සජීවී., 'මනුස්ස ජීවිත නැතිවීම ගැන බලවත් කම්පනයක් තියෙනවා, ඒකේ වගකීම මට භාරගන්න වෙනවා' - අධිකරණ ඇමති

මීගමුව බන්ධනාගාරය තුළ අද උදෑසන ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසීය. ඔහු සඳහන් කළේ, මිය ගිය පිරිස අතර නිලධාරීන් 7 දෙනෙකු සිටින බවත් සෙසු 19 දෙනා රැඳවියන් බවත් ය.

සාරාංශය

  • මීගමුව බන්ධනාගාර රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවේ
  • අද උදෑසන නොසන්සුන්තාවයෙන් 26ක් මරුට. 7ක් නිලධාරීන්
  • 100කට අධික පිරිසක් මීගමුව රෝහලට
  • අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මීගමුව බන්ධනාගාරයට
  • 'මනුස්ස ජීවිත නැතිවීම ගැන බලවත් කම්පනයක් තියෙනවා, ඒකේ වගකීම මට භාරගන්න වෙනවා' - අධිකරණ ඇමති
  • මීගමුව බන්ධනාගාර සිදුවීම ගැන සෙවීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල කණ්ඩායම මීගමුව සහ කොළඹ සිට

  1. බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් තවමත් බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවයේ

    Negombo Prison

    බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් තවමත් බන්ධනාගාර ඉදිරිපිට මාර්ගයේ රැස්ව සිටින බව එහි සිටින අප වාර්තාකරු පවසනවා.

    ඔවුන් අතර වයස්ගත මෙන් ම කුඩා දරුවන් රැගත් කාන්තාවන් පිරිසක් ද දැකගත හැකි බව ඔහු සඳහන් කළා.

    ඔහු තවදුරටත් පැවසුවේ, මෙම පිරිස කෑ කෝ ගසමින් මාර්ගය අවහිර වන සේ විරෝධය දක්වන අයුරු දැකගත හැකි බවයි.

    බන්ධනාගාරයේ සිටින සිය නෑ හිතවතුන් පිළිබඳ තොරතුරක් අපේක්ෂාවෙන් ඔවුන් මෙලෙස රැස්ව සිටින බව අප වාර්තාකරු සඳහන් කළා.

    ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, බන්ධනාගාරය අවට ආරක්ෂාව දැඩි කර ඇති අතර පොලිසිය හා යුද්ධ හමුදාව ද ඒ සදහා යොදවා සිටින බවයි.

  2. Breaking, මීගමුව බන්ධනාගාර සිදුවීම ගැන සොයන්න කමිටුවක්

    මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදුකර, සිද්ධියට හේතු වූ කරුණු, ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග සහ එවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අද (ජුලි 6) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

    එම කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු පත් කර ඇති අතර, විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක සහ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් සෙසු සාමාජිකයන් ලෙස පත් කර තිබෙනවා.

    අදාළ කමිටුව මගින් සිද්ධිය පිළිබඳ සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කර, තම නිර්දේශ සහිත වාර්තාව රජයට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය කළා.

  3. අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට: 'මිය ගිය ගණන 26ක් දක්වා ඉහළට'

    වීඩියෝ ශීර්ෂ වැකිය, අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට

    මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් මියගිය ගණන 26ක් දක්වා ඉහළ ගොස් ඇති බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

    එම පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19 සිටින බව ඔහු සඳහන් කළා.

    බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

    ඔහු මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ මීගමුව බන්ධනාගාර පරිශ්‍රය වෙත කළ සංචාරයකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

    මේ අතර මීගමුව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, තුවාලකරුවන් 18 දෙනෙකු කොළඹ ජාතික රොහලට ඇතුළත් කිරීමට පියවර ගත බවයි.

  4. 'මනුස්ස ජීවිත නැතිවීම ගැන බලවත් කම්පනයක් තියෙනවා, ඒකේ වගකීම මට භාරගන්න වෙනවා' - අධිකරණ ඇමති

    Harshana Nanayakkara

    මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තමා දැඩි කම්පනයට සහ කනගාටුවට පත්ව ඇතැයි අධිකරණ අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

    සඳුදා (ජූලි 6) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමා යටතේ ඇති ආයතනයක මෙවැනි ගැටුමක් හටගත් බැවින් එහි වගකීම තමාට භාරගැනීමට සිදුවන බව ය.

