ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

ඉරානයේ ඊළඟ නායකයා තෝරා ගැනීමේදී 'මම සම්බන්ධ විය යුතුයි' යැයි ට්‍රම්ප් පවසයි - වාර්තාවක්

ඉරානයේ ඊළඟ නායකයා පත් කිරීමේදී තමා "සම්බන්ධ විය යුතු" බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව, ඇමෙරිකානු ජනාධිපතිවරයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ ඇක්සියෝස් සඳහන් කළේය.

සාරාංශය

  • ඉරානය බහරේනයේ හෝටලයක් ඉලක්ක කළ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය කියයි.
  • ඉරානයට එරෙහි ප්‍රහාර "ඉදිරියේදී තවත් දැඩි වනු ඇති බවට" එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පවසයි.
  • ඊශ්‍රායල හමුදා ප්‍රධානියා පවසන පරිදි, රට යුද්ධයේ "ඊළඟ අදියර කරා ගමන් කරමින් සිටින" අතර එක්සත් ජනපදය ඉරාන ඩ්‍රෝන සහ මිසයිල පද්ධති වෙත "සෑම පැයකදී ම" පහර දෙන ඩොනල්ඩ් පැවසීය.
  • ඊශ්‍රායලය ටෙහෙරාන් සහ බේරූට් වෙත ප්‍රහාර එල්ල කර තිබේ; මීට පෙර දකුණු ලෙබනනයේ විශාල රථවාහන පෝලිම් දක්නට ලැබුණේ, ඊශ්‍රායලය පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස දැන්වීමත් සමග ය.
  • යුද්ධයේ හයවන දිනටත් ඉරානයට එරෙහි ඇමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව සිදුවේ.
  • මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසන්නේ හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවත්, පදිංචිකරුවන්ට ආරක්‍ෂිත ස්ථාන වෙත යන ලෙස ඉල්ලා සිටින බවත්ය. මීට පෙර, ඉරාන මිසයිල හයක් සහ ඩ්‍රෝන යානා 131ක් එරට විසින් බිම හෙළනු ලැබ තිබිණි.

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් පර්යන්තයේ ගින්නක්, ඩනිඑලේ පලුම්බෝ සහ පෝල් බ්‍රවුන්

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕමාන් බොක්ක වෙරළ තීරයේ පිහිටා ඇති ෆුජයිරා තෙල් පර්යන්තයේ ගින්නක් හටගෙන ඇති බව BBC Verify විසින් පරීක්ෂා කරන ලද වීඩියෝ දෙකකින් පෙන්නුම් කෙරෙනවා.

    ගින්න සම්බන්ධ පළමු වීඩියෝව තෙල් ගබඩා ප්‍රදේශයක් අසල ප්‍රධාන මාර්ගයක රිය පදවන අයෙකු විසින් රූගත කරනු ලැබ තිබෙනවා. දෙවැන්න ඒ අසල පිහිටි ජනාකීර්ණ ප්‍රදේශයක සිට ලබාගෙන ඇති අතර එහි දැවැන්ත කළු දුමාරයක් අහසට නැගෙන ආකාරය පෙන්නුම් කරනවා.

    "නවතම වර්ධනයන්වල ප්‍රතිඵලයක් ලෙස පූර්වාරක්ෂක පියවරක් වශයෙන්" මෙහෙයුම් අත්හිටුවා ඇති බවත්, "සුදුසු පරිදි හැකි ඉක්මනින්" එය නැවත විවෘත කරන බවත් පර්යන්තය පවත්වාගෙන යන බලශක්ති සමාගමක් වන VTTI බීබීසී පුවත් වෙත පැවසුවා.

    අද උදෑසන Planet Labs PBC විසින් ලබා ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙන්නුම් කළේ, අවම වශයෙන් එක් තෙල් ටැංකියකට හානි සිදුවී ඇති බවත් ඒ අසල පිළිස්සුම් සලකුණු දැකිය හැකි බවත්ය.

    අඟහරුවාදා එරට වේලාවෙන් රාත්‍රී 9:00ට පසුව නාසා චන්ද්‍රිකා ද එම ස්ථානයේ ම තාප සලකුණු ඇති බව අනාවරණය කර ගත්තා.

