ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපතිවරණය : සජිත්, අනුර සහ ගෝඨාභය ආර්ථිකය ගොඩනගන හැටි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය වැටී ඇත්තේ අසීරු අඩියකට බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වේ. රටේ අදායම ණය වාරික ගෙවීමට පවා ප්‍රමාණවත් නොවන බවට අදහස් පළ වේ.
නවතම දත්ත අනූව, ශ්‍රී ලංකාවේ විදෙස් ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 55ක් පමණ වේ. ඉන් 10%ක් පමණ ගෙවිය යුතු වන්නේ චීනයට ය.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකට අනූව 2019 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වී ඇත්තේ 1.6% කිනි.
එම 'මන්දගාමී ආර්ථික වර්ධනයට' එක් හේතුවක් වූයේ 2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව ලෙස ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනුමාන කරයි.
එම ප්‍රහාර නිසා විශේෂයෙන් ම සංචාරක ක්ෂේත්‍රයේ විශාල පසුබැසීමක් ඇතිවිණි.
2018 සැප්තැම්බර් මාසය නිම වන විට මිලියන 1.73ක සංචාරකයන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි. නමුත් මේ වසරේ එම මාසය තෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සංචාරකයන් මිලියන 1.37ක් පමණි.
ශ්‍රී ලංකාවට ලැබෙන ඍජු විදෙස් ආයෝජන ද සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ. 2019 වසරේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාව ට ලැබුණු ඍජු විදෙස් ආයෝජනවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 230ක් විය. මෙය ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින ආර්ථිකයක වර්ධනයට සුභවාදී නැත.
එසේම ශ්‍රී ලංකා රුපියල ද ඇමෙරිකානු ඩොලරය ට සාපේක්ෂව 1.3%ක් මේ වසරේදී අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
මෙවැනි වාතාවරණයක් ඇති පසු බිමක, 2019 නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයන් සිය මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් කර තිබේ. මෙවර නාමයෝජනා බාරදුන් ජනාධිපතිධූර අපේක්ෂකයන් සංඛ්‍යාව 35 කි.
ඒ අතුරින්, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ආර්ථිකය නිසි මගට ගැනීමට සිය මැතිවරණ ප්‍රකාශනවල සඳහන් ඇති වැඩපිළිවෙල සහ ක්‍රියාමාර්ග ගැන කෙරෙන විපරමකි මේ.
මෙම මැතිවරණ ප්‍රකාශනවල සඳහන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි නම් එය ශ්‍රී ලංකා ආර්ථිකයේ සාධනීය හැරවුම් ලක්ෂය විය හැකි බව ආර්ථික විශේෂඥයන් පවසයි.
එම මැතිවරණ ප්‍රකාශන ගැන අදහස් දක්වූ ශ්‍රී ලංකා මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන රවී අබේසූරිය පැවසුවේ, "ඉතාම හොඳ අදහස් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබෙනවා. නමුත් සමහර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය අපැහැදිලියි. දැන් එක අපේක්ෂකයෙක් කියලා තියෙනවා 'PAYE tax' එක අයින් කරනවා කියලා. තව කෙනෙක් කියලා තියෙනවා පරාසය වැඩි කරනවා කියලා. ජනතාවට මේවා අකර්ෂනීයයි. නමුත් එම ගිලිහෙන අදායම උපයා ගන්නේ කොහොම ද කියලා දැක්විය යුතුයි."
ශ්‍රී ලංකා මහ බැංකුවට අනූව දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක ලෙස රාජ්‍ය අදායම 2017 පැවති 13.6% සිට 13,3% දක්වා 2018 වසරේදී අඩු විණි. 2019 වසරේදී එම තත්ත්වය තවත් දුර්වල වී ඇතැයි පැවසේ.
"අපේ රටේ තවමත් බදු එකතු කර ගැනීමේ කටයුත්ත හරියට වෙන්නේ නෑ. සමහරු බදු ගෙවන්නේ ම නෑ. ඒවා නිවැරදි වුණොත් රටේ අදායම තවත් වර්ධනය කර ගන්න ගන්න පුළුවන්," අබේසූරිය පැවසීය.