    කෙසේ වෙතත් මේ වන විට තත්ත්වය සමථයකට පත්කර ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා පැවසුවේ, කාගේ හෝ ජීවිතයක් අහිමි වීම අනුමත කළ නොහැකි බවත් ඉදිරියේදී මෙවැවනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් සඳහන් කළා.

    මෙම ගැටුම පතාල කල්ලි දෙකක් අතර ඇති වූ දෙයක් බව ද සඳහන් කර සිටි අධිකරණ අමාත්‍යවරයා, ගැටුම විසඳීමට නිලධාරීන් උපරිමයෙන් කටයුතු කර ඇති බව ද පැවසුවා.

    "අද අපි උදේ ඉදලා මීගමුවේ ඇති වෙච්ච තත්ත්වය ගැන නිලධාරීන් මෙහෙයවමින් ඒක පාලනය කරන්න අවශ්‍ය කටයුතු කරමින් හිටියා. දැන් තත්ත්වය පාලනය කරලා තියෙන්නේ. රැඳවියෝ මිය ගිහින් තියෙනවා, කාර්ය මණ්ඩලය මියගිහිල්ලා තියෙනවා. එතැන මනුස්ස ජීවිත නැතිවීම ගැන බලවත් කම්පනයක් තියෙනවා.

    "මම ඉස්සෙල්ලා ම මියගිය අයගේ පවුල්වලට බලවත් ශෝකය සහ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. සිද්ධිය වෙච්ච තැනට අපි ගිහිල්ලා වෙලා තියෙන දේ හොයලා ඉදිරියේදී මෙවැනි දෙයක් නොවෙන්න වග බලාගන්න ඕනෙයි කියන තැන අපි ඉන්නේ.

    "කාටවත් මේකේ වරද පටවනවා නෙමෙයි. ඇත්තට ම කම්පනයක් තියෙනවා අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ භාරයේ තියෙන ආයතනයකයි මේක වෙන්නේ. ඒ නිසා ඒකේ වගකීම මට භාරගන්න වෙනවා.

    "දැන් තියෙන්නේ පසුතැවෙන එකට වඩා මේක වුණේ කොහොම ද? ප්‍රශ්නේ කොතැන ද? කවුරු හෝ වැරදියට ලෙස කටයුතු කරලා තියෙනවා ද? ගැටලුව ගැටුම ඇති වුණේ කොහොම ද? ඉදිරියේ දී මේවා ඇති නොවන්නේ කොහොම ද කියලා බලන එක. දැන් ඉතා ඉක්මනින් මේකට පිළියම් යොදන්න ඕනේ කියන තැන අපි ඉන්නවා.

    "මගේ ළඟ දැන් ඔක්කොම තොරතුරු නැහැ. මෙතැන පාතාලයට සම්බන්ධ කල්ලි දෙකක් අතර ඊයේ තමයි ඉස්සර වෙලා ම ගැටුම ඇතිවෙලා තියෙන්නේ. එතන ඇතිවුණ ගැටුමෙනුත් කට්ටිය තුවාල වෙලා තියෙනවා. ඒ ගැටුම පාලනය කරන්න කාර්ය මණ්ඩලයේ අයත් තුවාල ලබලා තිබුණා. පස්සේ ඒ ගැටුම සමථයකට පත්කරලා තිබුණා.

    "ඒත් අද උදේ ඔවුන්ට ආහාර ලබා දීලා, උසාවියට අරන් යන්න ලෑස්ති වෙනකොට ඒ කණ්ඩායම් දෙක අතර නැවත ගැටුම් උග්‍ර වෙලා තියෙනවා. මේක විසඳන්න අපේ කාර්ය මණ්ඩලය පුළුවන් තරම් මැදිහත් වෙනවා. මොකද මුල් අවස්ථාවේදී වෙඩි තියන්න හරි ගහන්න යන්නේ නැහැ අපේ අය. විවිධ උපක්‍රම භාවිත කරනවා.

    "එතැන සෙනඟත් ගොඩක් ඉන්නවා. මේ වෙලාවට මෙවැනි දේවල් සිදුවෙනවා. මේක සාධරණීකරණය කරන්නත් බෑ. සුළු කොට තකන්නත් බෑ. මොකද මිනිස් ජීවිත නැති වෙලා තියෙනවා. මේ ගැන තව හොයලා බලන්න ඕනේ.

