The Hundred: ලසිත් මාලිංගගේ ලංසුව ඉවතට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/Nathan Stirk
එංගලන්තයේ පැවැත්වීමට නියමිත The Hundred ක්‍රිකට් තරගාවලිය සඳහා වැඩිම ලංසුවක් ඉදිරිපත් වී තිබූ ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග කිසිදු කණ්ඩායමක් විසින් මිල දී ගෙන නොමැත.
එම තරඟාවලියේ වැඩි ම ලංසු මුදලක් නියම වූ ක්‍රීඩකයින් අතරට ලසිත් මාලිංග ද ඇතුළත් කර තිබිණි.
වැඩි ම ලංසුව වූ ස්ටර්ලිං පවුම් 125000ක මුදලක ලංසු ඉදිරිපත් වී තිබූ ක්‍රීඩකයින් 6 දෙනා අතර සිටි ක්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව්), කගිසෝ රබාඩා (දකුණු අප්‍රිකාව) සහ ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව) යන ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනාම මිල දී නොගැනීම විශේෂත්වයකි.
කෙසේ වෙතත්, වැඩි ම ලංසු හිමි වී තිබූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වන ඩේවිඩ් වෝර්නර්, ස්ටීවන් ස්මිත් සහ මිෂෙල් ස්ටාර්ක් ක්‍රීඩක වෙන්දේසියේදී මිල දී ගෙන තිබේ.
මේ අනුව, මෙම තරඟාවලිය සඳහා කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු තෝරාගෙන නොමැත.
ක්‍රීඩක වෙන්දේසියේදී ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් වන රෂීඩ් ඛාන් සහ මුජීබ් උර් රහුමාන් ස්ටර්ලිං පවුම් 125000 බැගින් වූ මුදලකටත් නේපාල ක්‍රීඩක සන්දීප් ලමිචානි ස්ටර්ලිං පවුම් 100000කටත් මිල දී ගැනීම විශේෂත්වයකි.
වෙන්දේසියේදී වැඩි ම මිල වූ ස්ටර්ලිං පවුම් 125000ක් ගෙවමින් මිල දී ගැනුණු ක්‍රීඩකයින්
මෙම තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබූ ක්‍රීඩකයින් සංඛ්‍යාව 570 දෙනෙකි.
ඉන් 239 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වූ අතර 331 දෙනෙක් එංගලන්ත ක්‍රීඩකයෝ වූහ.
The Hundred තරඟාවලිය

සීමිත පන්දු වාර ක්‍රිකට් තරග ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් පැවැත්වෙන මෙම තරඟාවලියේදී එක් කණ්ඩායමක් මුහුණ දෙන පන්දු සංඛ්‍යාව 100කි.
මෙම තරඟාවලිය සඳහා අනුමැතිය හිමි වූයේ, එංගලන්ත-වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ 2017 වසරේ පැවති ඡන්ද විමසීමකින් පසුවය.
මෙහිදී පන්දුවාර 20 තරගවලදී බලපැවැත්වෙන නීති ක්‍රියාත්මක වන අතර පළමු පන්දු වාර 15 එක් පන්දු වාරයකට පන්දු 6ක් ලෙස ක්‍රියාත්මක කෙරේ. එහෙත්, අවසන් පන්දු වාරය පන්දු 10කින් සමන්විත වනු ඇත.
මෙම තරඟාවලිය 2020 වසරේ ජූලි 17 වන දා සිට අගෝස්තු 16 වන දා දක්වා පැවැත්වේ.
'The Hundred' ක්‍රිකට් තරඟාවලියේ සදර්න් බ්‍රේව් පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන කටයුතු කරයි.
තවදුරටත් කියවන්න:



