"ඩිජිටල්කරණය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවිය යුතු වෙනස්කම් ගැන ඔවුන් කතා කරනවා. ඒක සාධනීයයි. අපේ අධ්‍යාපනය රැකියා වෙළෙඳපොළ සමග බද්ධ වීම වැදගත්."
අපේක්ෂකයන්ගේ පොරොන්දු:
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ. "ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත: එක්ව ඉදිරියට යමු," ලෙස ඔහුගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය හඳුන්වා ඇත.
එහි ඔහු මෙසේ සටහන් කරයි, "ආර්ථික වශයෙන් ශක්තිමත් වර්ධනය දෙසට යොමු වූ තාක්ෂණික වශයෙන් උසස් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මා පෙනී සිටිනවා. එය සමාජීය වශයෙන් සවිඥානක, දේශපාලනික වශයෙන් ස්ථාවර දේශයක්, සමාජ සාධාරණත්වය සහ සැමදෙනාටම අයත් සංවර්ධනයක් ඔස්සේ මා මගේ රට සෞභාග්‍යය වෙත මෙහෙයවනවා."
"පෞද්ගලික අංශය වර්ධනයේ එන්ජිම," ලෙස සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හඳුන්වා දෙයි. එහෙත් ආදිකල්පිත නීති, සංවිධානමය සිරවීම්, සහ රාජ්‍ය දූෂණ හේතුවෙන් රාජ්‍ය අංශයට විලංගු ලා තිබෙන බව ඔහු පෙන්වා දෙයි.
"කම්පනයන් සහ අවිනිශ්චිතතාවයන් ඇති නොවන පරිදි අපි ප්‍රධාන ආර්ථික විචල්‍ය සහ උද්ධමනය, පොලී අනුපාතික සහ විනිමය අනුපාතික කළමනාකරණය කරන්නෙමු," යනුවෙන් ඔහු වැඩිදුරටත් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සටහන් කරයි.
පර්යේෂණ හා සංවර්ධනය, ඩිජිටල්කරණය සහ තොරතුරු තාක්ෂණය, විද්‍යුත් රාජ්‍ය පාලනය, අපනයන වර්ධනය කිරීම සඳහා සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය දිරිගැන්වීම, සහ විශේෂ ආර්ථික කලාප බිහිකිරීම මගින් රට දියුණු කළ හැකි බව සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පෙන්වා දෙයි.
එසේම සාධාරණ සහ යුක්ති සහගත බදුකරණයක් ඇති කිරීම ඔහුගේ එක් අරමුණකි. "ඒ වෙනුවෙන් අපි ආදායම් බදු, දේපල බදු, සහ වෙනත් ප්‍රගතිශීලී බදු ක්‍රම හරහා ඍජු බදුකරණය ශක්තිමත් කරන්නෙමු."
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් තවත් 'වැදගත්' කරුණු කිහිපයක් ලෙස කොළඹ අන්තර්ජාතික මූල්‍ය නගරයක් ලෙස දියුණු කිරීම, රාජ්‍ය ණය නිසි පරිදි කළමනාකරණය, බුද්ධිගලනය ආපසු හැරවීම, සහ ඉන්දියානු සාගර කේන්ද්‍රය නිර්මාණය කිරීම යන්න දැක්විය හැකිය.
"දිනන රටක ගමන" ලෙස හඳුන්වා ඇති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති "ගුණාත්මක ජීවිතයක්: නොසැලෙන ආර්ථිකයක්" යනුවෙන් විස්තර කෙරේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක එහි ජනාධිපතිධූර අපේක්ෂකයා වේ.
ඩිජිටල්කරණය, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය හා දැනුම මත පදනම් වූ නොසැලෙන ආර්ථිකයක් යන්න ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තියේ තේමාවයි. දුප්පත්කම සහමුලින්ම තුරන් කිරීම, ආදායම් බෙදීයාමේ අසමානතාවය අවම කිරීම, ප්‍රාදේශීය වශයෙන් ආර්ථික විෂමතා අවම කිරීම, කෘතීම බුද්ධිය, නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය උචිත සහ අදාළ පරිදි නිෂ්පාදන සහ ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කිරීම ද ජාතික ජන බලවේගයේ අරමුණු අතර වේ.