    ෆුජයිරා තෙල් පර්යන්තයේ ඝන මීටර් මිලියන 1.2ක් දක්වා තෙල් ගබඩා කළ හැකි අතර ඕමාන් බොක්ක ආසන්න වෙරළ තීරයේ පිහිටා තිබෙනවා.

  2. ඕමානය ඩ්‍රෝන යානා දෙකක් බිම හෙළයි - රාජ්‍ය පුවත් ඒජන්සිය

    ඕමානයේ, දෝෆාර්හි නිරිතදිගට වන්නට ඩ්‍රෝන යානා දෙකක් බිම හෙළූ බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පවසනවා.

    ඕමානයේ නිරිතදිගින් පිහිටි විශාලතම වරාය වන සලාලා වරාය අසලදී තුන්වන ඩ්‍රෝන යානයක් කඩා වැටී ඇති බව වාර්තා වුණා.

    ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බවයි.

  3. මැදපෙරදිග-කොළඹ අතර ගුමන් ගමන් වාර 205ක් අවලංගුයි

    මැදපෙරදිග ඇති වී ඇති යුද්ධමය තත්ත්වය අද (මාර්තු 3) දිනයේ හේතුවෙන් මැදපෙරදිග බලා යන සහ එම කලාපයේ සිට කොළඹ වෙත පැමිණෙන ගුවන් ගමන් වාර 205ක් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

    වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ, කොළඹ වෙත පැමිණෙන ගුවන් ගමන් 107ක් සහ කොළඹ සිට මැදපෙරදිග බලා පිටත්ව යන ගුවන් ගමන් 98ක් එලෙස අවලංගු කර ඇති බවයි.

    කෙසේ වෙතත්, මේ වන විට ඕමානය සහ සෞදි අරාබිය තම ගුවන් අවකාශ විවෘත කිරීමට පියවර ගෙන ඇති අතර ඒ ඔස්සේ මේ වනවිට ඇතැම් ගුවන් සේවා සිය ගුවන් ගමන් ක්‍රියාත්මක කරමින් පවතින බව ද අමාත්‍යවරයා පැවසුවා.

    ඔහු තවදුරටත් සඳහන් කළේ, අබු ඩාබි, ඩුබායි සහ සාජා ගුවන් අවකාශ සීමිත කාලයක් සදහා විවෘත කර ඇති අතර විශේෂිත ගුවන් යානා සදහා පමණක් එම ගුවන් අවකාශ භාවිත කිරීමට අවස්ථාව ලබා දී තිබෙන බවයි.

    කටුනායක ගුවන් තොටුපොළ තුළ දින 50ක කාලයක් සඳහා අවශ්‍ය ගුවන් යානා ඉන්ධන සංචිතයක් පවත්වා ගෙන යමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

  4. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට පහර දුන්නේ ඇයි? යුද්ධය කොපමණ කාලයක් පැවතිය හැකි ද?

    අප දැන් සිටින්නේ ඉරානය සමග ඇමෙරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයේ සිව්වන දිනයේ යි.

    "ඉරානය න්‍යෂ්ටික අවි බලය අත්පත් කර නොගන්නා බව සහතික කිරීම" මෙහෙයුමේ අරමුණ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති අතර, ආගමික පාලනය පෙරලා දමන ලෙස ද ඉරාන ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

    ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කළ සෙනසුරාදා ප්‍රහාර එල්ල වූයේ, ඉරානය මුළුමනින් ම සාමකාමී අරමුණු සඳහා යැයි අවධාරණය කරන තම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නව ගිවිසුමකට එකඟ නොවන්නේ නම් හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට නියෝග කරන බවට ට්‍රම්ප් සති ගණනාවක් පුරා කළ තර්ජනවලින් පසුවයි.

    ඉරානය ඊට ප්‍රතිචාර දැක්වූයේ කලාපය පුරා මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාර එල්ල කරමින්.

    ලෙබනනය පදනම් කරගත් සහ ඉරානයේ සහය ලබන ෂියා මුස්ලිම් මිලිෂියා කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය ද ගැටුමට අවතීර්ණ වී ඔවුන්ගේ කඳවුරුවල සිට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කළා.

    පසුව ඊශ්‍රායලය හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දුන් අතර, තම ගොඩබිම සිටින හමුදා "ලෙබනනයේ උපායමාර්ගික වශයෙන් වැදගත් ප්‍රදේශවල මෙහෙයුම් ක්‍රියාත්මක කර තම ග්‍රහණයට ගන්නා" නිවේදනය කළා.

