තරඟ පාවාදීම්: කාන්තා ක්‍රිකට් තරඟයක් ගැන ඉන්දියාවෙන් පරීක්‍ෂණයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තරඟ පාවාදීමේ අරමුණින්, ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවක හමු වීමට උත්සාහ දරා ඇති බවට චෝදනා ලත් බුකිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ඉන්දීය පොලිසිය නඩු පවරා තිබේ.
එංගලන්ත පිලට එරෙහිව සීමිත ඕවර තරඟාවලිය ආරම්භ වීමට පෙර මෙම සැක සහිත සිද්ධිය සිදු වී ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේදී ය.
වංචා කිරීම සහ සූදු කෙළීම යන වැරදිවලට රාකේෂ් බෆ්නා සහ ජිතේන්ද්‍ර කොතාරි නමැති දෙදෙනා චූදිතයන් වී ඇති බව ඉන්දීය පොලිසිය බීබීසී හින්දි සේවයේ ඉම්රාන් කුරේශිට පැවසීය.
ලොව පුරා ක්‍රීඩා තරඟ සඳහා ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාර අතර ඉන්දීය සූදු කර්මාන්තය ඉහළින්ම සිටී. එය ඩොලර් බිලියන 45ත් 150ත් අතර ප්‍රමාණයක මුදල් ගැවසෙන ව්‍යාපාරයක් බවට ඇස්තමේන්තු කර ඇත.
ඉහත කී සැකකරුවන් දෙදෙනා ඉන්දීය පිලේ ක්‍රීඩිකාවට සමීප වීමට උත්සාහ දරා ඇත්තේ ක්‍රීඩා කළමනාකරුවන් දෙදෙනෙකු ලෙස පෙනී සිටිමිනි.
රාකේෂ් බෆ්නා නැමැත්තා සමඟ දුරකථනය ඔස්සේ සිදු වූ කතා බහ මෙම ක්‍රීඩිකාව විසින් පටිගත කරනු ලැබ ඇති බවට විශ්වාස කෙරේ. අනතුරුව ඇය මේ සම්බන්ධ තොරතුරු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබේ.
කෙසේ නමුත් මෙම ක්‍රීඩිකාව, සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් කර ඇත්තේ කෙදිනක දැයි තවමත් පැහැදිලි නැත. ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මේ පිළිබඳව පොලිසියට දැනුම් දී ඇත්තේ සඳුදා (සැප්තැම්බර් 16) ය.

"ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන්ට කොයි ක්‍රිකට් තරඟයත් එකයි. කුමන මට්ටමක තරඟයක් ද කියන එක ඔවුන්ට ප්‍රශ්නයක් නැහැ." ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙකු වන අජිත් සිං ශේක්වාත් එරට මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.
ඔහු තවදුරටත් පවසා ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩිකාවන් ද සූදුකරුවන්ගේ ග්‍රහණයට හසුවීමේ අවදානමට මුහුණ දී සිටින බව මෙම සිද්ධියෙන් පෙනී යන හෙයින් ක්‍රීඩිකාවන් ද ප්‍රවේශම් විය යුතු බවය.
ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම තරඟ වදින ජාත්‍යන්තර එක්දින තරඟයක් සඳහා අල්ලන ඔට්ටු ප්‍රමාණයේ මුළු වටිනාකම ඩොලර් මිලියන 190 ඉක්මවා යන බවට ප්‍රවෘත්ති වාර්තා සඳහන් කර තිබේ.
ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට ද තරඟ පාවාදීමේ චෝදනා අතීතයේ දී එල්ල විය. ජාතික කණ්ඩායමේ නායකත්වය දැරූ මොහොමඩ් අසරුදීන් ද ඒ අතර විය.
අති විශාල මුදල් සම්භාරයක් යොදවා පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලිය ද තරග පාවාදීමේ චෝදනාවලින් ගහන විය.
ඉන්දීය අධිකරණ විනිසුරුවන් මෙහෙය වූ කමිටුවක් මගින් කරන ලද විභාගයකින් හෙළි වුයේ IPL තරඟ සඳහා සම්බන්ධවූ කිහිප දෙනෙකුම තරඟ පාවාදීමේ සහ නීතිවිරෝධී ඔට්ටු ඇල්ලීමේ චෝදනාවලට වැරදිකරුවන් බවය.
මේ අතර ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදුව තබා ගැනීමේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් කුමාර් සංගක්කාර පසුගිය දා ප්‍රසිද්ධියේ කියා සිටියේ මේවන විට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් දූෂණ චෝදනා 43ක් පිළිබඳව ලොව පුරා පරීක්ෂණ පැවැත්වෙන අතර ඉන් පරීක්‍ෂණ 23ක් ම පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව තුළ බවය.
තවත් කියවන්න:






























