වරායන් පිටරටවලට ලබාදීම මඟින් ශ්‍රී ලංකාව වරායන් ඇති, වරායක් හිමි නැති දූපත් රාජ්‍යයක් බවට පත්වෙයි ද?

Sri Lankan supporters of the opposition People's Liberation Front (JVP) shout slogans during a protest against the agreement with India to develop the Trincomalee oil tank farm project, in Colombo on January 19, 2022.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 14 වැනිදා) ත්‍රිකුණාමල සංවර්ධන සැලැස්ම අනාවරණය කළේ ය.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට අනුකූලව වරාය සහ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ දී ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීම වැදගත් බව යි.

මේ වන විට හම්බන්තොට වරාය චීනයට බදු දී ඇති අතර කන්කසන්තුරේ වරාය ඉන්දියාව වෙත පිරිනමා තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පාලනයට නතුව ඇත්තේ කොළඹ වරායේ කොටසක් පමණි. කොළඹ වරාය දකුණු ජැටිය හා බටහිර ජැටිය ද චීනයට හා ඉන්දියාවට ලබා දී ඇත.

මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාව වරායන් ඇති, එහෙත් වරායන් අහිමි දූපත් රාජ්‍යයක් බවට පත්වෙයි ද?

ත්‍රිකුණාමල සංවර්ධන සැලැස්ම මොකද්ද?

ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්කකර ගත්තක් නොව මතු පරපුර වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් බව ජනපති රනිල් වික්‍රමසිංහ සිකුරාදා (14) ත්‍රිකුණාමලයේ දී පැවසීය.

"අපි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ඊළඟ ඡන්දයට නොවේ, ඊළඟ පරම්පරාව වෙනුවෙන්. 2023 අපි 75 වන නිදහස් දින සංවත්සරය සමරනවා. තව අවුරුදු 25 යි තිබෙන්නේ නිදහස ලබා වසර 100ක් සම්පූර්ණ වෙන්න. ඊට කලින් මේ වැඩකටයුතු කළ යුතු යි," ඔහු පැවසුවේ ය.

"2018-2050 සැලසුම් අපි 2020-2048 ලෙස අඩුකර ගමු. මේ නැගෙනහිර පළාතේ විශාල දියුණුවක් අපි ඒ කාලය තුළ ඇතිකරන්න ඕන. මම කියන්නේ නැහැ ඊළඟ වසර පහේ එය කළ හැකියි කියලා. අපි කියන්නේ එය ආරම්භ කළ යුතු යි කියලා. එතැනින් ඉදිරියට යා යුතු යි."

ත්‍රිකුණාමල වරාය ක්‍රමෝපායික වරායක් ලෙස දියුණු කළ යුතු බව ද ඔහු සඳහන් කළේ ය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට අනුකූලව වරාය සංවර්ධනයේ දී සහ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ දී ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ය.

ඉන්දියාවට තෙල් ටැංකි ලබාදීමේ දී මතුවූ විරෝධතා පිළිබඳව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා, එදා තෙල් ටැංකි ලබාදීමට ගත් තීරණය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදුන්නේ නම් රට ඉන්ධන අර්බුදයකට මුහුණ නොදෙන බව ද ප්‍රකාශ කළේ ය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි

ඡායාරූප මූලාශ්‍රය, Google

ඡායාරූප ශීර්ෂ වැකිය, තෙල් ටැංකි සංකීර්ණය

මෙම සාකච්ඡාව ආරම්භවීමට ප්‍රථම ජනපති රනිල් වික්‍රමසිංහ ඔර්ස් හිල් එළිමහන් භූමියේ සිට ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම යටතේ සංවර්ධනය කිරීමට යෝජිත ස්ථාන කිහිපයක් ද නිරීක්ෂණය කළේ ය.

සාකච්ඡාවෙන් අනතුරුව ඔහු ත්‍රිකුණාමලය ගාන්ධි වටරවුම ආසන්නයේ පිහිටි වෙරළ තීරයේ සංචාරක ආකර්ශණය දිනාගත හැකි ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිත ව්‍යාපෘති භූමිය නිරීක්ෂණය කිරීමට ද එක්විය.

ශ්‍රී ලංකාව වරාය කේන්ද්‍රයක් බවට පත්කිරීම සිය උත්සාහය බව ද ජනාධිපතිවරයා පැවසීය.

