ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

ඉරානයේ ඊළඟ නායකයා තෝරා ගැනීමේදී 'මම සම්බන්ධ විය යුතුයි' යැයි ට්‍රම්ප් පවසයි - වාර්තාවක්

ඉරානයේ ඊළඟ නායකයා පත් කිරීමේදී තමා "සම්බන්ධ විය යුතු" බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව, ඇමෙරිකානු ජනාධිපතිවරයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ ඇක්සියෝස් සඳහන් කළේය.

සාරාංශය

  • ඉරානය බහරේනයේ හෝටලයක් ඉලක්ක කළ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය කියයි.
  • ඉරානයට එරෙහි ප්‍රහාර "ඉදිරියේදී තවත් දැඩි වනු ඇති බවට" එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පවසයි.
  • ඊශ්‍රායල හමුදා ප්‍රධානියා පවසන පරිදි, රට යුද්ධයේ "ඊළඟ අදියර කරා ගමන් කරමින් සිටින" අතර එක්සත් ජනපදය ඉරාන ඩ්‍රෝන සහ මිසයිල පද්ධති වෙත "සෑම පැයකදී ම" පහර දෙන ඩොනල්ඩ් පැවසීය.
  • ඊශ්‍රායලය ටෙහෙරාන් සහ බේරූට් වෙත ප්‍රහාර එල්ල කර තිබේ; මීට පෙර දකුණු ලෙබනනයේ විශාල රථවාහන පෝලිම් දක්නට ලැබුණේ, ඊශ්‍රායලය පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස දැන්වීමත් සමග ය.
  • යුද්ධයේ හයවන දිනටත් ඉරානයට එරෙහි ඇමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව සිදුවේ.
  • මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසන්නේ හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවත්, පදිංචිකරුවන්ට ආරක්‍ෂිත ස්ථාන වෙත යන ලෙස ඉල්ලා සිටින බවත්ය. මීට පෙර, ඉරාන මිසයිල හයක් සහ ඩ්‍රෝන යානා 131ක් එරට විසින් බිම හෙළනු ලැබ තිබිණි.

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. 'ඇමෙරිකාව ජයග්‍රහණය කරමින් සිටිනවා'- ඇමෙරිකානු ආරක්ෂක ලේකම්

    එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පෙන්ටගන් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් : "ඇමෙරිකාව තීරණාත්මකව, විනාශකාරී ලෙස සහ අනුකම්පාව විරහිතව ජයග්‍රහණය කරමින් සිටිනවා." යැයි ප්‍රකාශ කළා.

    "අපි තවම පටන් අරන් දින හතරයි", නමුත් ජනපති "ට්‍රම්ප් පවසා ඇති පරිදි" මෙහෙයුම සාර්ථක බව සහතික කිරීමට එක්සත් ජනපදය "අපිට ඕන තරම් කාලය ගන්නවා" යනුවෙන් ඔහු කියා සිටියා.

  2. අනතුරට ලක්වූ බව කියන IRIS Dena නෞකාව ගැන අප දන්නේ මොනවා ද?

  3. කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය කල් දමයි: ඉරාන රාජ්‍ය මාධ්‍ය

    ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තාවලට අනුව, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍යය කල් දමා තිබෙනවා.

    දින තුනක අවමංගල්‍යය ශ්‍රී ලංකා වේලාවෙන් අද මධ්‍යම රාත්‍රියේ ආරම්භ වීමට නියමිතව තිබුණා.

    කෙසේ වෙතත්, යටිතල පහසුකම් සකස් කරගන්නා තුරු උත්සවය කල් දමන බව සංවිධායකයින් පවසා ඇති බව වාර්තා වෙනවා.

    උත්සවය කවදා පැවැත්වෙනු ඇත්දැයි නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කර නෑ.

  4. ටෙහෙරානයේ වීදිවල ගොඩනැගිලි සුන්බුන් බවට පත්වී ඇති අයුරු

    දින කිහිපයක් පුරා ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් සිදු වූ හානියේ තරම පෙන්නුම් කරන, ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්හිදී අද දිනයේ ලබාගත් ඡායාරූප කිහිපයක්...

  5. අයතුල්ලා කමේනිගේ මරණය සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් සිය ශෝක ප්‍රකාශය සටහන් කළ අයුරු

  6. සෞදි අරාබියේ ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහයක්

    සෞදි අරාබියේ ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර ඇති බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

    සෞදි අරාබියේ විශාලතම පිරිපහදුව ලෙස සැලකෙන රාස් තනුරා තෙල් පිරිපහදුවට ප්‍රහාරය එල්ල කිරීමට උත්සාහ කර තිබෙනවා.