    "කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මෙතැනදී මිය ගිහින් තියෙන්නේ එයාලා මේ කණ්ඩායම් දෙක අතර ඇතිවුණ ගැටුම පාලනය කරන්න මැදිහත් වුණ නිසයි. මොකද මේ ගැටුම කාර්ය මණ්ඩලයත් එක්ක නෙමෙයි ඇතිවෙලා තියෙන්නේ. මිය ගියපු කාර්ය මණ්ඩල නිලධාරීන්ට වෙඩි වැදිලා තියෙනවා. ඒක වුණේ කොහොමද කියලා මම දන්නේ නැහැ. ඔවුන්ගේ අතට ආයුධ ගියේ කොහොම ද කියන එක ගැන හොයන්න ඕන. රැඳවියන් ගැන විතරක් නෙමෙයි කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ගැනත් මට වගකීමක් තියෙනවා," අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

  5. මෙතෙක් සිදු වූයේ මොනවා ද?

    ජූලි 5

    • ප.ව. 1.00: මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ බවට බන්ධනාගාර බලධාරීන් පැවසීම
    • ප.ව. 4.00: බන්ධනාගාරයේ ඇතිවූ බව කියන ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 20 දෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කිරීම
    • ප.ව. 5.45: රෝහල්ගත කළ පිරිසෙන් දෙදෙනෙකු මිය ගිය අතර, රෝහල්ගත කරන ලද තුවාලකරුවන් සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ යාම
    • ප.ව. 8.00: මේ පිළිබඳව විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දුන් බව අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය හර්ෂණ නානායක්කාර බීබීසී සිංහල පැවසීම

    ජූලි 6

    • පෙ.ව. 8.40: ගැටුම්කාරී තත්ත්වය පාලනය කර ඇති බවට වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් බීබීසී සිංහල වෙත පැවසීම
    • පෙ.ව. 9.45: මීගමුව බන්ධනාගාරයේ නැවතත් නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ බව වාර්තා වීම
    • පෙ.ව. 10.00: බන්ධනාගාරය තුළින් වෙඩි ශබ්ද ඇසෙන බව බීබීසී වාර්තාකරු පැවසීම
    • පෙ.ව. 10.45: ඇතිවූ නොසන්සුන්තාවයෙන් රැඳවියන් දෙදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මීගමුව රෝහලේ අධ්‍යක්ෂවරිය තහවුරු කිරීම
    • පෙ.ව. 11.30: මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 8ක් දක්වා ඉහළට
    • ප.ව. 12.00: මරණ ගණන 19ක් දක්වා ඉහළ යාම සහ තුවාල ලැබූ සංඛ්‍යාව 100 දක්වා ඉහළ යාම
    • ප.ව. 1.00: මරණ සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ යාම
    • ප.ව. 2.30: මීගමුව බන්ධනාගාරයේ රඳවා ඇති ඇතැම් රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීම
  6. 'මගේ පුතා ඇතුළේ ඉන්නවා... ඒ පුතාව මට දෙන්න කියලා මම ඉල්ලන්නේ...'

    Negombo prison

    ඉරිදා මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ "ගැටුම" අතරතුර මිය ගිය බව කියන රැඳවියෙකුගේ ඥාතියෙකු වන නන්දනී බීබීසී සිංහල සමග අදහස් දැක්වුවා.

    "මගේ පුතා ඇතුළේ ඉන්නවා... දකුණු අත නෑ, ඒ පුතාව මට දෙන්න කියලා මම ඉල්ලන්නේ, මගේ පොඩි පුතා ඇතුළේ ඉන්නවා... ඊයේ එයාලා ගහලා ගහලා මරලා, ඔළු පළලා, ඇස්වලට කෝටුවවලින් ඇනලා, පුච්චලා, මගේ පුතාට නවක වධය දීලා, මගේ පුතාව මරලා දාලා මීගමුව හොස්පිටල් එකේ තාම මගේ පුතාගේ මිනිය.

    "සාධාරණයක් ඉටු කරන්න, මට අර දරුවවත් දෙන්න කියන්න. ඉන්න දරුවාවවත් දෙන්න කියන්න, මම නඩුවලට ඉදිරිපත් කරන්නම්," ඇය වැඩිදුරටත් සඳහන් කළා.