"පොළොන්නරුව අගනුවරව පැවති කාලයේ ත්‍රිකුණාමල වරාය විශාල වරායක් ලෙස පැවතුණා. එදා අපිට ත්‍රිකුණාමලය වටේ පෙන්නුවා බෙංගාල බොක්ක සිතියම. බෙංගාල බොක්ක කලාපය තවම දියුණු වෙලා නැහැ. තව අවුරුදු 10-15ක් යයි එම දියුණුව ලබන්න. තායිලන්තයේ තිබෙන දියුණුව දැන් බටහිරට එන්න තිබෙනවා. මියන්මාරයේ තවම එය ආරම්භ වෙලා නැහැ. බංගලාදේශයේ ආරම්භ වුණා විතරයි. ජාවා සුමාත්‍රාවල ඒ වැඩකටයුතු කරගෙන යනවා. ඊළග අවුරුදු 10-15 යනකොට තමයි ඒක වරායක් හැටියට වැදගත් වන්නේ. අපේ උත්සාහය ශ්‍රී ලංකාව වරාය කේන්ද්‍රයක් බවට පත් කිරීම යි."

"ත්‍රිකුණාමල වරාය ගැඹුරු වරායක් බවට පත්කළ යුතු යි. නැගෙනහිර පළාත නාවික කටයුතු සඳහා වැදගත් කාර්යභාරයක් සිදු කරනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.

"ත්‍රිකුණාමල වරාය ප්‍රමුඛ ක්‍රමෝපායික වරායක් බවට පත් කිරීමට අවශ්‍ය යි. ඒ කියන්නේ අපේම නාවික යාත්‍රා මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි අයුරින් එය සංවර්ධනය කිරීම යි. ඒ වෙනකොට දැනට තිබෙනවාට වඩා නාවික යාත්‍රා අපේ නාවික හමුදාවට තියෙයි කියලා මම හිතනවා. අපි මේ කටයුතු සැලසුම් කරන විට ඉන්දියාව සමග එකට වැඩ කළයුතු යි. මන්ද ඉන්දියාව අපිට වඩාත් සමීපව පිහිටා තිබීම නිසා එය ඉතා වැදගත් වෙනවා."

බාධා කිරීම්වලට නැවත ඉඩ දෙන්න බැහැ!

ත්‍රිකුණාමලය බලශක්ති කෙන්ද්‍රස්ථානයක් බවටද පත්කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රසිංහ අවධාරණය කළේ ය.

"දැනට ඉන්දියාව සමග වැඩසටහන් කිහිපයක් ගැන සාකච්ඡා කරමින් සිටිනවා. ඒ නිසා අපට තිබෙන්නේ මේ සාම්පූර් බලාගාරයේ වැඩකටයුතු ඉදිරියට කරන්න. මෙයට බාධා එල්ලවෙනව නම් කෙළින්ම ආණ්ඩුව යටතට අරගෙන ඒ වැඩකටයුතු කරන්න සිදුවෙයි," ඔහු ප්‍රකාශ කළේ ය.

Trincomalee harbour

ඡායාරූප මූලාශ්‍රය, President Media Division SL

ඔහු මෙසේ ද පැවසීය: "ත්‍රිකුණාමල වරාය ගිවිසුමට අපි 2003 අත්සන් කළා. 2003 සිට තෙල් ටැංකි ලබාදීම ගැන වෘත්තීය සමිතිවල විශාල විරුද්ධත්වයක් තිබුණා. අපි එදා තෙල් ටැංකි ලබාදුන්නා නම් අද තෙලුත් තිබෙනවා, අපිට පෝළිංවල ඉන්න වෙන්නෙත් නැහැ, කෝලාහල කරන්න වෙන්නෙත් නැහැ. තෙල් නැති නිසයි මේ ප්‍රශ්න ඇතිවුණේ. ඇයි තෙල් නැති වුණේ? රටේ ආර්ථිකය වැටුණත් තෙල් ටැංකිවල තෙල් තිබෙන්න තිබුණා. ඒත් තෙල් ටැංකි හිස්. ඒ නිසා අපේ වාහනවල තෙල් ටැංකිත් හිස්. අපි එදා මේක කළා නම් අද අපට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

"එවැනි බාධකවලට නැවත ඉඩ දෙන්න බැහැ. මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් එය කළ යුතු යි. මම මේ සැලැස්ම පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුව එකඟ වුණාට පස්සේ එය නීතිගත කරනවා. මොකද ආණ්ඩු මාරුවෙන්න පුළුවන්, පාර්ලිමේන්තු මාරු වෙන්න පුළුවන්, ඒත් ප්‍රතිපත්ති මාරු වෙන්න බැහැ. මේ නිසා බාධක නැතිව අපි ඉදිරියට යන්නයි කටයුතු කළ යුත්තේ."

ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක්…

ශ්‍රී ලංකා රජය පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව ඉන්දියාව සමග කටයුතු කරමින් සිටින වග ද ජනාධිපතිවරයා අනාවරණය කළේ ය.

එය ක්‍රියාත්මක වන්නේ ත්‍රිකුණාමලයේබවත්, ඉන්දියාව සමග ඇති සබඳතා පදනම් කරගෙන ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත්කරගත යුතුබවත්, පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීමත් සමග එයට හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා වැනි අගය එකතු කිරීම් සිදුකළ යුතුබවත් ඔහු ප්‍රකාශ කළේ ය.