    "අවශ්‍ය තාක් කල් මෙහෙයුම දිගට ම පවතිනු ඇත" යනුවෙන් නෙතන්යාහු පවසා ඇති නමුත් ඉරානය සමග යුද්ධය "නිමක් නැති" එකක් නොවනු ඇතැයි එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පේට් හෙග්සෙත් සඳුදා පැවසුවා.

  5. ඉරානයෙන් එල්ල වන නව ප්‍රහාර 'වැළැක්වීමට කටයුතු කරමින් සිටින' බව ඊශ්‍රායලය පවසයි

    මීට පෙර, ඉරානය ඊශ්‍රායලයට නව මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පැවසුවා.

    තම ආරක්ෂක පද්ධති එම "ප්‍රහාර වැළැක්වීම" සඳහා ක්‍රියාත්මක වන බව පැවසූ අතර, ප්‍රදේශවාසීන්ට ආරක්‍ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙසත් "දැනුම් දීමක් කරන තුරු" එහි රැඳී සිටින ලෙසත් උපදෙස් දුන්නා.

    ටෙල් අවිව් ඇතුළු රට පුරා අනතුරු ඇඟවීමේ සයිරන් ඇසුණු බවට වාර්තා වුණා.

  6. Breaking, ඉරාන ජනාධිපති කාර්යාලයට පහර දුන් බව ඊශ්‍රායල හමුදාව පවසයි

    ඉරාන රජයේ නායකත්ව සංකීර්ණයට තම ගුවන් හමුදාව පහර දුන් බව ඊශ්‍රායල පවසනවා.

    ටෙලිග්‍රෑම් ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් IDF පැවසුවේ, ජනාධිපති කාර්යාලයට සහ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයට "පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් ම" හෙළූ බවයි.

    හමුදා පුහුණු ආයතනයක් සහ "ඉරාන රජයේ ගොඩනැගිල්ලක්" ද ප්‍රහාරයට ලක් වූ බව එහි වැඩිදුරටත් සඳහන් වුණා.

    ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මෙම සංකීර්ණය භාවිත කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා. සති අන්තයේ ඇමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් කමේනි සිය සංකීර්ණය තුළදී මිය ගියා.

  7. Breaking, ඉරාන මරණ සංඛ්‍යාව 787 දක්වා ඉහළට - රතු අඩසඳ සංගමය

    සෙනසුරාදා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට ප්‍රහාර එල්ල කළ දා සිට පුද්ගලයින් 787ක් පමණ මිය ගොස් ඇති බව ඉරානයේ රතු අඩසඳ සංගමය පවසනවා.

    මේ අතර, ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් (HRANA) වාර්තා කරන්නේ ළමුන් 176 දෙනෙකු ඇතුළුව සිවිල් වැසියන් 742 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

    ඉරානයේ රෝහල් නවයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල වී ඇති බව ඉරාන පාර්ලිමේන්තු සෞඛ්‍ය කොමිසමේ සාමාජිකාවක වන ෆාතිමේ මොහොමද්බෙයිගි සඳුදා පැවසූ අතර රෝහල් ඉල්ලක්ක කිරීම ගැන ඇය ඊශ්‍රායලයට සහ ඇමෙරිකාව දොස් පැවරුවා.

    ටෙහෙරානයේ ගාන්ධි රෝහල ඉලක්ක කරගත් බවට එල්ල වන චෝදනාවලට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, ප්‍රහාරය "රෝහල ඉලක්ක කරගත් එකක් නොවන" බවයි.

    ඉරාන විදේශ අමාත්‍යංශය අද ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් දෙක ම එම රෝහල ඉලක්ක කරගත් බවට චෝදනා කළා.

  8. 'ටෙහෙරානයට සැලකිය යුතු බලයකින් පහර දෙනවා' - ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා

    තම ගුවන් හමුදාව ටෙහෙරානයේ රජයේ ඉලක්ක වෙත "සැලකිය යුතු බලයකින්" පහර දුන් බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.

    ඔවුන්ට මිසයිල එල්ල කිරීමට ඇති හැකියාවන් "අඩපණ කිරීම" අඛණ්ඩව සිදු කරන බව ද ඔහු පැවසුවා.