    "මූලික ඇස්තමේන්තු වලට අනුව ප්‍රහාරය ඩ්‍රෝන යානයක් මගින් සිදු කර ඇති අතර කිසිදු හානියක් සිදු වී නෑ" ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවා.

    පිරිපහදුව මීට පෙර ඉරාන ප්‍රහාරයකට ලක්ව තිබුණේ මාර්තු 02 වන දින ලබා ගත පහත චන්ද්‍රිකා ඡායාරූපයේ දැක්වෙන ආකාරයටයි.

  7. ශ්‍රී ලංකන් ගුවන් සේවය මැදපෙරදිග ගුවන් ගමන් සීමිත පදනමින් යළි අරඹයි

    මැදපෙරදිග කලාපය සඳහා වන සිය ගුවන් මෙහෙයුම් පාලනයක් සහිතව හා සීමිත පදනමකින් නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය මගීන්ට දැනුම් දෙනවා.

    ඒ අනුව, ඩුබායි ගුවන් අවකාශය අර්ධ වශයෙන් නැවත විවෘත කිරීමෙන් පසුව, අවශ්‍ය ආරක්ෂක පියවරය ක්‍රියාත්මක කරමින්, කොළඹ සිට ඩුබායි දක්වා UL231 සහ ඩුබායි සිට කොළඹ දක්වා UL232 ගුවන් ගමන් අද (මාර්තු 4) ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළා.

  8. ඉරානය නව උත්තරීතර නායකයෙකු තෝරා ගැනීමට සූදානම් වන අතරතුර, මියගිය කමේනිගේ පුත්‍රයා දිවිගලවාගත් බවට වාර්තා

    අභාවප්‍රාප්ත ඉරාන අයතුල්ලා අලි කමේනිගේ පුත්‍රයා ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් දිවි ගලවා ගත් බව වාර්තා වන බව රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ඉරාන මූලාශ්‍ර දෙකක් පවසා තිබෙනවා.

    පෙබරවාරි 28 දින එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බවට වාර්තා වූ අලි කමේනිගේ දෙවන පුත්‍රයා මොජ්තාබා කමේනි, ඉරානයේ ඊළඟ උත්තරීතර නායකයෙකු ලෙස පත්වීමට සිටින අයෙක් ලෙස සැලකෙනවා.

    ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයක් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත බවයි.

  9. ඊශ්‍රායල ප්‍රහාරවලින් පසු ලෙබනනයේ මරණ සංඛ්‍යාව ඉහළට

    ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර නැවත ආරම්භ කිරීමෙන් පසු ලෙබනනයෙන් නව ඡායාරූප අපට ලැබෙමින් පවතිනවා.

    ඉරාන සහය ලබන හිස්බුල්ලා කණ්ඩායමට සම්බන්ධ ස්ථාන මෙලෙස ඉලක්ක කර ඇති බව ඊශ්‍රායලය ප්‍රකාශ කළා.

    නැගෙනහිර බෙකා නිම්නයේ, බාල්බෙක් නගරයේ ගොඩනැගිලිවලට එල්ල වූ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලැබූ බව ප්‍රාදේශීය ගලවා ගැනීමේ සේවා පවසනවා.

    මේ අතර, ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ නගරයේ සිටින AFP ප්‍රවෘත්ති ඒජන්සි වාර්තාකරුවෙකුට අනුව, නැගෙනහිර ටෙහෙරානයේ විශාල පිපිරීමක් වාර්තා වී තිබෙනවා.

    තම ගුවන් හමුදාව, නගරයේ ඉලක්ක වෙත "පුළුල් පරිමාණයේ ප්‍රහාර" ආරම්භ කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) නිවේදනය කිරීමත් සමග එය සිදුව තිබුණා.

  10. අලි කමේනිගේ අනුප්‍රාප්තිකයා ද ඝාතනය කරන බවට ඊශ්‍රායල අනතුරු ඇඟවීමක්

    උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයක් අද ටෙහෙරාන් නුවරදී පැවැත්වීමට නියමිත බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

    සෙනසුරාදා ඇමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් කමේනි ඝාතනය වුණා.

    ඉරාන රාජ්‍ය මාධ්‍යවලට අනුව අවමංගල උත්සවය ශ්‍රී ලංකා වේලාවෙන් අද මධ්‍යම රාත්‍රියේ ආරම්භ වීමට නියමිතයි.