"ඉතින් අපට හරිත හයිඩ්‍රජන් අපනයනය කරන්න වරායක් අවශ්‍ය යි. එහිදී මෙතන තිබෙන විභවය සැලකිල්ලට ගත යුතු යි," ඔහු පැවසීය.

ඉදිරියේ දී සිංගප්පූරුවටත් මාර්ගයක් සාදාගැනීමට හැකිවනු ඇතැ යි ද ජනපති ප්‍රකාශ කළේ ය.

"ඒ තත්ත්වයට දියුණු කිරීමට විශාල ඉඩ ප්‍රස්ථාවක් තිබෙනවා. මේ පළාතේ ආර්ථික විභවය ඉතා විශාල යි. එය ඉලක්ක කරගෙන තමයි අපි මෙය දියුණු කළ යුත්තේ," ඔහු වැඩිදුරටත් පැවසීය.

"ආර්ථික වශයෙන් මෙම වරාය නගරය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට සීමා කරන්න බැහැ. මෙය අනුරාධපුර, වව්නියාව, දඹුල්ල නගර සමග සම්බන්ධ විය යුතු යි. වන්නි, නැගෙනහිර, උතුරුමැද තමයි රටේ ආහාර විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ. ආහාර නිෂ්පාදන අපනයනය කරවා නම් මෙතනින් තමයි එය සිදුකළ යුත්තේ.

"අද අපි පිටි අපනයනය කරනවා. අපි තිරිඟු වවන්නේ නැහැ, ඒ වුණාට අපි අපනයනය කරනවා. එය කරන්නේ ප්‍රිමා ආයතනය. අපේ ප්‍රධාන අපනයන ද්‍රව්‍යයක් තමයි තිරිඟු පිටි. අපි එය පිටින් අරගෙන අපනයනය කරනවා. ඒ වගේ වෙනත් ද්‍රව්‍යත් එලෙස අපනයනය කළ හැකියි. අපි ඒ පිළිබඳ සලකා බලමු," ජනාධිපතිවරයා පැවසීය.

කර්මාන්ත දියුණු කිරීමටත් ඉන්දියාවේ එකඟතාව

මෙම පළාතේ කර්මාන්ත දියුණු කිරීමට ඉන්දියාව සමග එකඟත්වයකට පැමිණ තිබෙන බව ද ජනපති පැවසුවේ ය. ඒ අනුව කර්මාන්ත කලාපයක් ඇති කළ යුතුබවත්, එම කටයුතු ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධව සිදු කිරීමට තමා යෝජනා කර ඇතිබවත් ඔහු පැවසීය. එවිට වරායට ද ඊට සම්බන්ධයක් ඇතැ යි ද, ඒ පිළිබඳ ඒකාබද්ධ කණ්ඩායමක් පත්කිරීමට සැලසුම් කරන වග ද ඔහු සඳහන් කළේ ය.

කෙසේ නමුත් ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට පෙර ආර්ථික පැත්ත ගැන සැලකිල්ලට ගතයුතු බව ද ජනපති පවසයි.

"ආර්ථික පැත්තෙන් බලන විට අපිට තිබෙනවා සංචාරක කර්මාන්තය. විශේෂයෙන් අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල සංස්කෘතික ත්‍රිකෝණය තිබෙනවා. ඒ නිසා පැමි‍ණෙන සංචාරකයින් ප්‍රමාණය වැඩි වෙනවා," ඔහු සඳහන් කළේ ය.

ත්‍රිකුණමල සංවර්ධන සැලැස්මට ගුවන් තොටුපළ සංවර්ධනය ද අයත් ය.

"ත්‍රිකුණාමල ගුවන් තොටුපොළ තිබුණත් එහි විශාල අහස් යානා ගොඩබැස්සවිය නොහැකියි. ඒ නිසා හිඟුරක්ගොඩ හෝ වව්නියාව ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කරන්න සිදුවෙනවා. ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව දක්වා සංචාරක කර්මාන්තය දියුණු කරන්න ඉඩප්‍රස්ථාවක් තිබෙනවා," ජනාධිපතිවරයා පැවසුවේ ය.

