කසළ ගැටලුව සහ පුත්තලම: පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමෙන් "පිරිසකට තුවාල"

පොලිස් නිලධාරියෙක් විරෝධතාකරුවන්ට පහර දුන් ආකාරය
Published
කියවීමේ කාලය: මිනිත්තු 3

අරුවක්කාලු කසළ අංගනයට විරෝධය පළකරමින් පුත්තලම ශක්ති ක්‍රීඩාංගනය අසලට රැස්වූ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුමක් හටගත් අවස්ථාවේ පොලිසිය තමන්ට පහරදුන් බව විරෝධතාකරුවෝ චෝදනා කරති.

ග්‍රාම ශක්ති ව්‍යාපාරයට අදාළව පුත්තලම දිස්ත්‍රික්කයේ නව ඉදිකිරීම් කිහිපයක් විවෘත කිරීම සඳහා පුත්තලමට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණගැසීමට අවශ්‍ය බව පවසමින් සිකුරාදා (මාර්තු 22)පෙරවරුවේ මෙම විරෝධතාව ආරම්භ කර තිබිණ.

පුත්තලම නගර සභා ක්‍රීඩාංගනය අසල සාමකාමී විරෝධතාවක නිරත වූ පිරිස පසුව ජනාධිපතිවරයා මුණගැසීමට ශක්ති ක්‍රීඩාංගනයට ඇතුල්වීමට උත්සාහ දැරූ අවස්ථාවේ පොලිසිය තත්වය පාලනය කිරීමට උත්සාහ දැරීමත් සමග දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් හටගත් බව බීබීසී සිංහල සේවයට අනාවරණය වේ.

එහිදී පොලිස් නිලධාරීන් තමන්ට පහර දුන් බව උද්ඝෝෂණයේ යෙදී සිටි විරෝධතාකරුවෝ ප්‍රකාශ කළහ.

කසළ ගැටලුව නිසා පුත්තලම උණුසුම්
ඡායාරූප ශීර්ෂ වැකිය, කසළ ගැටලුව නිසා පුත්තලම උණුසුම්

එම චෝදනා ගැන ප්‍රතිචාරය පළකරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර බීබීසී සිංහල සේවයට කියා සිටියේ, විරෝධතාකරුවන් කළහකාරී ලෙස හැසිරීම නිසා ප්‍රභූ ආරක්ෂාව මෙන්ම මහජන ආරක්ෂාව ද තහවුරු කිරීමේ අවශ්‍යතාව මත පවතින නීති ප්‍රතිපාදන හමුවේ පිරිස විසුරුවා හැරීමට සිදු වූ බවය.

මෙහිදී කළහකාරීව හැසිරුණ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත බව ද ඔහු පැවසීය.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

බ්‍රහස්පතින්දා (මාර්තු 21) තමන් මේ පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලය හා ආරක්ෂක අංශ දැනුවත් කළ අතර, ප්‍රදේශවාසීන්ට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමට ද පියවර ගත් නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව පුත්තලම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

ජනාධිපතිවරයා පුත්තලමට පැමිණෙන දිනයේ මෙවැනි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වූ වහාම ඒ පිළිබඳ= අධිකරණයට කරුණු වාර්තා කළ බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

කසළ ගැටලුව නිසා පුත්තලම උණුසුම්
කසළ ගැටලුව නිසා පුත්තලම උණුසුම්
කසළ ගැටලුව නිසා පුත්තලම උණුසුම්

ජනාධිපතිවරයා පරිසර අමාත්‍යවරයා බැවින් ඔහු හමුවී කසළ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව ඉල්ලා සිටියත් එසේ අවස්ථාව නොලැබුණු බව විරෝධතා කරුවෝ පවසති.

පොලිසිය තමන්ට පහරදුන් බව පවසන පුත්තලමේ ෆාතිමා රිෆානා, "පිරිමි පොලිස් නිලධාරීන් ඉතා පහත් විදිහටයි කාන්තාවනට පහර දුන්නේ. කීප දෙනෙක් රෝහල් ගත කරලත් තියනවා. අපි ගියේ පුත්තලමේ තියෙන ප්‍රධාන ගැටලුව කියන්න. එහෙම තියෙද්දී පොලිසිය පහර දුන්නා." යනුවෙන් කියා සිටියාය.

දින දෙසීයක පමණ කාලයක සිට පුත්තලමේ ජනතාව අරුවක්කාරු කුණු අංගනයට දක්වන විරෝධය ජනාධිපතිවරයා නොදැන සිටිය නොහැකි බවද ෆාතිමා රිෆානා වැඩිදුරටත් කියා සිටියාය.

BBC

තුවාලකරුවන් දෙදෙනෙකු රෝහලට ඇතුළත් කරන ලද බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී සුමිත් අත්තනායක, ඒ අතර වයස අවුරුදු 16 ක දරුවෙකු සහ කාන්තාවක ද සිටි බව පැවසීය. කාන්තාව බාහිර රෝගී ඒකකයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව ද වෛද්‍ය අධිකාරීවරයා කියා සිටියේය.

ප්‍රහාරයෙන් 13 දෙනෙකුට සහ කාන්තාවන් තිදෙනෙකුට තුවාල සිදු වූ බව ප්‍රකාශ කළ "ක්ලීන් පුත්තලම" සංවිධානය, පොලිසිය විසින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් කරයි.

පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය, ජල ප්‍රහාරක රථ ද කැඳවා මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේය.