ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන සංචාරය සඳහා පුහුණුවීම් අරඹයි: "සංචාරය තවමත් අවිනිශ්චිතයි"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ මාසය අගදී ඇරඹීමට නියමිතව තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය සඳහා උපරිම ආරක්ෂාව ලබාදෙන බව පවසමින් පාකිස්තාන රජය ශ්‍රී ලංකා රජය වෙත ලිපියක් යොමු කොට තිබේ.
පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය වෙත යොමු කර තිබෙන මෙම ලිපිය මගින් ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයේ රැඳී සිටින සම්පූර්ණ කාලය පුරා ඔවුන්ට ඉහළම ආරක්ෂාව ලබාදෙන බවට සහතික කර ඇතැයිද බීබීසි සිංහල සේවයට වාර්තා වේ.
කෙසේ නමුත් මේ මස 27 වන දින ඇරඹීමට නියමිතව තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෙම සංචාරය තවමත් පසුවන්නේ අවිනිශ්චිත තත්ත්වයකය.
මෙම සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන්නේ ද යන්න තීරණය කිරීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් ඉල්ලා තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා බීබීසි සිංහල සේවයට පැවසුවේ තවමත් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කළ යුතුද නැද්ද යන්න පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර නොමැති බවය. ආරක්ෂක අමාත්‍යංශය ලබා දෙන උපදෙස් අනුව ඉදිරි පියවරගන්නා බවත් ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට සහභාගි වන්නේ නම් තවත් සතියක කාලයකින් එනම් සැප්තැම්බර් 25 වැනි දින පාකිස්තානය බලා යා යුතුය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ගැන නැවත සමාලෝචනයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ, පාකිස්තානයේ සංචාරයේ යෙදුනහොත් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම "ත්‍රස්ත තර්ජනයකට" මුහුණ දිය හැකි බවට අග්‍රාමාත්‍ය කාර්යාලයට තොරතුරු ලැබීමෙන් අනතුරුවය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරය කඩාකප්පල් කිරීමට ඉන්දියාව උත්සාහ කරන බව පාකිස්තානයේ මතය වී තිබේ.
නම සඳහන් කිරීමට අකමැති වූ කොළඹ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානියෙකු බීබීසි සිංහල සේවයට පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයේ යෙදුන හොත් එහිදී ඔවුන්ට "ත්‍රස්ත තර්ජනයක්" එල්ලවිය හැකි බවට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යාලයට "වැරදි තොරතුරු" ලබා දී ඇතැයි තමන් විශ්වාස කරන බවය. ඉන්දියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
2009 වසරේ පාකිස්තානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවූ ප්‍රහාරය සැළකිල්ලට ගෙන ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 10 දෙනෙකු සංචාරයට සහභාගි නොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ මස මුලදීම දැනුම්දී තිබුණි.
ඉන්දියාවේ බලපෑම මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සංචාරයට එක් නොවන බවට පාකිස්තාන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ෆවාඩ් හුසේන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීමත් සමග ශ්‍රී ලංකා පිලේ පාකිස්තාන සංචාරය, ඉන්දියාව හා පාකිස්තානය අතර මත ගැටුමක් දක්වා වර්ධනය විය. ඉන්දීය හා පාකිස්තාන සමාජ මාධ්‍ය පරිශීලකයෝ එකිනෙකාට චෝදනා කරමින් ඒ පිළිබඳව විවිධ අදහස් හුවමාරු කරගනිමින් සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තරගාවලිය සඳහා සියල්ල සූදානම් බව පාකිස්තානය පවසන අතර ශ්‍රී ලංකාව සමග තරගාවලියට සහභාගි වන පාකිස්තාන මූලික සංචිතය මේ වනවිටත් නම් කර තිබේ. තරඟාවලිය ඉලක්ක කරගනිමින් පාකිස්තාන කණ්ඩායම පුහුණුවීම් ආරම්භකර තිබෙන බව ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තාන තරගාවලිය සඳහා නම්කර සිටින ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ද මේවන විට තරගාවලියට සහභාගීවීම ඉලක්ක කරගනිමින් පුහුණුවීම් ආරම්භ කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග අඟහරුවාදා (සප්ත්මබර් 17) මාධ්‍ය වෙත අදහස් පළකරමින් ශ්‍රී ලංකාව මේ අවස්ථාවේදී පාකිස්තානයට උපකාර කළ යුතු බව පවසයි.
"ඉන්දියාව සහ පාකිස්තානය මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තියෙන වෙලාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ මෙහෙ ඇවිල්ල තරගවලට සෙල්ලම් කරලා අපේ රටේ ආරක්ෂාව තියෙනවා කියලා පෙන්නුවා. මේ වෙලාවේ අපි පාකිස්තානයට උදව් කරන්න ඕනේ. ඒක කරන්න බැරි වෙලා තියෙන්නේ අද කොන්දක් නැති ක්‍රිකට් පරිපාලනයක් තියෙන නිසා," අමාත්‍ය අර්ජුණ රණතුංග කියා සිටියේය.
අමාත්‍යවරයාගේ ප්‍රකාශයට සමාජ මාධ්‍යවල විවිධ ප්‍රතිචාර හිමිව තිබුණි. "මට මතකයි 1996 වෙන කවුරුත් නැති වෙලාවේ ඉන්දියාව සහ පාකිස්තානය ලංකාවට ආවා. අර්ජුන රණතුංග හරි," යනුවෙන් නදීකා ජයසිංහ පවසයි.
"පාකිස්තානය තමයි ශ්‍රී ලංකාවේ යුද්ධය වෙලාවේ උදවු කළේ," උස්මා උජි ට්විටර් හරහා පැවසුවාය.
"නමුත් ශ්‍රී ලංකාවේදී කවදාවත් විදේශ ක්‍රිකට් කණ්ඩායමකට පහරදීලා නැහැ. අපි එකපාරක් පාර කාපු නිසා හොඳට හොයලා බලල යන්න ඕනේ," සමන්ත සඳකැලුම් ෆෙස්බුක්හි සඳහන් කර තිබුණි.






























