වාහනවලින් දුම් පිටවීම මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් බව ඔබ දන්නවා ද? රජයේ වාහනවලට එම නීතිය අදාළ නැද්ද?
- Author, කුමුදු ජයවර්ධන
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 8
කළු දුම් පිට කරමින් වාහන ධාවනය කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවට අධිකරණය තීන්දු කර ඇතත්, එවැනි වාහන රැසක් මාර්ගවල ගමන් කිරීමේදී අපගේ නෙත ගැටිණි.
ඒ අනුව, බීබීසී සිංහල සේවය කොළඹ අවට මාර්ග රැසක නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී අපට නිරීක්ෂණය වූ ප්‍රධාන කරුණක් වූයේ, බොහෝවිට කළු දුම් පිට කරන වාහන බොහෝමයක් රජයේ කාර්යාල, ත්‍රිවිධ හමුදා, පොලිසිය හෝ ශ්‍රී ලංගම බස් රථ බව ය.
පෞද්ගලික වාහන හිමිකරුවන්ට ආදායම් බලපත්‍ර ලබා ගැනීම සඳහා දුම් සහතිකය අනිවාර්ය කර ඇති අතර, රජයේ වාහන දුම් සහතික ලබා ගැනීම අනිවාර්ය කර නැද්ද යන ප්රශ්නය අපට ඇති විය.
අධිකරණ නියෝගයක් හරහා රජය ක්‍රියාත්මක කළ නීතිය, රජය විසින් ම උල්ලංඝනය කරන්නේ ද? යන්න පිළිබඳව විමසා බැලීමට අපට පෙළඹීමක් ඇති වූයේ ඒ අනුව ය.
වාහනයකින් කළු දුම් පිට වීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ඔබ දැන සිටියා ද?
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 569/98 දරන මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව අනුව, යම් වාහනයකින් පිටවන දුම්වලින් වායු දූෂණයක් සිදුවන්නේ නම් එය ජනතාවට ජීවත් වීමට ඇති මූලික අයිතිය කඩ කිරීමකි.
ඒ අනුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, පොලිසිය සහ ත්‍රිවිධ හමුදා රථවාහන එකී මූලික අයිතිවාසිකම උල්ලංඝනය කරන ආකාරය බොහෝ මාර්ගවලදී දැක ගත හැකි ය.
කෙසේ වෙතත්, පෞද්ගලික වාහන හිමිකරුවන් වාර්ෂික ආදායම් බලපත්‍රය අලුත් කර ගැනීමේදී වායු විමෝචන සහතිකය ලබා ගැනීම අනිවාර්ය වේ.
වායු දූෂණය අවම කිරීමට දායක විය යුත්තේ, පෞද්ගලික වාහන හිමිකරුවන් පමණක් ද? යන්න සමාජයේ කතාබහට ලක්වන මාතෘකාවකි.

වායු විමෝචන සහතික නිකුත් කිරීම ඇරඹුණේ ඇයි?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ, වායු විමෝචන සහතිකය හෙවත් පොදු ව්‍යවහාරයේ පවතින දුම් සහතිකය ලබා ගැනීම අනිවාර්ය කර ඇත්තේ, රජයට ආදායමක් උපයා ගැනීමේ අරමුණින් බව ය.
එහෙත්, මෙම ක්‍රියාවලියේ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 569/98 දරන මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව යටතේ, එවකට වන සම්පත් හා පරිසර අමාත්‍යවරයාට (නන්දිමිත්ර ඒකනායක) දී ඇති නියෝගයක් අනුව දුම් පරීක්ෂණ සහතික නිකුත් කිරීම ආරම්භ කර ඇති බව ය.
එහි අරමුණ, සෑම ශ්‍රී ලාංකිකයෙකුට ම ජීවත් වීමට ඇති අයිතිය සහතික කිරීම ය.
ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වත්මන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක 2025.08.21 දින මෙලෙස පැවසීය.