    ඉරාන මෙහෙයුම "අවශ්‍ය තාක් කල් පූර්ණ බලයෙන් ඉදිරියට යනු ඇත" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

  9. ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පසු තත්ත්වය

    එරට වේලාවෙන් උදෑසන 08:00ට පමණ ඊශ්‍රායල හමුදාව බේරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශවලට මෙන් ම ඉරානයේ අගනුවර වන ටෙහෙරානයට ද නව ප්‍රහාර එල්ල කළා.

    ඊශ්‍රායලය පවසන්නේ රටවල් දෙකෙහි ම "මිලිටරි ඉලක්කවලට" පහර දෙන බවයි.

    ලෙබනනයේ, ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සංවිධානයට අයත් ස්ථාන ඉලක්ක කරන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවසුවා.

    ඉරානයට සිදු වූ හානිය සටහන් වූ ඡායාරූප අපට තවමත් දැකගත නොහැකි වුවත්, පහත දැක්වෙන්නේ බේරුට් නගරයට සිදුවූ හානිය දැක්වෙන ඡායාරූප කිහිපයක්.

  10. ඕමානයේ වාණිජ වරායකට ඩ්‍රෝන ප්‍රහාරයක් - රාජ්‍ය පුවත්

    ඕමානයේ ඩුකුම් වරායේ ඉන්ධන ටැංකියක් ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

    නම් නොකළ මූලාශ්‍රයක් උපුටා දක්වමින් ඔවුන් වාර්තා කළේ, "සිද්ධියෙන් සිදුවූ හානිය පාලනය කළ බව ත්, ජීවිත හානි වාර්තා නොවුණු බව ත් ය.

    ගෙවීගිය සති අන්තයේ ද එම වරාය ඩ්‍රෝන යානාවල ඉලක්කයක් බවට පත් වුණා. වාර්තාවලට අනුව එම ප්‍රහාරයෙන් එක් සේවකයෙක් තුවාල ලැබුවා.

  11. ඉරානයේ අවි බලය සහ ඊශ්‍රායලයේ අවි බලය: සංසන්දනාත්මක කියවීමක්

    ඉරානයේ අවි බලය සහ ඊශ්‍රායලයේ අවි බලය පිළිබඳව බීබීසීය මීට ඉහතදී පළ කළ ලිපිය මෙතැනින් කියවන්න.

  12. මැදපෙරදිග මෙහෙයුම් සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් දැනුම් දීමක්

    කොළඹ - මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගුවන් සීමා දිගින් දිගට ම වසා තැබීම නිසා, අද (මාර්තු 3) දින ක්‍රියාත්මක වීමට නියමිතව පහත දැක්වෙන ශ්‍රීලංකන් ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

    • UL 225 කොළඹ – ඩුබායි
    • UL 226 ඩුබායි – කොළඹ
    • UL 231 කොළඹ – ඩුබායි
    • UL 232 ඩුබායි – කොළඹ
    • UL 229 කොළඹ – කුවේට්
    • UL 230 කුවේට් – කොළඹ
    • UL 217 කොළඹ – දෝහා
    • UL 218 දෝහා – කොළඹ
    • UL 253 කොළඹ – දමාම්
    • UL 254 දමාම්– කොළඹ
    • UL 265 කොළඹ – රියාද්
    • UL 266 රියාද් – කොළඹ
  13. බහරේනයේ සිටින ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙක් එරට තත්ත්වය බීබීසීයට පැහැදිලි කරමින්

  14. Breaking, ඊශ්‍රායලය ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුම් ක්‍රියාත්මක කරයි

    ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් අපට දැන් ලැබී තිබෙනවා.

    "ඊශ්‍රායල දේශසීමාවල සිටින ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා ඉදිරියට ගොස් ලෙබනනයේ උපායමාර්ගික වශයෙන් වැදගත් ප්‍රදේශ අත්පත් කර ගැනීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාවට බෙන්ජමින් නෙතන්යාහු අවසර දී ඇති" බව ඔහු පවසනවා.

    ඔහු තවදුරටත් මෙසේ පැවසුවා: "ඊශ්‍රායල ආරක්ෂක හමුදා ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්කවලට ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

    මේ ත්‍රස්තවාදී සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට වන්දි ගෙවමින් සිටිනවා- සහ ඔවුන්ට දිගට ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවනු ඇත."

