අනුග්‍රහයෙන් එරට මලල ක්‍රීඩකයන් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ තහනම් උත්තේජන භාවිතා කළ බවට එල්ල වූ චෝදනා ක්‍රීඩා අර්බුද නිරවුල් කිරීමේ ස්විස්ටර්ලන්ත අධිකරණය විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව 2016 රියෝ ඔලිම්පික් උළෙලට රුසියානු ජවන සහ පිටිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී වීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බවයි අධිකරණය තීන්දු කළේ.

රුසියානු මලල ක්‍රීඩාව පුරා පැතිරුණු තහනම් උත්තේජක භාවිතා කිරීමේ ජාලයට රජයේද අනුග්‍රහය හිමි වී ඇති බවට පළ වූ ස්වාධීන වාර්තාව සැලකිල්ලට ගත් ජාත්‍යන්තර ක්‍රීඩා පාලක මණ්ඩලය විසින් රුසියානු මලල ක්‍රීඩා සම්මේලනය අත්හිටුවීමට පියවර ගෙන ඇත.

athletics image

රුසියානු ඔලිම්පික් කමිටුව විසින් එරට මලල ක්‍රීඩකයන් හැට අට දෙනෙකුට තහනම් උත්තේජක භාවිත චෝදනා හමුවේ පැනවුණු තරග තහනම් වලට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් පාර්ශව දෙකේම සාක්ෂි සැලකිල්ලට ගත් ක්‍රීඩා අර්බුද නිරවුල් කිරීමේ ස්විස්ටර්ලන්ත උසාවිය එම අභියාචනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඔවුන්ට පනවා ඇති තහනම දිගටම ක්‍රියාත්මක කරන බවයි.

ඊට අමතරව රුසියානු මලල ක්‍රීඩකයන් රාජ්‍ය අනුග්‍රහයෙන් තහනම් උත්තේජක ලබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන ස්වාධීන පරීක්ෂණයේ දෙවන කොටස සැලකිල්ලට ගෙන රුසියාවේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් තහනම් කිරීමට සලකා බැලීම් සිදු කරන බවයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසන්නේ.