"ශ්‍රී ලංකාවේ වායු දූෂණයට ප්‍රධාන ම සාධකය වාහනවලින් පිටවන දුම බවට හඳුනා ගැනීමත්, එය කළමනාකරණය නොවීම තුළින් ජීවත් වීමට ඇති මූලික අයිතිය කඩ වන බවට පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඒකමතිකව තීන්දු කිරීමත් සමග අංක 569/98 මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වාහන වායු විමෝචන ප්රමිතීන් ක්‍රියාත්මක කිරීම සඳහා රජයට නියෝග කරන ලදී. එකී නියෝගය කිරීම පදනම් කර ගනිමින් වාහන වායු විමෝචන පරීක්ෂණ වැඩසටහන ආරම්භ කෙරිණි."
ඒ අනුව, වායු විමෝචන සහතික නිකුත් කිරීම 2008.11.17 දින බස්නාහිර පළාතෙන් ආරම්භ කර, 2013.06.01 වන විට උතුරු පළාත ද ඇතුළුව සමස්ත දිවයින ම ආවරණය කර තිබේ.

වායු විමෝචන සහතිකය අවශ්‍ය නොවන වාහන මොනවා ද?
මේ වන විට ක්‍රියාත්මක නීතිය අනුව දෙමුහුන් වාහන (Hybrid) සහ විදුලි වාහන (EV) සඳහා දුම් පරීක්ෂණ සහතික ලබා ගත යුතු නැතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
එහි ප්‍රකාශකයෙකු බීබීසී සිංහල සේවයට පැවසුවේ, ඊට අමතරව, ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවලට අයත් වාහන සහ ගිලන් රථ සඳහා සහනයක් ලබා දී ඇති බව ය.
මෑතක් වන තුරු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අයත් බස් රථවලට ද සහනයක් දී තිබුණ ද, මේ වන විට එම බස් රථ ද වායු විමෝචන සහතිකය ලබා ගත යුතු බවට තීන්දු කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන වැඩසටහන පවසයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන වාහන වායු විමෝචන වැඩසටහනේ නිලධාරියෙකු සඳහන් කළේ, නඩත්තු කිරීමට ප්‍රතිපාදන නොමැති වීම සහ ලාභ නොලැබීම ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් ඇතැම් රජයේ වාහන දුම් සහතික ලබා ගැනීමෙන් නිදහස් කර තිබූ බව ය.
'ශ්‍රී ලංගම බස්වලින් ආදායම් බලපත්‍ර තියෙන්නේ 50%කට විතර යි'
මේ වන විට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලු බස් රථ වායු විමෝචන සහතිකය ලබා ගත යුතු බවට නියම කර තිබියදී, එම බස් රථ රැසකින් කළු දුම් පිටවන්නේ ඇයි?
වායු විමෝචන වැඩසටහන පවසන පරිදි, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ රැසක් ධාවනය කරන්නේ, වායු විමෝචන සහතිකය ලබා නොගෙන ය. එනම්, එම බස් රථවලට ආදායම් බලපත්‍ර ද නොමැත.
"දුම් දාගෙන යනව කියන්නෙ, දුම් සහතිකයක් නෑ කියන්නෙ, ආදායම් බලපත්‍රයක් නෑ එතකොට. ලංගම බස්වලින් 50%ක් විතර තමයි, දුම් සහතික ගන්නෙ. දුම් දාගෙන දුවනවා නම් චෙක් කරල බැලුවොත් ආදායම් බලපත්‍ර නැතුව ඇති," වායු විමෝචන වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මුහුණ දී සිටින ප්‍රායෝගික ගැටලුවක් පිළිබඳව ද ඔහු පැහැදිලි කළේ ය.
"ඒගොල්ලන්ට දුම් සහතිකය ගන්න පුළුවන් කියනවා කොහොම හරි වාහන රිපෙයාර් කරලා. ඊට වඩා ඒගොල්ලන්ට තියෙන ලොකු ම ප්රශ්නය තමයි, ආදායම් බලපත්‍ර එයාලා අවුරුදු 10,15 අරගෙන නෑ. ඒගොල්ලො කියන කාරණය තමයි, අපිට එන්ජින් එක හදාගන්න පුළුවන්, හැබැයි අපිට දඩ එකතු වෙලා තියෙනව ආදායම් බලපත්‍රයේ කියන එක. ඒක සෑහෙන ගණනක් එකතු වෙලා."
එහෙත්, එම ගැටලුවට ප්‍රායෝගික විසඳුමක් ලබා දිය යුතු බව එම නිලධාරියා පැවසීය.
"ඒකට විසඳුම දුම දාගෙන දුවන එක නෙවෙයි. උසාවිය කියල තියෙනව, අධික දුම් දැමීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිද්ධ වෙනවා කියලා. ජීවත් වීමේ අයිතිය නැති කරන්න බැහැ මොන හේතුවක් හින්දවත්. ඒ නිසා අතරමැදි තැනකට ඇවිත් මේ ගැටලුව විසඳගන්න ඕනෙ."
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ රැසකට ආදායම් බලපත්‍ර නොමැති බවට කළ සඳහන සම්බන්ධයෙන් එම මණ්ඩලයේ සභාපති සජීව කනකරත්නගෙන් විමසීමක් කළෙමු.
ඔහු මෙතෙක් ඊට ප්‍රතිචාර දක්වා නොමැති අතර, ඔහුගේ ප්‍රතිචාරයක් ලැබුණහොත් එය මෙහි පළ කිරීමට කටයුතු කරමි.

'කළු දුම් පිට කරන, ආදායම් බලපත්‍ර නැති' බස් ධාවනය කරන්නේ කොහොම ද?
වාහනවලින් කළු දුම් පිට කිරීමත්, ආදායම් බලපත්‍ර නොමැතිව මාර්ගයක ධාවනය කිරීමත් නීතිවිරෝධී වුව ද, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ රැසක් එලෙස මාර්ගවල ධාවනය වන්නේ කෙසේ ද?
එම ප්‍රශ්නයට වායු විමෝචන වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා දුන්නේ මෙවන් පිළිතුරකි.
"අපි නීති සකස් කරල, දඩ මුදල නියම කරනවා. හැබැයි නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ රථවාහන පොලිසිය. නීතිය තියෙන්නෙ කිසි ම වාහනයකට ආදායම් බලපත්‍රයක් ගන්න බැහැ, දුම් සහතිකය නැතුව. එතකොට ලංගම දුම් සහතික ගත්තෙ නැත්නම් ආදායම් බලපත්‍ර ගන්නත් බැහැ. හැබැයි මේක සේවාවක් විදිහට සලකලා හෝ නැත්නම් මගීන්ට සිද්ධ වෙන අපහසුතාව ගැන සලකලා හෝ පොලිස් නිලධාරීන් ලංගම බස් චෙක් කරන්නෙ නෑ."
එහෙත්, වායු විමෝචන වැඩසටහනේ නිලධාරීන් කිහිප දෙනා විවිධ ප්‍රදේශ ආශ්‍රිතව පරීක්ෂා කිරීම් සිදු කරන බව ඔහු පැවසීය.
"අපි ඉන්නෙ 10 දෙනෙක් විතර සුළු කණ්ඩායමක්. අපි ක්ෂේත්රයේ සංචාරය කරල පරීක්ෂා කරල ඇතැම් බස් අල්ලනවා. මුලින් ඔවුන්ට අපි දවස් 14ක් දෙනවා නඩත්තු කරන්න. එහෙම නොකළොත් අසාදු ලේඛනගත කරනවා. එහෙම බස් කීපයකට ම කරලා තියෙනවා."
'රජයේ වාහනවලට සහ පෞද්ගලික වාහනවලට ප්‍රමිති දෙකක් තියෙන්න බැහැ'
පෞද්ගලික වාහනවලට අනිවාර්ය කර ඇති වායු විමෝචන සහතිකය රජයේ වාහනවලට ද ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක කළ යුතු බව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ අවධාරණය කරයි.
ඔහු පෙන්වා දුන්නේ, රජයේ වාහන සම්බන්ධයෙන් නීතිය නොසලකා හැරීමට කිසිවෙකුට සමාවක් දිය නොහැකි බව ය.
"පෞද්ගලික වාහනවලට තමයි මේක විශේෂයෙන් ක්‍රියාත්මක කරන්නෙ. රජයේ වාහනවලට මේක ගේන්න ඕනෙ. නමුත්, අවාසනාවකට වගේ රජයේ තිබෙන බස් රථ ඒ වගේ ම රජයට අයත් ජීප් රථ වගේ ගොඩක් වාහන අධික ලෙස දුම් පිට කරමින් යනවා අපට දකින්න පුළුවන්."