  7. 'නොසන්සුන්තාවට හේතුව රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක්' - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

    Negombo Prison

    මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවට හේතුව එහි සිටින රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පවසනවා.

    ඉරිදා (ජූලි 5) වන දා මීගමුව බන්ධනාගාරයේ තුළ ගැටුමක් ඇතිව තිබුණු අතර බලධාරීන් පවසන පරිදි පසුව එය සමථයකට පත් කෙරුණා.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සඳුදා (ජූලි 6) උදෑසන බන්ධනාගාරය තුළ යළිත් නොසන්සුන්තාවක් හට ගත් බවයි. එය මැඩපැවැත්වීමට ගිය බන්ධනාගාර නිලධාරීන්ට ද රැඳවියන් පහර දී තිබුණු බව ඔහු පැවසුවා.

    එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රධාන දොරටුව දෙසට දිව ඇවිත් ඇති අතර රැඳවියන් ද ඔවුන් පසුපස "පන්නාගෙන විත් පහර දුන්" බව ඔහු කියා සිටියා.

    පසුව රැඳවියන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව කැඩීමට උත්සහ කළ බවත් එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීදන් අවම බලය යොදා රැඳවියන් පාලනය කිරීමට කටයුතු කළ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

  8. 'අපේ දරුවෝ කොහේ ඉන්නවා ද දන්නේ නෑ' - රැඳවියෙකුගේ ඥාතියෙක්

    Negombo prison

    මීගමුව බන්ධනාගාරය අසල තවමත් රැඳවියන්ගේ ඥාතීන් රැස්ව සිටින අතර අප වාර්තාකරු සම්පත් දිසානායකට ඔවුන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමට හැකි වුණා.

    එහිදී එක් රැඳවියෙකුගේ ඥාතියෙකු වන ටී.එම්. ඥානතිලක සඳහන් කළේ, බන්ධනාගාරය තුළ සිටින "තම දරුවන් සිටින ස්ථානයක් ගැන තොරතුරක් නොමැති" බවයි.

    "ඊයේ ඉඳලා මේ බන්ධනාගාරේ ගැටුමක් තියෙනවනේ. ඉතින් අපි දන්නේ නෑනේ මොකක් ද මේ හේතුව, ගැටුමක් වෙන්න හේතුවක් තියෙන්න එපැයි. අපි හේතුවක් දන්නෙත් නෑ.

    "අපේ දරුවෝ කොහේ ඉන්නව ද දන්නෙත් නෑ. ඉස්පිරිතාලෙට ගියා ඉස්පිරිතාලේ බලන්න දෙන්නෙත් නෑ, මෙතැනට ආව ම මෙතන බලන්න දෙන්නෙත් නෑ. එක්කෝ ඉන්න කෙනෙක් කියන්න ඕනේ මේ දරුවන්ට මොකුත් වෙලා නෑ කියලා.

    "එක්කෝ නම් ලිස්ට් එකක් දාන්න ඕනේ. එක්කෝ මැරිලා ඉන්න කට්ටියගේ ලිස්ට් එකක් දාන්න ඕනේ, ජීවත් වෙලා ඉන්න අයගේ ලිස්ට් එකක් දාන්න ඕන," ඔහු වැඩිදුරටත් පැවසුවා.

  9. මීගමුව බන්ධනාගාර රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පවසනවා.

  10. 'අවශ්‍ය නිලධාරී ගාණෙන් 1/4ක් වගේ තමයි මේ හතළිස් දාස් ගාණ ම පාලනය කරන්නේ'

  11. මීගමුව බන්ධනාගාරය ඉදිරිපිට පස්වරු 12:35 වන විට තත්ත්වය

  12. තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට

    තුවාල ලැබූවන්ගෙන් පිරිසක් මේ වන විට ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන විත් ඇති බව කොළඹ සිටින අපගේ වාර්තාකරුවන් පවසනවා.

    මේ, එම අවස්ථාවේදී ලබා ගත් ඡායාරූප.

    NSHL
    NHSL
    NHSL
    NHSL
  13. Breaking, තුවාල ලැබූ '100කට අධික පිරිසක්' මීගමුව රෝහලට

    තුවාල ලැබූ 100 දෙනෙකුට අධික පිරිසක් මේ වන විට රෝහල්ගත කර ඇතැයි මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරිය බීබීසී සිංහල වෙත පැවසුවා.