    කමේනිගේ පුත් මොජ්තාබා කමේනි නව උත්තරීතර නායකයා වීමට ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා ලෙස මතුව ඇතැයි ඉරාන රාජ්‍ය බලධාරීන් උපුටා දක්වමින් නිව්යෝක් ටයිම්ස් වාර්තා කරනවා.

    "ඊශ්‍රායලය විනාශ කිරීමේ, එක්සත් ජනපදයට තර්ජනය කරන" සහ "ඉරාන ජනතාව මර්දනය කරන" සැලැස්ම දිගටම කරගෙන යන ඕනෑම අනුප්‍රාප්තිකයෙකු "මුලිනුපුටා දැමීම සඳහා නිසැක ඉලක්කයක්" වනු ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

  11. මැද පෙරදිග පුරා විනාශය පෙන්වන ඡායාරූප

    අඟහරුවාදා (මාර්තු 03) ඉරානය, ලෙබනනය, ඉරාකය, ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සිදුව ඇති හානි පෙන්වන ඡායාරූප කිහිපයක්.

  12. ශ්‍රී ලංකාවේ පිහිටි විදෙස් තානාපති කාර්යාල හා සංචාරක හෝටල් සඳහා විශේෂ ආරක්ෂාවක්

    ගෝලීය වශයෙන් ඇතිව තිබෙන තත්ත්වය මත ශ්‍රී ලංකාවේ පිහිටි තානාපති කාර්යාල, සංචාරක හෝටල් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් කියා සිටියේ, නැවත දැනුම්දෙන තුරු මේ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි.

    ඒ අනුව මෙරට සියලු පොලිස් ස්ථාන ආවරණය වෙන පරිදි ස්ථානීය ආරක්ෂාව, ජංගම ආරක්ෂාව, බුද්ධි ආරක්ෂාව මේ සඳහා යොදවා ඇතැයි ඔහු සඳහන් කළා.

    මෙහිදී සංචාරක ගමනාන්ත, ආගමික සිද්ධස්ථාන සඳහා පැය 24 පුරාම අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට සූදානම් බවත්, යම් තොරතුක් තිබේ නම් ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

  13. අයතුල්ලා කමේනිගේ මරණය සම්බන්ධයෙන් අද තම ශෝක ප්‍රකාශය සටහන් කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් කියයි

    ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කමේනිගේ මරණය සම්බන්ධයෙන් අද (මාර්තු 4 වැනිදා) පස්වරු 1.30ට කොළඹ ඉරාන තානාපති කාර්යාලයට ගොස් තම ශෝක ප්‍රකාශය සටහන් කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

    පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

    රවුෆ් හකීම් කියා සිටියේ, ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින්, මිත්‍ර රටක රාජ්‍ය නායකයෙකු ඝාතනය කර ඇතත් ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් හෙලා දැකීමක් හෝ ශෝකය පළ කිරීමක කර නොමැති බවයි.

    විදේශ අමාත්‍ය විජිත හේරත් කියාසිටියේ රජයේ ස්ථාවරය දැනටමත් විදේශ අමාත්‍යංශය මගින් ප්‍රකාශ කර ඇති බවයි.

  14. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන තෙල් නෞකාවලට ආරක්ෂාව සැපයීමට ජනපති ට්‍රම්ප්ගෙන් නියෝග

    වහාම ක්‍රියාත්මක වන පරිදි, සියලුම සමුද්‍රීය වෙළඳාමේ මූල්‍ය ආරක්ෂාව සඳහා ඉතා සාධාරණ මිලකට දේශපාලන අවදානම් රක්ෂණයක් සහ ඇපකර ලබා දෙන ලෙස තමන් එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය සංස්ථාවට (DFC) නියෝග කර ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

    “අවශ්‍ය නම්, එක්සත් ජනපද නාවික හමුදාව හැකි ඉක්මනින්ම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන තෙල් නෞකාවලට සිය ආරක්ෂාව යටතේ රැගෙන යාම ආරම්භ කරනු ඇත." යනුවෙන් එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

  15. ඉරාන ඔත්තුකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කටාර් රාජ්‍ය පවසයි

    ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය වෙනුවෙන් ඔත්තු බැලීම සඳහා ක්‍රියාකළ බව කියන පුද්ගලයින් 10 දෙනෙකු බදාදා [මාර්තු 03] අලුයම කටාර් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව කටාර් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පවසනවා.

    සැකකරුවන් හත් දෙනෙකුට "ජාතික වැදගත්කමකින් සහ හමුදා යටිතල පහසුකම් පිළිබඳ බුද්ධි තොරතුරු රැස් කිරීම සඳහා ඔත්තු බැලීමේ මෙහෙයුම් සඳහා පැවරී තිබුණා" යනුවෙන් ප්‍රවෘත්ති ඒජන්සිය පවසනවා.

    ඔත්තු බැලීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තවත් තිදෙනෙකු "ඩ්‍රෝන යානා භාවිතය පිළිබඳ පුහුණුව ලැබූ අය" බව එහි තවදුරටත් සඳහන්.

    "පරීක්ෂණ අතරතුර, සැකකරුවන් ඉරාන විප්ලවවාදී ආරක්ෂක හමුදාවට ඔවුන්ගේ සම්බන්ධතා පාපොච්චාරණය කළ අතර ඔත්තු බැලීම සහ කඩාකප්පල්කාරී මෙහෙයුම් සිදු කිරීමට ඔවුන්ට පවරා ඇති බව ප්‍රකාශ කළා," යැයි කටාර් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය තවදුරටත් පවසනවා.

  16. ඊශ්‍රායලය, ඉරානය එල්ල කළ මිසයිල බිම හෙළයි

    ඉරානය තම නව ප්‍රහාර රැල්ලට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටින බව ඊශ්‍රායල හමුදා පවසනවා.

    පසුගිය පැය කිහිපය තුළ, ඊශ්‍රායලය ඉරානයෙන් දියත් කරන ලද මිසයිල පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කළා.

    මේ අතර, කුවේටයේ නේවාසික ප්‍රදේශයකදී 11 හැවිරිදි දැරියක් මතට ගොඩනැගිලි සුන්බුන් කඩා වැටීම හේතුවෙන් ඇය මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසුවා.

  17. සුබ උදෑසනක්...

    අද දිනය වන විට ඉරානය සමග ඇමෙරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය පස්වන දිනටත් සිදු වෙමින් පවතිනවා. ඉරානයට ඊයේ දිනයේ [මාර්තු 03] එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් දියත් කරන බව ඊශ්‍රායලය පවසනවා.

    පෙබරවාරි 28 වන දින සිට ඉරානයේ සිවිල් වැසියන් 1,097 දෙනෙකු ඝාතනය වී ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) පවසනවා.

    එයින් 181 දෙනෙකු වයස අවුරුදු 10 ට අඩු ළමුන් බව ඒජන්සිය පවසනවා.

    තුවාල ලැබූ සිවිල් වැසියන් සංඛ්‍යාව 5,402 දක්වා ළඟා වී ඇති අතර, එයින් 100 දෙනෙකු ළමුන් බව HRANA වැඩිදුරටත් පවසනවා. පසුගිය පැය 24 තුළ පමණක් අවම වශයෙන් ප්‍රහාර 104ක් සිදුවී ඇති බව එහි සඳහන්.

    ඔවුන් හමුදා කඳවුරු, වෛද්‍ය මධ්‍යස්ථාන සහ නේවාසික ප්‍රදේශවලට පහර දී ඇති බව එම සංවිධානය පවසනවා. තවත් සිය ගණනක් වාර්තා වූ මරණ සම්බන්ධයෙන් තවමත් සමාලෝචනය කෙරෙමින් පවතිනවා.

    මේ අතර, හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරගත් තවත් ප්‍රහාර එල්ල වන බවට අනතුරු ඇඟවීමක් කර ඇති බැවින්, ඊශ්‍රායලය ලෙබනනයේ ගම්මාන සහ නගර දුසිමකට අධික සංඛ්‍යාවක පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස ඉල්ලා තිබෙනවා.

  18. විරාමයක්...

    ඉරානය සමග ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ක්‍රියාත්මක කළ ගැටුමේ තොරතුරු මෙම සජීව පිටුව ඔස්සේ යළිත් හෙට උදෑසන සිට ඔබ වෙත ගෙන ඒමට අපි සූදානමින්.

    රැඳී සිටින්න බීබීසී සිංහල සමගින්...

  19. මෙතෙක් සිදුවූයේ මොනවා ද?