"ලංකාවේ ප්‍රමිති දෙකක් තියෙන්න බැහැ. දැන් වාහනවලට ප්‍රමිතියක් තියෙනවා නම් විෂ දුම් පිට කරන්න පුළුවන් මේ මට්ටමට විතර යි කියලා, එම තීන්දුව රජයේ වාහනවලටත් ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක කළ යුතු යි. ඒක ගැන තර්කයක් තියෙන්නට බැහැ."
"මේ පිට වන දූෂණය ආණ්ඩුවේ වාහනවලින් පිට වුණත්, පෞද්ගලික වාහනවලින් පිට වුණත් මිනිසුන්ට, විශේෂයෙන් ම දරුවන්ට, ඒ වගේ ම අනාගත පරම්පරාවට මේක බලපාන ආකාරය එක ම යි. ඒක නිසා කිසි ම කෙනෙකුට සමාවක් දෙන්නට බැහැ රජයේ වාහනවලට මේව නොසලකා ඉන්න. කාටවත් කියන්න බැහැ නෙ මේ දූෂණය ඇති වෙන්නෙ පෞද්ගලික වාහනවලින් විතරයි කියලා. ඒක සමානව කරන්න කියලා අපි රජයෙන් ඉල්ලන්න ඕනෙ."
පොලිස් රථවාහන අංශයේ ප්‍රතිචාරය
පොලිස් රථවාහන අංශය විසින් දුම් පිට කරන වාහන සම්බන්ධයෙන් වැටලීම් ක්‍රියාත්මක කිරීම නිසිපරිදි සිදු නොවන බවට වන චෝදනාව පිළිබඳව අපි විමසීමක් කළෙමු.
එහිදී, පොලිස් නාගරික රථවාහන අංශයේ ස්ථාන භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ, දුම් පිට කරන සියලු වාහනවලට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ය.
දුම් මට්ටම පරීක්ෂා කිරීම සඳහා පොලිසිය සතුව නිසි යන්ත්‍ර නොමැති අතර, ඇතැම්විට වාහන වායු විමෝචන වැඩසටහනේ නිලධාරීන් සමග එක්වී වැටලීම් කරන බව ද ඔහු පැවසීය.
"කළු දුම් පිට කරන වාහන මාර්ගවල අපි නිතර දකිනවා. දුම් පරීක්ෂා කරන යන්ත්‍ර අපට නැහැ. ඒත් දුම් පිට කරන වාහනයක් දැක්කොත් අපි රියැදුරාට දින 14ක් කල් දෙනවා හදලා පෙන්වන්න. එහෙම නොකළොත් අනිවාර්යයෙන් නඩු දානවා. රජයේ වාහන, ලංගම බස් සියල්ල පරීක්ෂා කරන්න කියලා මම උපදෙස් දීලා තියෙන්නේ."
වාහනවලින් පිට වන දුම් ඔබේ සෞඛ්‍යයට ඇති කරන බලපෑම කුමක් ද?
රථවාහනවලින් පිට කරන දුම් මහ ජනතාවගේ සෞඛ්‍යය කෙරෙහි ඍජුව බලපෑම් කරන බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, වාහනවලින් පිට වන විෂ දුම් නිසා වාර්ෂිකව මරණ මිලියන 5ක් පමණ සිදුවන බව ය.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා සුරවීර ඒ පිළිබඳව පැහැදිලි කළේ මෙසේ ය.
"දූෂිත වාතය හුස්ම ගැනීම නිසා දීර්ඝ කාලීනව බොහෝ බරපතළ ලෙඩ රෝග හැදෙන බව දැන් අපි දන්නා කාරණයක්. බෝ නොවන රෝග ගත්තොත් විශේෂයෙන් වායු දූෂණය කියන එක ප්‍රධාන අවදානම් සාධකයක් පෙනහලු පිළිකා සෑදීමට. ඒ එක්ක ම හෘදය වස්තුව ආශ්රිත ලෙඩ රෝග සහ හෘදයාබාධ, ඒ වගේ ම අංශ භාගය සහ පෙනහලුවල ඇති වන දීර්ඝ කාලීන ලෙඩ රෝගවලට වායු දූෂණය කියන එක ප්‍රධාන වශයෙන් අවදානම් සාධකයක් කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සියලු පාර්ශව දන්න කාරණයක්."
