රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍යවරුන් දැන් පවසන්නේ කුමක් ද?

රාජ්‍ය මුදල් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. නමුත් ඔහු තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

සාරාංශය

  • හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඇප මුදා හැරීමට නියෝග කරයි
  • රුපියල් ලක්ෂ 50 බැගින් ශරීර ඇප තුනක්
  • කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක්
  • රනිල් වික්‍රමසිංහ සූම් ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට තීරණයක්
  • අධිකරණය අවට ආරක්ෂාව තර කරයි

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. රනිල් වික්‍රමසිංහ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරයි

    කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා මාරු කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ සිට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

    බීබීසී සිංහල කළ විමසීමකදී ඔහු මේ බව තහවුරු කළා. ඔහුට ඇති වී තිබෙන "විජලනය තත්ත්වයක් හේතුවෙන් වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි" ඔහු මෙලෙස දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබෙනවා.

    "නිරීක්ෂණයක් සඳහා ඇතුළත් කළා. රස්නයත් එක්ක පැය ගණනක් උසාවියේ හිටියා ම විජලයන වෙනවනේ. වතුර බොන්නෙත් නැතුව, කන්නෙත් නැතුව," වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වැඩිදුරටත් පැවසුවා.

  2. රනිල් වික්‍රමසිංහ යනු කවුද?

    1949 මාර්තු 24 වන දා එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනී වික්‍රමසිංහ යුවළට දාව රනිල් වික්‍රමසිංහ උපත ලැබුවා.

    කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු, එවකට ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ මණ්ඩපයේ නීති පීඨයට ඇතුළත් වුණා.

    පසුව, නීති විද්‍යාලයට ඇතුළත් වූ ඔහු නීතිඥයෙකු ලෙස 1972 වසරේදී දිවුරුම් දුන්නා.

    මහජන ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරවැසියා වීමට අවස්ථාව අහිමි වූ රනිල් වික්‍රමසිංහ 6 වරක් දෙවන පුරවැසියා, එසේත් නොමැති නම්, අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් අතර 6 වරක් විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළා.

    1977 එක්සත් ජාතික පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ළාබාලතම මන්ත්‍රීවරයා ලෙස වයස අවුරුදු 28 දී ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. ඔහු පිළිබඳ තොරතුරු ඇතුළත් සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න.

  3. වෛද්‍ය නිර්දේශ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට තීරණයක්

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් සිදුකළ නිර්දේශ අනුව ඔහුව කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට තීරණය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් විරසිංහ බීබීසී සිංහල වෙත සඳහන් කර සිටියා.

  4. 'ඒක අහම්බයක් වෙන්න බෑ... යූටියුබ්කරුවෙක් අනාවැකි කියන්නේ කොහොම ද?'

    එංගලන්තයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගි වීම සඳහා සිදු කළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් බොහෝ පිරිස් සිය අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබෙනවා.

    හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලබන බව සහ ඔහු දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන බවට යුටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන සුදත්ත තිලක්සිරි සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන් ම පාර්ලිමේන්තුව තුළ ඇතැම් මන්ත්‍රීවරුන් ද ප්‍රශ්න කරනවා.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය X ගිණුමේ සටහනක් තබමින්, හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමට පෙර යූ ටියුබ්කරුවෙකු අනාවැකි පළ කරන්නේ කෙසේ ද? යනුවෙන් ප්‍රශ්න කර සිටියා.

  5. එතුමා හොඳින් සිටිනවා. අපි සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන්න ඕනා' - සජිත්

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂ නායකවරයා ඇතුළු පිරිසක් අද (අගෝස්තු 22) කොළඹ, නව මැගසින් බන්ධනාගාරයට පැමිණියා.

    "එතුමා හොඳින් සිටිනවා. අපි සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන්න ඕනා" යැයි සජිත් ප්‍රේමදාස එහිදී පැවසුවා.

    "සමාජ මාධ්‍ය ජාලයක පුද්ගලයෙක් වෙන දේ කියනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක්" ඔහු වැඩිදුරටත් කියා සිටියා.

  6. රනිල් වික්‍රමසිංහ බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය පළිගැනීමක් බව මහින්ද රාජපක්ෂ කියයි

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය පළිගැනීමක් බව මහින්ද රාජපක්ෂ පවසනවා.

    බන්ධනාගාරගත කර සිටින රනිල් වික්‍රමසිංහගේ සුවදුක් බැලීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (අගෝස්තු 23) මෙම අදහස් පළ කළා.

  7. හිටපු ජනපති රනිල්ට බන්ධනාගාර රෝහලේදී ප්‍රතිකාර

    රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ වන විට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස් සහ එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ බීබීසී සිංහල විසින් සිදු කරනු ලැබූ විමසීමකදී තහවුරු කළා.

    සාමාන්‍ය සැකකරුවෙකු ගෙන ඒමේදී සිදු කරනු ලබන ක්‍රියාවලියේදී මෙන් ම මෙහිදී ද ලියාපදිංචි කටයුතු සිදු කර පසුව වෛද්‍යවරයෙකු වෙත යොමු කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

    "උසාවියෙන් කෙලින් ම හිටපු ජනාධිපතිතුමාව ගේන්නේ මැගසින් බන්ධනාගාරයට. එයාව අයිති බන්ධනාගාරය ඒක. මැගසින් බන්ධනාගාරයේදී අපි එයාව රෙජිස්ටර් කරලා ඔක්කොම කරලා අවසන් වුණාට පස්සේ ඕන ම සැකකරුවෙක් අපි ඩොක්ටර් කෙනෙක් ගාවට දානවා. ඒ වගේ ම එයාගේ රිමාන්ඩ් වොරන්ට් එකේ ගහලා තිබුණා මෙයාට ආරක්ෂාව සහ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න කියලා මහේස්ත්‍රාත්තුමිය විසින්."

    එහිදී වෛද්‍යවරිය විසින් පරීක්ෂා කිරීමේදී හිටපු ජනාධිපතිවරයාගේ රුධිර පීඩනය සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ ගොස් තිබීම හේතුවෙන් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරිය තීරණය කර ඇති බව මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ කියා සිටියා.

    "ඒ විදිහට අපි ඩොක්ටර් කෙනෙක් ගාවට දැම්මට පස්සේ ඒ ඩොක්ටර් තීරණය කරලා තියෙනවා, මෙයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එකයි ෂුගර්වලයි ලොකු ඉහළ යාමක් තිබිලා තියෙනවා කියලා. එහෙම තමයි දැන ගන්න ලැබුණේ. එයාගේ රෝග ඉතිහාසයේ ගොඩක් ලෙඩ තියෙනවා. ඒ නිසා වෛද්‍යතුමිය තීරණය කරලා තියෙනවා මෙයාව බන්ධනාගාර රෝහලට දාලා ප්‍රතිකාර කරන්න ඕනේ කියලා. ඒ නිසා දැනට බන්ධනාගාර රෝහලට දාලා තමයි ප්‍රතිකාර කරන්නේ."

  8. ආයුබෝවන්

    හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ දක්වා සිදුවූයේ කුමක් ද? මෙම සියලු තොරතුරු මෙම සජීව වෙබ් පිටුව ඔස්සේ බලාපොරොත්තු වන්න