    • ලෙබනනයේ අගනුවර වන බේරූට්හි එක්සත් ජනපද තානාපති කාර්යාලය "නැවත දැනුම් දෙන තුරු වසා දමා" තිබෙනවා.
    • ඉරානය ඉලක්ක කර ගනිමින් එල්ල කෙරෙන ඇමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව සිදු වෙමින් පවතිනවා.
    • සාකච්ඡා සඳහා දැන් "ප්‍රමාද" බව ඉරානයට පැවසූ බව ට්‍රම්ප් පවසනවා.
    • එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සෙනසුරාදා ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ මොහොතේ සිට මේ දක්වා රට තුළ පුද්ගලයින් 787 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරානයේ රතු අඩසඳ සංගමය පවසනවා.
    • ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන තානාපති අලි බහරේනි වාර්තාකරුවන්ට පවසා ඇත්තේ, ටෙහෙරානය සහ එක්සත් ජනපදය අතර "සාකච්ඡාවල" සාර්ථකත්වය සැක සහිත" බවයි.
    • ප්‍රධාන වශයෙන් දේශීය ගුවන් ගමන් ක්‍රියාත්මක වන ටෙහෙරානයේ මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ද ප්‍රහාරවලට ලක්ව තිබෙනවා.
    • ඊශ්‍රායල ආරක්ෂක හමුදා පැවසුවේ ඉරාන නගර වන ටෙහෙරාන් සහ ඉස්ෆහාන්හි යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මහා පරිමාණ ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි.
    • "දේශසීමා ප්‍රජාවන් ආරක්ෂා කිරීම" සඳහා "උපායමාර්ගික වශයෙන් වැදගත් ප්‍රදේශ අත්පත් කර ගැනීම" සඳහා තම හමුදා ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යවරයා නිවේදනය කළා.
    • ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම අඛණ්ඩව සිදු කරන අතර එමගින් ගල්ෆ් කලාපයේ රටවල් නවයක් පමණ ප්‍රහාරවලට ලක් වුණා.
    • සෙනසුරාදා සිට ඉරාන මිසයිල 172ක් සහ ඩ්‍රෝන යානා 755ක් බිම හෙළූ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසනවා.
    • රියාද්හි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ඉරානය එල්ල කළ ප්‍රහාරය සෞදි අරාබිය හෙළා දැක ඇති අතර, ටෙහෙරානය සමග තමන් මෙම අවස්ථාවේ රාජතාන්ත්‍රික සාකච්ඡා ක්‍රියාත්මක නොවන බව කටාර් රාජ්‍ය පවසනවා.
    • එක්සත් රාජධානිය සයිප්‍රසයේ පිහිටි තම කඳවුරේ (RAF Akrotiri) ගුවන් ආරක්ෂාව තර කරන බව අගමැති ස්ටාර්මර් නිවේදනය කළා.
    • නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ තම හමුදා පැවැත්ම ශක්තිමත් කිරීම සඳහා ඩ්‍රෝන යානා නැවැත්විය හැකි හෙලිකොප්ටර් සහ මිසයිල හෝ ගුවන් යානා වෙඩි තබා බිම දැමිය හැකි බලවත් යුද නෞකාවක් එක්සත් රාජධානිය යවයි.
    • එක්සත් රාජධානිය නැගෙනහිර මධ්‍යධරණී මුහුද වෙත ඩ්‍රෝන යානා මැඩපැවැත්විය හැකි හෙලිකොප්ටර් යෙදවීමට සහ ගුවනින් එල්ල විය හැකි ප්‍රහාර වැළැක්විය හැකි HMS ඩ්‍රැගන් නෞකාව යැවීමට සැලසුම් කරමින් සිටිනවා.
    • මෙය සිදුවන්නේ RAF Akrotiri කඳවුරේ ගුවන් ධාවන පථයේ ඩ්‍රෝන යානයක් ගැටී දිනකට පසුවයි. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ ඉන් "සුළු හානියක්" පමණක් සිදු වූ බවයි.
  20. 'එයාලට කතා කරන්න ඕන ලු, මම කිව්වා 'පරක්කු වැඩියි' කියලා' - ට්‍රම්ප්

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබා තිබෙනවා.

    "එයාලගේ ගුවන් ආරක්ෂාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ නායකත්වය නැති වෙලා ඉවරයි," ඔහු ඉරාන නිලධාරීන් ගැන සටහන් කර ඇති බවක් පෙනෙන්නට තිබුණේ "ට්‍රම්ප්-වාදයේ උපත" පිළිබඳ වොෂින්ටන් පෝස්ට්හි ලිපියක සබැඳියක් ද සමගින්.

    "එයාලට කතා කරන්න ඕන ලු. මම කිව්වා 'පරක්කු වැඩියි' කියලා!"