    "දේශසීමා ප්‍රජාවන් ආරක්ෂා කිරීමට" ඊශ්‍රායලය කැපවී සිටිනවා. "අපි ගැලලී ප්‍රජාව ආරක්ෂා කරන බවට පොරොන්දු වුණා, ඒක තමයි අපි කරන්න යන්නේ," ඔහු වැඩිදුරටත් පැවසුවා.

  15. ඊශ්‍රායල හමුදා ස්ථාන තුනකට ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි

    "ලෙබනනයේ නගර කිහිපයක් ඉලක්ක කර ගෙන ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්" ඊශ්‍රායල හමුදා ස්ථාන තුනකට ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ සහය ලබන සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය පවසනවා.

    ටෙලිග්‍රෑම්හි වෙන් වෙන් වශයෙන් පළ කළ සටහන් තුනකින් හිස්බුල්ලා සංවිධානය පවසන්නේ, ඔවුන් ගෝලාන් කඳුකරයේ නෆා කඳවුරට "විශාල මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව" මෙන් ම උතුරු ඊශ්‍රායලයේ මෙරොන් සහ රාමත් ඩේවිඩ් ගුවන් කඳවුරුවලට ඩ්‍රෝන යානා යොදාගෙන පහර දුන් බවයි.

  16. නවතම ඊශ්‍රායල ප්‍රහාරවලින් පසු බේරූට් නගරයෙන් අහසට විශාල දුම් වළා නැගෙන අයුරු

  17. ඊශ්‍රායලය ටෙහෙරාන් සහ බේරූට් වෙත නව ප්‍රහාර එල්ල කරයි

    ඉරානය සමග ඇමෙරිකා-ඊශ්‍රායල යුද්ධයේ සිව්වන දිනයේ, නවතම වර්ධනයන් මෙන්න:

    • ඊශ්‍රායලය ටෙහෙරාන් සහ බේරූට්හි "මිලිටරි ඉලක්ක" ලෙස හඳුන්වන ස්ථාන වෙත "පුළුල් ගුවන් ප්‍රහාර" මාලාවක් එල්ල කර තිබෙනවා.
    • සෞදි ආරක්ෂක අමාත්‍යංශයට අනුව රියාද්හි එක්සත් ජනපද තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා දෙකකින් පහර දී ඇති අතර එමගින් "සුළු" ගින්නක් ඇතිව තිබුණා.
    • බහරේනයේ ඇමෙරිකානු ගුවන් කඳවුරක අණදෙන සහ මාණ්ඩලික ගොඩනැගිල්ලක් විනාශ වී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසනවා.
    • ගෝලීය බලශක්ති සැපයුම් සඳහා ප්‍රධාන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සහ කරන ඕනෑ ම නෞකාවකට "ගිනි තබන" බවට ඉරාන නිලධාරියෙක් තර්ජනය කර තිබෙනවා.
    • ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාවේ "දැඩි ම ප්‍රහාර තවමත් එල්ල කර නැත" යනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඊයේ පැවසුවා.
    • යුද්ධය ආරම්භ වූ දා සිට ඇමෙරිකානු හමුදා හය දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඊයේ කුවේට්හිදී ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා තුනක් වෙඩි තබා බිම හෙළන ලද අතර එය "පැහැදිලිව ම මිත්‍ර පාක්ෂිකයින්ගෙන් සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමක්" බව සඳහන් වුණා. කෙසේ වෙතත් එම යානාවල සිටි කාර්ය මණ්ඩලය දිවි ගලවා ගත්තා.
  18. Breaking, බහරේනයේ ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරක විධාන ගොඩනැගිල්ල විනාශ වී ඇති බවට වාර්තා

    බහරේනයේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් කඳවුරක ප්‍රධාන විධාන ගොඩනැගිල්ල විනාශ කළ ඉරාන ප්‍රහාරයක් පිළිබඳ ඉරාන මාධ්‍ය වාර්තා කරනවා.

    ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායට අනුබද්ධ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් පළ කරන ලද දර්ශනවලට අනුව දූරස්ථ ඉලක්ක වෙත එල්ල කළ රොකට් විශාල ගණනක් පුපුරා යන අයුරු දක්නට ලැබෙනවා.

    ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරය බහරේනයේ ෂෙයික් ඊසා කලාපයේ ඇමෙරිකා එක්සත් ජනපද අණදෙන සහ කාර්ය මණ්ඩල ගොඩනැගිල්ලක් විනාශ කළ බවත් එය ඉන්ධන ටැංකි පුපුරා යාමට හේතු වූ බවත් එහි සඳහන්.

    මෙම ප්‍රහාරය පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය තවමත් අදහස් දක්වා නැහැ.

    මීට පෙර, බහරේනයේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පවත්වාගෙන යනු ලබන නාවික කඳවුරකින් දුමාරයක් නැගෙන අයුරු දක්නට ලැබුණා.

    ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇමරිකානු පුරවැසියන්ට වහා ම බහරේනය ඇතුළු මැදපෙරදිග රටවල් රැසකින් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

  19. මැදපෙරදිග සිටින ඇමෙරිකානුවන්ට ඉවත්වන්නැයි දැනුම් දීමක්

    මැදපෙරදිග රටවල සිටින ඇමරිකානු ජනතාවට එල්ල වී ඇති "බරපතළ ආරක්ෂක අවදානම්" හේතුවෙන් එම කලාපයෙන් පිටවන්නැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.

    රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බහරේන්, ඊජිප්තුව, ඉරානය, ඉරාකය, ඊශ්‍රායලය, බටහිර ඉවුර, ගාසා, ජෝර්දානය, කුවේට්, ලෙබනනය, ඕමානය, කටාර්, සෞදි අරාබිය, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය යන රටවල සිටින ඇමෙරිකානු පුරවැසියන්ට එම නිවේදනය අදාළ වන බවයි.

  20. ඉන්ධන නැව්ගත කිරීමේ පිරිවැය ඉහළම මට්ටමට: වෙළෙදපොලේ ඉන්ධන සහ ගෑස් මිල ඉහළට, ඔස්මන්ඩ් චියා ව්‍යාපාරික වාර්තාකරු

    ලන්ඩන් කොටස් හුවමාරු සමූහයේ දත්ත වලට අනුව, මැදපෙරදිග සිට චීනයට තෙල් නැව්ගත කිරීම සඳහා ඉන්ධන ප්‍රවාහන නෞකාවක් කුලියට ගැනීමේ පිරිවැය ඩොලර් 400,000 (පවුම් 298,300) ඉක්මවූ ඉහළම අගයකට ළඟා වී තිබේ. එය මෙතෙක් වාර්තා වූ ඉහළ ම මිල වනවා.

    ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට පහර දෙන බවට තර්ජනය කළ පසුගිය සතියේ පැවති මිලට වඩා මෙන් එය අද වන විට දෙගුණයක් වී තිබෙනවා.

    ගෝලීය තෙල් හා ගෑස් අවශ්‍යතා වලින් පහෙන් එකක් පමණ නැව්ගත කරනු ලබන ඉරානයේ දකුණ දෙසින් පිහිටි තීරණාත්මක ජල තීරයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව් ඉරානය ඉලක්ක කර තිබෙනවා.

    වාර්තාගත ගාස්තු වන්නේ බොරතෙල් බැරල් මිලියන දෙකක් දක්වා ප්‍රවාහනය කළ හැකි විශාලතම තෙල් රැගෙන යන නෞකා සඳහායි.

    මැදපෙරදිග ගැටුම් හේතුවන් ඉන්ධන නිෂ්පාදන සැපයුම් සීමා කිරීමට ඉඩ ඇති නිසා ජාත්‍යන්තර වෙළෙදපොලේ බලශක්ති මිල ගණන් අඛණ්ඩව ඉහළ ගොස් තිබෙනවා.

    බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 1.9%කින් පමණ ඉහළ ගොස් ඇති අතර එහි මිල දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 79.25ක් (පවුම් 59.11) ලෙසයි.

    ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සති අන්තයේ ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දා සිට ගෝලීය වශයෙන් තෙල් සහ ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා.

    ලොව විශාලතම ගෑස් අපනයනකරුවන කටාර් LNG සමාගම සිය ගෑස් පහසුකම්වලට එල්ල වූ "හමුදා ප්‍රහාරවලින්" පසුව ගෑස් නිෂ්පාදනය නැවැත්වීමෙන් පසු සඳුදා (මාර්තු 2) වැනි දා සිට ස්වාභාවික ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා.