සීමා නිර්ණ ජාතික කමිටුව:ආණ්ඩුව මැතිවරණවලට බයයිද?

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S. KODIKARA
පළාත් පාලන ආයතන සදහා වු කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කිරීම තුළින් පළාත් පාලන මැතිවරණ කල් යයිද යන්න මේ වන විට මතුව ඇති කුකුසකි.
සීමා නිර්ණ ජාතික කමිටුවක් කුමටද?
පළාත් පාලන ආයතන සඳහා වු කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කළේය.
මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවට සාමාජිකයෝ 4 ක් ඇතුළත් වෙති.
මේ තුළින් පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000ක් පමණ දක්වා අඩු කිරීම ආණ්ඩුවේ සැලසුම වී තිබේ.
දැනට පවතින නීතිය අනුව පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මස 20 වැනිදාට පෙර පැවැත්විය යුතුය.
ප්‍රධාන විපක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ චෝදනා කර සිටින්නේ ආණ්ඩුව සීමා නිර්ණ ජාතික කමිටුව තුළින් මැතිවරණ කල්දැමීමට සූදානම් වන බවටය.
සීමා නිර්ණ ජාතික කමිටුවේ කාර්යභාරය පිළිබඳ පැහැදිලි කරමින් කමිටු සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ "අපේ කාර්යභාරය හැටියට තියෙන්නේ සභික සංඛ්‍යාව අඩු කිරීම පිණිස කොට්ඨාස සංඛ්‍යාව අඩු කිරීම. ඒකට තමා අපි සීමා නිර්ණය කරන්නේ. ඒ කාර්ය දැනට පටන් අරන් තියෙන්නේ. අපිට කියලා තියෙනවා පෙබරවාරි මාසයේ 28 වැනිට කලින් මේක ඉවර කරන්න කියලා. අපි ඊටත් පෙර මේක අවසන් කරන්න උත්සහයක් දරනවා. මේ කාර්ය කිරීමයි,ඡන්ද විමසීම පැවැත්වීම අතරයි කිසිම සම්බන්ධයක් නැහැ." යනුවෙනි.
පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව වැඩි වීම හමුවේ, වාර්ෂිකව රුපියල් ලක්ෂ 32,000 ක පමණ අතිරේක පිරිවැයක් දැරීමට රජයට සිදුව ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේය.
දැනට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මිශ්‍ර සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වේ.
ඒ අනුව යම් පළාත් පාලන බල ප්‍රදේශයක කොට්ඨාස මට්ටමින් සහ පොදු ලේඛනයකින් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනෙයි.
2017.10.12 දිනැති 2017 අංක 22 දරන ප්‍රාදේශීය සභා සංශෝධන පනත මගින් මෙම ප්‍රමාණයන් තීරණය කර ඇත.
- කොට්ඨාස මට්ටමින් - 60%
- සමානුපාතික පදනමින් - 40%
පසුගිය සීමා නීර්ණය කොමිෂන් සභාව මගින් ජනගහණය, භූමි ප්‍රමාණය, ජනවාර්ගික පදනම යන කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් මේ වන විට දිවයිනේ සියළුම පළාත් පාලන ආයතන සඳහා අදාළ කොට්ඨාස මොනවාද යන්න පිළිබඳව තීරණය කර එම තීරණ 2015.08.21 දිනැති 1928/26 අංක දරන සහ 2017.02.17 දිනැති අංක 2006/44 දරන ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව පළාත් පාලන ආයතන බෙදා ඇති කොට්ඨාස වර්ග දෙකකි.
- කේවල කොට්ඨාස
- බහු කොට්ඨාස
සෑම පළාත් පාලන ආයතනයකම කොට්ඨාස මගින් තේරී පත්වනු ලබන ප්‍රමාණය 60%ක් ලෙස සලකා ඉතිරි 40%ක ප්‍රමාණය සමානුපාතික පදනම මත තෝරා ගැනීමට කටයුතු කරනු ලැබේ. එම දෙකෙහිම එකතුව එම පළාත් පාලන ආයතනයෙහි මුළු සභික සංඛ්‍යාව වනු ඇත.
ආණ්ඩුව මැතිවරණවලට බයයිද? සීමා නිර් ණ කමිටුව තුළින් ඡන්දය හැකිද?
පුජ්‍ය ඕමල්පේ සෝභීත නාහිමියෝ චෝදනා කර සිටියේ ආණ්ඩුව මැතිවරණ කල් දැමීමේ උපක්‍රමයක් අනුගමනය කරන බවටය.
"සාදාචාර විරෝධී ලෙස බලයේ රැඳී සිටින මේ පාලකයෝ මැතිවරණවලට බයයි, කියන එක පැහැදිලිව පේන දේ එක. පාලකයෝ හිතනවා කල් දැමීමෙන් තමන්ට වාසියක් අත්වෙයි කියලා. ඒ එක්ම ඔවුන් හිතන අනිත් කාරණය තමා මැතිවරණයක් පැවැත්වුවොත් අනිවාර්යෙන් අපිට ගෙදර යන්න වෙනවා. අපිට දඬුවම් ලැබෙනවා ජනතාවගෙන්. ඒ දඬුවම කල් දැමීමේ උපක්‍රමයක් හැටියටත් මැතිවරණ කල්දැමීමට මේ අය බලාපොරොත්තු වෙනවා කියන එක පැහැදිලයි." පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ අවධාරණය කළහ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ද චෝදනා කර සිටියේ මෙය 'පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දැමීමේ උප්පර වැට්ටියක්' බවය.එයින් කිසිදු ප්‍රයෝජනයක් අත් නොවන බව ඔහු පවසයි.
මන්ත්‍රීවරු සංඛ්‍යාව අඩු කිරීමට නම් පැවති පැරණි මැතිවරණ ක්‍රමයට ගොස් සමානුපාතික ක්‍රමයට මැතිවරණ පැවැත්විය හැකි බවද රවුෆ් හකීම් කියා සිටියේය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රාජපක්ෂ ද පසුගියදා පැවති දේශපාලන රැස්වීම් වලදී අවධාරණය කළේ පොහොට්ටුව ඕනෑම මැතිවරණයකට සූදානම් බවටය.
අමාත්‍ය මහින්ද අමරවීර පෙන්වා දුන්නේ මන්ත්‍රීවරු 8000ක් රටට දරා ගත නොහැකි යන කාරණය පිළිබඳ පසුගිය කාලය තුළ ගැටලුවක්ව පැවති බවයි.
එය 4000 දක්වා අඩු කරන බවත් ජනතාවගේ මුදල් ඉතුරු කර ගැනීමට එමඟින් හැකිවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කඩිනමින් එම කටයුතු අවසන් කර ඡන්දයකට යන බවද ඔහු අවධාරණය කළේය.
"ඡන්ද තියන්න පසුබට වෙන්නේ නැහැ. ඡන්ද දෙනවා.ඇතිවෙන්න ඡන්ද දෙන්නම් ඉස්සරහට" මහින්ද අමරවීර පැවසීය.
සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පෙන්වා දුන්නේ "මට පේන හැටියට නම් ජනාධිපතිවරයා ජනමතය විමසන්න බයක් තියෙනවා. ඒ වගේම පොහොට්ටුව සන්දානය මැතිවරණයකට මුහුණ දෙන්න බයක් තියෙනවා. මේ බය නිසා තමා මෙවා කල් දාන්නේ. දැන් බලන්න පළාත් පාලන මැතිවරණය පමණක් නෙමෙයි පළාත් සභා මැතිවරණය වසර 5ක් තිස්සේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධියි."
කූට උපක්‍රම මඟින් මැතිවරණ කල් දාන්න එපා - විපක්ෂ නායක
සීමා නිර්ණය කොමිසමක් පත් කර එහි සභාපති ලෙස මහින්ද දේශප්‍රිය මහතා පත් කර ඇති බවත් එම කමිටුව හරහා උත්සාහ කරන්නේ මැතිවරණ කල්දැමීම විය හැකි බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.
ඔහු කියා සිටියේ 'විවිධ වචන හරඹ නොකර, තවදුරටත් කල් නොදමා පළාත් පාලන මැතිවරණය පැවැත්විය' යුතු බව ය.
මේ කොමිසම හරහා අලුත් පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට උත්සාහ කරන බවත් නමුත් සිදු විය යුත්තේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම නොව ජනතාවගේ මතයට ඇහුම්කම් දී ඔවුන්ට ඡන්දය ලබා දිය හැකි ලෙස ප්‍රජාතන්ත්‍රීය ලෙස මැතිවරණය පැවැත්වීම බවද විපක්ෂනායකවරයා අවධාරණය කළේය.
මැතිවරණය කල් දැමීම තුළින් සිදු වන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් ජනතාව ඉල්ලා සිටින්නේ මැතිවරණයක් බැවින් එය ලබා දිය යුතු බවත් එසේ නොමැති වුවහොත් ලක්ෂ 220ක් වූ ජනතාව සමග මහපාරට බැස මැතිවරණයක් ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
ඔහු සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලා සිටියේ 'හොඳ සමාජවාදියකු නම් මැතිවරණ කල් නොදමා වහාම මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු' බවටය.
ආණ්ඩුවේ මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණයේ කොටස් කරුවකු නොවන ලෙසට විපක්ෂයාකවරයා ඔහුගෙන් ඉල්ලා සිටියේය.
රටට විශාල හානියක් සිදු කළ පක්ෂය සහ රාජපක්ෂලා රකින තත්ත්වයට වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා පත් වී ඇති බවත් පවතින ආණ්ඩුව ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන හෙයින් වහාම මැතිවරණයක් අවශ්‍ය බව පැවසු විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් විපක්ෂය ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව යි.
මහින්ද දේශප්‍රිය කියන්නේ කුමක්ද ?
පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුව පත්කිරීම මඟින් මාර්තු 20 දිනට පෙර, පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු බාධාවක් නැතැයි, මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති සහ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය අවධාරණය කරයි.
සීමා නිර්ණය කමිටුවෙන් කොහොමද මැතිවරණ කල් යන්නේ? ඔහු විමසා සිටියේය.
"පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීයි , මේ සීමා නීර්ණයයි අතර කිසිම සම්බන්ධයක් නැහැ."
මහින්ද දේශප්‍රිය පෙන්වා දුන්නේ "මීට පෙර ඡන්ද වීමසීම් කල්ගියේ කොට්ඨාස දන්නේ නැති නිසා. දැන් ලංකාවේ ගැසට් කරලා ඡන්ද තියපු කොට්ඨාස තියෙනවා. ඡන්ද ක්‍රමය තියෙනවා .එක හින්දා ඡන්ද විමසීමේ නෝර්ටිස් එක ගහන්න අපේ සීමා නීර්ණ කාර්යේ කිසිම බාධාවක් නැහැ."
ඔහු පෙන්වා දුන්නේ "කවුරුහරි කියනවා නම් සීමා නිර්ණය නිසා ඡන්ද විමසීම කල්යනවා කියලා ,ඒක සම්පූර්ණයෙන්ම වැරදි වැටහීමක්."
"දැනට තියෙන කොට්ඨාසවලට ඡන්දය ගැසට් කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට තියෙනවා." ඔහු අවධාරණය කළේය.































