සව්රව් ගංගුලි: ඉන්දීය ක්‍රිකට් මහ පුටුව ‘කොල්කටාහි කුමාරයා’ට

ඉන්දීය ක්‍රිකට් මහ පුටුව 'කොල්කටාහි කුමාරයා'ට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published
කියවීමේ කාලය: මිනිත්තු 2

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක 'කොල්කටාහි කුමාරයා' (Prince of Kolkata) යනුවෙන් හැඳින්වෙන සව්රව් ගංගුලි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරයට පත්වී තිබේ.

වසර 20කට වැඩි කාලයක් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ ඔහු ඉන්දියාවේ සාර්ථක ම ටෙස්ට් නායකයින් අතරින් කෙනෙකි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

විශිෂ්ට වමත් පිතිකරුවෙකු වූ ගංගුලි එක්දින ලකුණු 10000 ඉක්මවූ, කඩුලු 100කට වඩා බිද හෙළූ, උඩපන්දු 100කට වඩා රැක ගත් සුවිශේෂී ක්‍රීඩකයෙකි.

දේශීය තරගවලදී විශිෂ්ට දස්කම් දැක්වූ සව්රව් ගංගුලි ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදර ලෙස සැලකෙන ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ අතර සිය පළමු ඉනිමේදී ම ශතකයක් (131) වාර්තා කරමින් සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළේය.

සව්රව් ගංගුලි: ඉන්දීය ක්‍රිකට් මහ පුටුව 'කොල්කටාහි කුමාරයා'ට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඔහු ඉන්දීය කණ්ඩායමේ නායකත්වය භාර ගත්තේ, තරග පාවාදීමේ සිද්ධි හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව අර්බුදයකට මුහුණ පා සිටි වකවානුවකය.

ඔහු නව කණ්ඩායමක් සකසා, කණ්ඩායමේ ආත්ම විශ්වාසය ගොඩ නැගීමට සමත් වූ අතර, එය ඔහුගේ ක්‍රීඩා දිවියේ දක්නට වූ පෞරුෂත්වයේ අනන්‍යතාව විය. තරුණ ක්‍රීඩකයින්ට අවස්ථා දෙමින් ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීය.

තරග ජය ගැනීමේ පුරුද්දක් ඉන්දීය කණ්ඩායම තුළ ඇති කළේ ගංගුලිය. ඔහු නායකයෙකු ලෙස ක්‍රියා කළ ආකාරය පසුව නායකත්වයට පත්වූ රාහුල් ඩ්‍රාවිඩ්ගේ සහ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයට පදනම සැකසීය.

සව්රව් ගංගුලි සිය වෘත්තීය ජීවිතය තුළ මතභේදයන්ට මුහුණ දුන්නේය. වැඩි ම කතාබහට ලක්වූයේ, එවක ඉන්දීය පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රෙග් චැපල් සමග ඇති කර ගත් අර්බුදය ය.

එංගලන්තය පරාජය කිරීමෙන් පසු ලෝඩ්ස්හිදී ගංගුලි එය සැමරූ ආකාරය දැඩි අවධානයට ලක් විය. එම ක්‍රියාව ඉන්දියාව පරාජය කිරීමෙන් පසු මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී කමිසය ගලවා දමමින් සතුට සැමරූ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්ට දුන් පිළිතුරක් ලෙස සැලකිණි.

ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමෙන් පසු සව්රව් ගංගුලි දේශපාලනයට අවතීර්ණ වනු ඇති බවට කටකතා පැතිරිණි. එහෙත්, ඔහු දේශපාලනයට පිවිසියේ නැත.

2014 ලෝක් සභා මැතිවරණයට තරග කරන ලෙස භාරතීය ජනතා පක්ෂය කළ යෝජනාව ඔහු ප්‍රතික්ෂේප කළේය.

ඉන්දීය පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාවට සව්රව් ඇතුළත් කරගැනීමට එහි වැඩි බලය හිමි ත්‍රින්මූල් කොංග්‍රසයට අවශ්‍ය විය. ඒ වන විට සචින් තෙන්දුල්කර් ද එම මණ්ඩලයට ඇතුළත් කර තිබිණි. කෙසේ වෙතත්, සව්රව් ගංගුලි එයට ඇතුළත් කිරීමේ කටයුතු සාර්ථක නොවීය.

2021 වසරේදී පැවැත්වීමට නියමිත බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණයේදී සව්රව් ගංගුලි ඉදිරිපත් කිරීමට භාරතීය ජනතා පක්ෂය උත්සහ දරයි. කෙසේ වෙතත්, ඔහු එම පක්ෂයට නිලවශයෙන් එක්වනු ඇත්දැයි යන්න හෝ ඒ වෙනුවෙන් සහය පළකරන්නේදැයි යන්න මෙතෙක් පැහැදිලි නැත. ඔහු මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ, එය සිදු නොවන දෙයක් වන අතර කිසිවකු එවැන්නක් තමන්ට පවසා නැති බවය.

සව්රව් ගංගුලි බෙංගාල ක්‍රිකට් සංගමයේ සභාපති ධූරය දරමින් සිටි අතර ඔහුට ඉන් ඉවත් වීමට සිදුවේ. මේ වන විට එම සංගමයේ සම ලේකම් ධූරය දරන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන ජග්මෝහන් ඩල්මියාගේ පුත් අභිෂේක් ඩල්මියා බෙංගාල ක්‍රිකට් සංගමයේ සභාපති ධූරයට පත් වීමේ ඉඩකඩ පවතී.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ව්‍යවස්ථාවට අනුව සභාපති ධූරය ගංගුලිට හිමි වනුයේ, මාස නවයක කාලයක් සදහා පමණි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යුහය

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සාමාජිකයින් 9 දෙනෙක් ඇතුළත් වෙති.

සභාපති, උප සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, සම ලේකම්, ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ පිරිමි නියෝජිතයෙකු, කාන්තා නියෝජිතවරියක, ඉන්දීය ප්‍රිමියර් ලීග් පාලක මණ්ඩලයේ නියෝජිතයෙකු සහ මධ්‍යම රජයේ නියෝජිතයෙකු යන පිරිස එම මණ්ඩලයට අයත් වෙති.

තවදුරටත් කියවන්න.