මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තමා දැඩි කම්පනයට සහ කනගාටුවට පත්ව ඇතැයි අධිකරණ අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර පවසනවා.
සඳුදා (ජූලි 6) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමා යටතේ ඇති ආයතනයක මෙවැනි ගැටුමක් හටගත් බැවින් එහි වගකීම තමාට භාරගැනීමට සිදුවන බව ය.
කෙසේ වෙතත් මේ වන විට තත්ත්වය සමථයකට පත්කර ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා පැවසුවේ, කාගේ හෝ ජීවිතයක් අහිමි වීම අනුමත කළ නොහැකි බවත් ඉදිරියේදී මෙවැවනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් සඳහන් කළා.
මෙම ගැටුම පතාල කල්ලි දෙකක් අතර ඇති වූ දෙයක් බව ද සඳහන් කර සිටි අධිකරණ අමාත්‍යවරයා, ගැටුම විසඳීමට නිලධාරීන් උපරිමයෙන් කටයුතු කර ඇති බව ද පැවසුවා.
"අද අපි උදේ ඉදලා මීගමුවේ ඇති වෙච්ච තත්ත්වය ගැන නිලධාරීන් මෙහෙයවමින් ඒක පාලනය කරන්න අවශ්‍ය කටයුතු කරමින් හිටියා. දැන් තත්ත්වය පාලනය කරලා තියෙන්නේ. රැඳවියෝ මිය ගිහින් තියෙනවා, කාර්ය මණ්ඩලය මියගිහිල්ලා තියෙනවා. එතැන මනුස්ස ජීවිත නැතිවීම ගැන බලවත් කම්පනයක් තියෙනවා.
"මම ඉස්සෙල්ලා ම මියගිය අයගේ පවුල්වලට බලවත් ශෝකය සහ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. සිද්ධිය වෙච්ච තැනට අපි ගිහිල්ලා වෙලා තියෙන දේ හොයලා ඉදිරියේදී මෙවැනි දෙයක් නොවෙන්න වග බලාගන්න ඕනෙයි කියන තැන අපි ඉන්නේ.
"කාටවත් මේකේ වරද පටවනවා නෙමෙයි. ඇත්තට ම කම්පනයක් තියෙනවා අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ භාරයේ තියෙන ආයතනයකයි මේක වෙන්නේ. ඒ නිසා ඒකේ වගකීම මට භාරගන්න වෙනවා.
"දැන් තියෙන්නේ පසුතැවෙන එකට වඩා මේක වුණේ කොහොම ද? ප්‍රශ්නේ කොතැන ද? කවුරු හෝ වැරදියට ලෙස කටයුතු කරලා තියෙනවා ද? ගැටලුව ගැටුම ඇති වුණේ කොහොම ද? ඉදිරියේ දී මේවා ඇති නොවන්නේ කොහොම ද කියලා බලන එක. දැන් ඉතා ඉක්මනින් මේකට පිළියම් යොදන්න ඕනේ කියන තැන අපි ඉන්නවා.
"මගේ ළඟ දැන් ඔක්කොම තොරතුරු නැහැ. මෙතැන පාතාලයට සම්බන්ධ කල්ලි දෙකක් අතර ඊයේ තමයි ඉස්සර වෙලා ම ගැටුම ඇතිවෙලා තියෙන්නේ. එතන ඇතිවුණ ගැටුමෙනුත් කට්ටිය තුවාල වෙලා තියෙනවා. ඒ ගැටුම පාලනය කරන්න කාර්ය මණ්ඩලයේ අයත් තුවාල ලබලා තිබුණා. පස්සේ ඒ ගැටුම සමථයකට පත්කරලා තිබුණා.
"ඒත් අද උදේ ඔවුන්ට ආහාර ලබා දීලා, උසාවියට අරන් යන්න ලෑස්ති වෙනකොට ඒ කණ්ඩායම් දෙක අතර නැවත ගැටුම් උග්‍ර වෙලා තියෙනවා. මේක විසඳන්න අපේ කාර්ය මණ්ඩලය පුළුවන් තරම් මැදිහත් වෙනවා. මොකද මුල් අවස්ථාවේදී වෙඩි තියන්න හරි ගහන්න යන්නේ නැහැ අපේ අය. විවිධ උපක්‍රම භාවිත කරනවා.
"එතැන සෙනඟත් ගොඩක් ඉන්නවා. මේ වෙලාවට මෙවැනි දේවල් සිදුවෙනවා. මේක සාධරණීකරණය කරන්නත් බෑ. සුළු කොට තකන්නත් බෑ. මොකද මිනිස් ජීවිත නැති වෙලා තියෙනවා. මේ ගැන තව හොයලා බලන්න ඕනේ.
"කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මෙතැනදී මිය ගිහින් තියෙන්නේ එයාලා මේ කණ්ඩායම් දෙක අතර ඇතිවුණ ගැටුම පාලනය කරන්න මැදිහත් වුණ නිසයි. මොකද මේ ගැටුම කාර්ය මණ්ඩලයත් එක්ක නෙමෙයි ඇතිවෙලා තියෙන්නේ. මිය ගියපු කාර්ය මණ්ඩල නිලධාරීන්ට වෙඩි වැදිලා තියෙනවා. ඒක වුණේ කොහොමද කියලා මම දන්නේ නැහැ. ඔවුන්ගේ අතට ආයුධ ගියේ කොහොම ද කියන එක ගැන හොයන්න ඕන. රැඳවියන් ගැන විතරක් නෙමෙයි කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ගැනත් මට වගකීමක් තියෙනවා," අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.