"නැගෙනහිර පළාත දියුණු කිරීමට අපි සම්පූර්ණ සැලැස්මක් ඇතිකළ යුතුයි. එමෙන්ම උතුරු පළාත දියුණු කිරීමට වැඩපිළිවෙළක් තිබෙනවා. උතුර යි, නැගෙනහිර යි මැද තිබෙන්නේ ත්‍රිකුණාමලය. ඒ වගේම උතුරුමැද ගත්විට අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විශාල කොටසක් අයිති වෙන්නේ මේ පළාතට. මෙම ඒකාබද්ධ වැඩසටහන වසර පහකින් සිදුකළ නොහැකියි. අවුරුදු 20 - 25කින් කරන්න පුළුවන්. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය නිමකරන්න අවුරුදු 10ක් ගතවුණා. මෙම මූලික වැඩ කටයුතු ගැන සාකච්ඡා කරලා ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලය දැනුවත් කර ඊට පසුව ඉදිරි කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා."

Trincomalee harbour

ඡායාරූප මූලාශ්‍රය, President Media Division SL

ඡායාරූප ශීර්ෂ වැකිය, 2050 වන විට කොළඹ වරාය ද සිය උපරිම ධාරිතාවට පැමිණෙනු ඇතැ යි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි

ලංකාව වරායක් හිමි නැති රටක් බවට පත්වෙයි ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ 2002 වසරේ යළි පිබිදෙමු ශ්‍රී ලංකා (Regaining Sri Lanka) වැඩසටහන තුළින් ද ත්‍රිකුණාමලය බහුකාර්ය වරායක් වශයෙන් සංවර්ධනය කිරීමට සැලසුම්කර තිබූ බව කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හසිත් කන්දඋඩහේවා සිහිපත් කළේ ය.

ගෝඨාභය - රනිල් පාලන සමය තුළ සිටම ඉන්දියාව - ජපානය එක්ව කරන ව්‍යාපෘතියක් ලෙස ත්‍රිකුණාමල වරාය සංවර්ධනයට කතිකාවක් පැවති බව ද ඔහු සඳහන් කරයි.

"ඉන්දියාවට වැදගත් වන්නේ ඉන්දියාවේ නැගෙනහිර වරායන්වල සිට ගෙන එන භාණ්ඩ ත්‍රිකුණාමල වරායට ගෙනල්ලා, සිංගප්පුරුව වගේ රටවල් වගේම පැසිෆික් කලාපයට යවන්න. එතකොට ලොකු පිරිවැයක් අඩුකර ගන්න පුළුවන්," ඔහු පෙන්වා දුන්නේ ය.

"හම්බන්තොට වරාය චීනය සතුව තියෙන හින්දා ඉන්දියාවට අවශ්‍ය වෙලා තියෙනවා නැගෙනහිර වරායක්. දැනටමත් කොළඹ 70%ක් ප්‍රතිනැව්ගතකිරීම් කරන්නේ ඉන්දියාව. ත්‍රිකුණාමලය වරාය බහුකාර්ය වරායක් ලෙස සංවර්ධනය වුණොත් හම්බන්තොට වරායට දැන් තියෙන ඉල්ලුමත් නැති වෙනවා. හම්බන්තොට තියෙන වාසිය නැතිවෙලා යනවා," ආචාර්යවරයා ප්‍රකාශ කළේ ය.

"මේකේ වාසි අවාසි දෙකම තියෙනවා. වරාය හරියට සංවර්ධනයක් ඇතිවුණොත් එහෙම අපේ නැගෙනහිර ප්‍රදේශවල වර්ධනයක්, දියුණුවක් ඇතිකර ගන්න පුළුවන්. ඔය ප්‍රදේශවල තියෙනවා රෙයාර් අර්ත් - ඛණිජ වැලි තියෙනවා. ඒවා අපනයනය කරලා ආදායමක් ගන්න පුළුවන්," ඔහු පැවසීය.

ත්‍රිකුණාමලය වරාය ඉන්දියාව වෙත ලබා දුන්නහොත් මෙරට බලශක්ති අංශයට ද ඉන්දියාව සහායක් ලබාදෙනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා මෙම සැලැස්මේ අවාසි ලෙස සඳහන් කළේ මෙවැන්නකි: "ලංකාව වරායක් හිමි නැති රටක් බවට පත්වෙන්න පුළුවන් අපිට තියෙන වරායන් පිටරටවලට විකුණලා. මේක දීර්ඝකාලීන සෛවරීභාවට හොඳ නැහැ."

"යුදමය අතින් බැලුවොත් යම් විදිහකට කොඩ් කණ්ඩායම අතර ගැටුමක් යනවා. චීනයට විරුද්ධව ප්‍රතිරෝධයක් දැක්වුවොත් ඒ වගේ වෙලාවක ඉන්දියාව ත්‍රිකුණාමලය වරාය උපක්‍රමික ස්ථානයක් ලෙස භාවිත කරන්න පුළුවන්."

"කොහොම වුණාත් වරායන් පිටරටවලට ලබාදීම මඟින් ශ්‍රී ලංකාව වරායන් ඇති, වරායක් හිමි නැති දූපත් රාජ්‍යයක් බවට පත්වෙයි," ඔහු අවධාරණය කළේ ය.