'ක්ෂුද්‍ර ණය උගුලෙන්' ජනතාව මුදවා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බව ද අනුර කුමාර දිසානායක පවසයි. මෑත කාලයේදී 190 දෙනෙකු පමණ එම ණය ගෙවා ගත නොහැකිව සිය දිවි හානි කර ගෙන ඇතැයි ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ වාර්ෂික ආනයන අපනයන පරතරය ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක් පමණ වේ. ඊට ප්‍රධාන එක් හේතුවක් වන්නේ ලෝක වෙළෙඳපොළ වෙත නව නිෂ්පාදන යොමු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී තිබීම සහ රට තුළ නිෂ්පාදන කළ හැකි දේ පවා ආනයනය කිරීමට මෙරට ව්‍යාපාරික ප්‍රජාව හුරුවී සිටීම බව පිළිගන්නා මතයකි.
එබැවින් දැනට 0.14% වන ශ්‍රී ලංකාවේ ලෝක වෙළෙඳ පංගුව 2%ක් දක්වා ඉහළ දමා ගැනීමට පළමු අදියරේදී කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ දැක් වේ.
ප්‍රතිපාත විරෝධී (Anti-dumping) නීති ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජයේ අදායම 20% - 25% දක්වා ගෙන ඒමට සැලැස්මක් ඇති කිරීම, අය වැය හිඟය 5%ක මට්ටමේ රඳවා ගැනීම, ආහාර, ඖෂධ, සෞඛ්‍ය සේවා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා VAT ඉවත් කිරීම, ප්‍රජා කේන්ද්‍ර සංචාරක ගම්මාන 200ක් නිර්මාණය, පොදු ප්‍රවාහනය දිරිගැන්වීම යන කරුණු ද ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ අඩංගු වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කෙරිණි. "රට හදන සෞභාග්‍යයේ දැක්ම" ලෙස සඳහන් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔහු මෙසේ සටහන් කරයි. "අප රමණීය දිවයිනේ ජීවත්වන සියලු තරුණ දූ පුතුන් හට ගෞරවණීය ලෙස ජීවත් විය හැකිවන පරිදි ශක්තිමත් තිරසර ආර්ථිකයක් බිහි කළ යුතුය."
'ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථික වැඩපිළිවෙලක්" මගින් ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන ආර්ථික ප්‍රතිපත්තියක් හිමි කර දීම ඔවුන්ගේ අභිප්‍රාය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
ආර්ථික වර්ධන වේගය ඉහළ දැමීම, ඒක පුද්ගල අදායම ඇමෙරිකානු ඩොලර් 6500 ඉක්මවා යෑම, සහ රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යෑම ගෝඨාභය රාජපක්ෂ ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධානතම ආර්ථිකය හා සම්බන්ධ ප්‍රතිපත්ති වේ.
එසේම, එකතු කළ අගය මත බදු 15% සහ ජාතිය ගොඩනැගීමේ බදු 2% වෙනුවට 8%ක සරළ එකතු කළ අගය මත බද්ධක් අය කෙරෙන බව ද එහි සඳහන් ය. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා නියුතුවූවන්ගේ වැටුපෙන් අඩු කෙරෙන 'PAYE tax' අහෝසි කිරීම තවත් එක් ප්‍රතිපත්තිමය පොරොන්දුවකි.
ගොවිතැන තාක්ෂණය සමග මුසු කිරීම, පොහොර නොමිලයේ ලබා දීම, ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම, සියලු පළාත් ආවරණය වන පරිදි කර්මාන්තපුර, නිදහස් වෙළෙඳ කලාප සහ නිදහස් වරාය 50ක් පිහිටුවීම, විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර වැඩපිළිවෙලක් දියත් කිරීම සහ සංචාරක ව්‍යපාරය වර්ධනය කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ද ගෝඨාභය රාජපක්ෂ ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ.
එසේම ඇඟලුම් කර්මාන්තය, ඉදිකිරීම් කර්මාන්තය සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වර්ධනය කිරීමට ගැනීමට යෝජිත ක්‍රියාමාර්ග රැසක් ද එහි දැක් වේ.
මේ තොරතුරුත් කියවන්න: