The Hundred: ලසිත් මාලිංග, එංගලන්තයේ ඉහළ ම ලංසුව හිමි ක්‍රීඩකයින් අතරට

ලසිත් මාලිංග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

එංගලන්තයේ පැවැත්වීමට නියමිත The Hundred ක්‍රිකට් තරගාවලියේ වැඩි ම ලංසු මුදලක් නියම වූ ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඇතුළත් වී තිබේ.

ක්‍රීඩක වෙන්දේසිය සදහා ඔහුට නියම වී ඇති මූලික මුදල ස්ටර්ලිං පවුම් 125000කි. (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 280)

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2019 ශූරතාව හිමි කර ගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීම සදහා මූලිකත්වය ගත්තේ ද ලසිත් මාලිංගය.

ලසිත් මාලිංග

ඡායාරූප මූලාශ්‍රය, Lasith Malinga/Facebook

ඔහු එක්දින කඩුලු 338ක් බිද හෙළා ඇති අතර පන්දු වාර 20 තරගවලදී කඩුලු 104ක් දවාගෙන තිබේ.

එක්දින සහ T20 ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 4කදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ එක ම පන්දු යවන්නා ලසිත් මාලිංග වේ.

The Hundred තරගාවලිය

සීමිත පන්දු වාර ක්‍රිකට් තරග ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් පැවැත්වෙන මෙම තරගාවලියේදී එක් කණ්ඩායමක් මුහුණ දෙන පන්දු සංඛ්‍යාව 100කි.

මෙම තරගාවලිය සඳහා අනුමැතිය හිමි වූයේ, එංගලන්ත-වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ 2017 වසරේ පැවති ඡන්ද විමසීමකින් පසුවය.

මෙහිදී පන්දුවාර 20 තරගවලදී බලපැවැත්වෙන නීති ක්‍රියාත්මක වන අතර පළමු පන්දු වාර 15 එක් පන්දු වාරයකට පන්දු 6ක් ලෙස ක්‍රියාත්මක කෙරේ. එහෙත්, අවසන් පන්දු වාරය පන්දු 10කින් සමන්විත වනු ඇත.

මෙම තරගාවලිය 2020 වසරේ ජූලි 17 වන දා සිට අගෝස්තු 16 වන දා දක්වා පැවැත්වේ.

වැඩි ම මිල ගණන්

The Hundred: ලසිත් මාලිංගට එංගලන්තයෙන් ඉහළ ම මිල නියම වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වැඩි ම මිලක් නියම වූ ක්‍රීඩකයින් 6 දෙනා අතර ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් තිදෙනෙක් වෙති.

ලසිත් මාලිංගට අමතරව ක්‍රීඩක වෙන්දේසියේ යෝජිත වැඩි ම ලන්සුව වන ස්ටර්ලිං පවුම් 125000ක මිලක් නියම කර ඇති සෙසු ක්‍රීඩකයින් මෙසේය.

  • ඩේවිඩ් වෝර්නර් (ඔස්ට්‍රේලියාව)
  • ස්ටීවන් ස්මිත් (ඔස්ට්‍රේලියාව)
  • මිෂෙල් ස්ටාර්ක් (ඔස්ට්‍රේලියාව)
  • ක්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව්)
  • කගිසෝ රබාඩා (දකුණු අප්‍රිකාව)

මෙම තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කර ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 570 දෙනෙකි. ඉන් 239 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වන අතර 331 දෙනෙක් එංගලන්ත ක්‍රීඩකයෝ වෙති.

මේ වන විට තෝරාගෙන ඇති ක්‍රීඩකයින්ගේ ලේඛනය පහත දැක්වේ.

The Hundred

මහේල ජයවර්ධන

මහේල ජයවර්ධන

ඡායාරූප මූලාශ්‍රය, ECB

'The Hundred' ක්‍රිකට් තරගාවලියේ සවුතැම්ටන් පළාත පදනම් කර ගත් පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන කටයුතු කරයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙවර ශූරතාව හිමි කර ගත් ලසිත් මාලිංග ක්‍රීඩා කළ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ද මහේල ජයවර්ධනය.

ඊට අමතරව, මහේල ජයවර්ධන 2015-16 දක්වා කෙටි කාලයක් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කළේය.

42 හැවිරිදි මහේල ජයවර්ධන, පුහුණුකරු වෘත්තියට පා තැබීමට පෙර ටෙස්ට් තරග 149 සහභාගි වී ලකුණු 11,814ක් රැස් කර ඇත.

එක්දින තරග 448 සහභාගී වී ඇති ඔහු එමගින් රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 12,650ක් කි.

ටෙස්ට් ශතක 34 ක් වාර්තා කර ඇති මහේල 2011 වසරේදී එක්දින ලෝක කුසලාන අනුශූරතාව දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීය.

තවදුරටත් කියවන්න.