ඉරානයේ ඊළඟ නායකයා තෝරා ගැනීමේදී 'මම සම්බන්ධ විය යුතුයි' යැයි ට්‍රම්ප් පවසයි - වාර්තාවක්

ඉරානයේ ඊළඟ නායකයා පත් කිරීමේදී තමා "සම්බන්ධ විය යුතු" බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව, ඇමෙරිකානු ජනාධිපතිවරයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ ඇක්සියෝස් සඳහන් කළේය.

සාරාංශය

  • ඉරානය බහරේනයේ හෝටලයක් ඉලක්ක කළ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය කියයි.
  • ඉරානයට එරෙහි ප්‍රහාර "ඉදිරියේදී තවත් දැඩි වනු ඇති බවට" එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පවසයි.
  • ඊශ්‍රායල හමුදා ප්‍රධානියා පවසන පරිදි, රට යුද්ධයේ "ඊළඟ අදියර කරා ගමන් කරමින් සිටින" අතර එක්සත් ජනපදය ඉරාන ඩ්‍රෝන සහ මිසයිල පද්ධති වෙත "සෑම පැයකදී ම" පහර දෙන ඩොනල්ඩ් පැවසීය.
  • ඊශ්‍රායලය ටෙහෙරාන් සහ බේරූට් වෙත ප්‍රහාර එල්ල කර තිබේ; මීට පෙර දකුණු ලෙබනනයේ විශාල රථවාහන පෝලිම් දක්නට ලැබුණේ, ඊශ්‍රායලය පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස දැන්වීමත් සමග ය.
  • යුද්ධයේ හයවන දිනටත් ඉරානයට එරෙහි ඇමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව සිදුවේ.
  • මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසන්නේ හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවත්, පදිංචිකරුවන්ට ආරක්‍ෂිත ස්ථාන වෙත යන ලෙස ඉල්ලා සිටින බවත්ය. මීට පෙර, ඉරාන මිසයිල හයක් සහ ඩ්‍රෝන යානා 131ක් එරට විසින් බිම හෙළනු ලැබ තිබිණි.

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. රියාද්හි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාරයක්, ඉක්මනින් ම ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ට්‍රම්ප් කියයි

    මූලික තොරතුරුවලට අනුව, රියාද්හි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා දෙකකින් ප්‍රහාර එල්ල කළ බව සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.

    සෞදි ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ X පණිවිඩයක ඩ්‍රෝන ප්‍රහාරයෙන් "සීමිත ගින්නක් සහ ගොඩනැගිල්ලට සුළු හානියක්" සිදුව ඇති බව සඳහන්.

    සෞදි අරාබියේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද මෙහෙයුම ජෙඩා, රියාද් සහ ධහාරාන්හි වෙසෙන ඇමෙරිකානු ජනතාවට ආරක්‍ෂිත ස්ථාන කරා යන ලෙස නිවේදනයක් නිකුත් කර ඇති අතර කලාපයේ පිහිටි ඕනෑ ම හමුදා කඳවුරු පිහිටි ස්ථාන වෙත ගමන් නොකරන ලෙසට ද උපදෙස් නිකුත් කර තිබෙනවා.

    මේ අතර, රියාද්හි ඇමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය සහ ගැටුම්වලදී සිදුවූ හමුදා සාමාජිකයින්ගේ මරණවලට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය "ඉක්මනින්" ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කටයුතු කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිව්ස්නේෂන් වෙත කියා සිටිනවා.

    මේ වන විට ඇමෙරිකානු හමුදා සාමාජිකයින් හය දෙනෙකු ඉරාන ගැටුම්වලදී මිය ගොස් ඇති අතර 18 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජනපදය සඳුදා )මාර්තු 2) රාත්‍රියේ පැවසුවා.

  2. ආයුබෝවන්, සුබ උදෑසනක්!

    පෙබරවාරි මස 28 වන දා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් එරට උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු ප්‍රධාන පෙළේ හමුදා සහ පරිපාලන නායකයින් 40 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා.

    ඉන් පසුව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේ, එහිදී ඔහු සහ ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ ඥාතින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

    ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අද (මාර්තු 3) සිව්වන දිනටත් ඉරානයට එරෙහිව ගුවනින් සහ මුහුදෙන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

    සිය උත්තරීතර නායක අලි කමේනි ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ඉරානය ද සිය අසල්වැසි මැදපෙරදිග කලාපයේ පිහිටි රටවල පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු සහ තානාපති කාර්යාල ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

    ඉරානයට සහය පළකිරීමක් වශයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සඳුදා (මාර්තු 2) අලුයම ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය බේරූට් අගනුවර ඇතුළු ලෙබනනයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

    මෙම ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙදපොළේ ඉන්ධන සහ ගෑස් මිල ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඉදිරි පැය 48 කාලය තුළ කලාපයේ වර්ධනය වන තත්ත්වයන් පිළිබඳ තොරතුරු මෙම සජීව වෙබ් පිටුව ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට බීබීසී සිංහල සූදානමින්.

    රැඳී සිටින්න අප සමගින්...