විෂ වායු හේතුවෙන් ළමා මරණ මිලියන ගණනක් සිදුවන අතර, වාහනවලින් පිට කරන දුම් සම්බන්ධයෙන් වගකිවයුතු සියලු ආයතන සහ ජනතාව ද දැනුවත් විය යුතු බව වෛද්‍යවරිය පෙන්වා දුන්නා ය.
දුම් පරීක්ෂණය
මේ වන විට දුම් පරීක්ෂණය සඳහා අවසර ඇති ආයතන 2ක් පවතී. එනම්, Drivegreen සහ LAUGFS Eco Sri යන ආයතන යි.
වායු විමෝචන වැඩසටහන පවසන පරිදි දුම් පරීක්ෂා කිරීම් හරහා රජය සාමාන්‍යයෙන් වාර්ෂිකව රුපියල් මිලියන 300ක පමණ ආදායමක් ලබයි.
වාහන හිමියෙකු දුම් පරීක්ෂා කිරීමකදී ගෙවනු ලබන ගාස්තුවෙන් 75%ක් අදාළ දුම් පරීක්ෂණ ආයතනයට හිමි වන අතර, 25%ක් රජයට හිමි වෙයි.
2025 අගෝස්තු 21 වන දා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ පරිදි, දුම් පරීක්ෂණවලින් 2024 වසරේදී ලැබූ ආදායම් මෙසේ ය.
- මෝටර් සයිකල් - රුපියල් 1,946,073,510
- මෝටර් ට්රයිසිකල් - රුපියල් 762,248,450
- මෝටර් කාර් - රුපියල් 900,697,080
- ද්විත්ව කාර්ය වාහන - රුපියල් 701,191,565
- මෝටර් ලොරි - රුපියල් 506,282,440
- මෝටර් කෝච්/බස් රථ - රුපියල් 85,515,105
- ප්‍රයිම් මූවර්ස් - රුපියල් 3,361,120
- ඉඩම් වාහන - රුපියල් 126,470
වාහන වායු විමෝචන භාරකාර අරමුදලට සිදුවූයේ කුමක් ද?
වාහන වායු විමෝචන වැඩසටහන, පරිසර අමාත්‍යංශය, ප්‍රවාහන අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව ක්‍රියාත්මක වූ අතර, එම අමාත්‍යංශ සම්බන්ධීකරණය කිරීම සඳහා වාහන වායු විමෝචන භාරකාර අරමුදල නමින් ආයතනයක් පිහිටුවා තිබිණි.
ඒ අනුව, වාහන දුම් පරීක්ෂණවලට අදාළ සියලු ප්‍රතිපාදන එම අරමුදල හරහා සිදු කෙරුණ ද, රනිල් වික්‍රමසිංහ පාලන සමයේ, රජයේ ඒකාබද්ධ අරමුදල ක්‍රියාවට නැංවීම හරහා ව්‍යවස්ථාපිත නොවන අරමුදල් අක්‍රීය කෙරිණි.
මේ වන විට එම අරමුදල ව්‍යවස්ථාපිත අරමුදලක් බවට පත් කිරීම සඳහා අදාළ මූලික පියවර ගෙන ඇතැයි වාහන වායු විමෝචන වැඩසටහනේ නිලධාරියා සඳහන් කළේ ය.
දුම් පිට කරන වාහනයක් දුටුවහොත් ඔබ කළ යුත්තේ කුමක් ද?
දුම් පිට කරන වාහනයක් මාර්ගයක ධාවනය වන ආකාරය ඔබ දුටුවහොත් WhatsApp හරහා ඒ බව දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් තිබේ.
ඒ අනුව, 0703500525 අංකයට අදාළ වාහනයේ ඡායාරූපයක් හෝ වීඩියෝවක් යොමු කළ හැකි ය.
ඊට අමතරව, පුරවැසියෙකු ලෙස මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වූ බවට අධිකරණය හමුවේ නඩු පැවරීමට ඕනෑ ම ශ්‍රී ලාංකිකයෙකුට අවස්ථාව පවතින බව ද පරිසරවේදී හේමන්ත විතානගේ පැවසීය.

