    එමෙන් ම, බරපතළ තුවාල ලැබූ ඇතැම් පුද්ගලයින් ප්‍රතිකාර සඳහා වෙනත් රෝහල් වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

    මේ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය බීබීසී සිංහල කළ විමසීමකදී පැවසුවේ සිද්ධියෙන් 25 දෙනෙකු මියගොස් ඇති බවයි. කෙසේ වෙතත්, එම ගණන ඊයේ දින මිය ගිය පුද්ගලයින් දෙදෙනා සමග සමස්ථ මිය ගිය ගණන බව මේ දක්වා ප්‍රකාශ කළ නොහැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවා.

  14. Breaking, මිය ගිය ගණන 19ක් දක්වා ඉහළට - මීගමුව රෝහල

    මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාව හේතුවෙන් මේ දක්වා 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරිය බීබීසී සිංහල වෙත පැවසුවා.

    එම පිරිස අතර නිලධාරීන් තිදෙනෙකු ද සිටින බව ඇය මීට පෙර පැවසුවා.

    ඊයේ ඇති වූ නොසසුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙනෙකු මියගොස් තිබුණා.

  15. තත්ත්වය නිරීක්ෂණය කිරීමට ගුවන් හමුදාව ඩ්‍රෝන යානා සහ හෙලිකොප්ටරයක් යොදවයි

    Negombo Prison

    මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයට අදාළව තොරතුරු රැස් කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඩ්‍රෝන යානා දෙකක් සහ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් යොදා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් නලින් වැවකුඹුර බීබීසී සිංහල වෙත පැවසුවා.

  16. Breaking, මිය ගිය ගණන 8ක් දක්වා ඉහළට: 50කට අධික පිරිසක් මීගමුව රෝහලට

    Negombo Prison

    මීගමුව බන්ධනාගාරය තුළ අද උදෑසන ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් මේ වන විට 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරිය බීබීසී සිංහල වෙත පැවසුවා.

    තුවාල ලැබූ 50කට අධික පිරිසක් මේ වන විට රෝහල්ගත කර ඇති අතර තවදුරටත් තුවාලකරුවන් රෝහල්ගත කෙරෙන බව අධ්‍යක්ෂවරිය පැවසුවා.

    මිය ගිය පිරිස අතර නිලධාරීන් තිදෙනෙකු ද සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

  17. STF සහ පොලිස් නිලධාරීන් බන්ධනාගාරය තුළට ඇතුළු වූ ආකාරය

  18. Breaking, අද උදෑසන නොසන්සුන්තාවයෙන් 5 දෙනෙක් මරුට: නිලධාරීන් තිදෙනෙකුත් ඒ අතර

    අද උදෑසන මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් අවම වශයෙන් 35කට අධික පිරිසක් රෝහල්ගත කර ඇතැයි මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරිය බීබීසී සිංහල වෙත පැවසුවා.

    එමෙන් ම අද උදෑසන ඇති වූ තත්ත්වය හේතුවෙන් 5 දෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් අතරින් තිදෙනෙකු "නිලධාරීන්" බවත්, දෙදෙනෙකු රැඳවියන් බවත් ඇය පැවසුවා.

    මේ වන විටත් තවත් තුවාලකරුවන් රෝහල වෙත රැගෙන එන බව පැවසූ ඇය තවදුරටත් සඳහන් කළේ තුවාල ලැබූවන්ගේ තුවාලවල ස්වභාවය මේ දක්වා නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ය.

    ඒ අනුව, මෙම සිද්ධියෙන් මිය ගිය මුළු ගණන 7ක් දක්වා ඉහළ යනවා.

  19. Breaking, බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්

    Negombo Prison

    බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් "විශාල පිරිසක්" ඒ අසලට පැමිණ සිටින බවත් මේ වන විට ඔවුන් සහ පොලිසි අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවත් අප වාර්තාකරු පවසනවා.

    ඔහු පැවසුවේ, එම පිරිස බන්ධනාගාරය තුළට එක් පසකින් ඇතුළු වීමට උත්සහ කරන ආකාරය නිරීක්ෂණය වන බව ය.

  20. Breaking, බන්ධනාගාරය තුළට STF සහ පොලිස් නිලධාරීහු ඇතුළු වෙති

    මීට කෙටි වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ කැරළි මර්දන නිලධාරීන් බන්ධනාගාරය තුළට අතුළු වූ බව අප වාර්තාකරු පැවසුවා.