ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

බදාදා, එක්සත් ජනපද හමුදාව පැවසුවේ පළමු පැය 24 තුළ කිසිදු නෞකාවකට සිය අවහිර කිරීම් හරහා යාත්‍රා කිරීමට නොහැකි වූ බවත්, වෙළෙඳ නැව් හයකට ඕමාන් බොක්ක ආශ්‍රිත මුහුදෙන් ආපසු හැරී යාමට සිදුවූ බවත් ය.

සාරාංශය

  • එක්සත් ජනපදය ඉරාන වරායන් අවහිර කර ඇති නිසා දෙවන වටයේ සාකච්ඡා ඉක්මනින් ආරම්භ වනු ඇත.
  • ඉරාන යුද්ධය අවසන් කිරීම අරමුණු කර ගත් සාකච්ඡා මෙම සතියේ නැවත ආරම්භ කළ හැකි බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි පළ කර තිබේ.
  • ට්‍රම්ප්ගේ ප්‍රකාශයන්ට ඉරානය ප්‍රතිචාර දක්වා නොමැති නමුත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ, සාකච්ඡා නැවත ආරම්භ වීමට "බොහෝදුරට ඉඩ ඇති" බව යි.
  • එක්සත් ජනපදයේ ලෙබනන් තානාපතිවරයා පැවසුවේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊශ්‍රායලය සමග මුල් සාකච්ඡා "ඵලදායී වූ" බව ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊශ්‍රායල් තානාපතිවරයා පැවසුවේ, "සාකච්ඡාවේදී රටවල් තුන ම ගැටලුව සම්බන්ධයෙන් එක ම ස්ථාවරයක" සිටින බව පෙන්නුම් කළ බව යි.
  • මෑත කාලීන සාකච්ඡාවලදී ගිවිසුමකට එළඹීමට අසමත් වීමෙන් පසුව එක්සත් ජනපදය ඉරානයේ වරායන් අවහිර කරමින් සිටින අතර ඉරානයේ ඉන්ධන සම්බන්ධයෙන් සම්බාධක දැඩි කිරීමට සැලසුම් කරයි.
  • අවහිර කිරීම සිදුකර පළමු පැය 24 තුළදී ඉරාන වරායන් සහ වෙරළබඩ ප්‍රදේශ හරහා කිසිදු නෞකාවක් ගමන් කර නොමැති බව එක්සත් ජනපදය පැවසීය. නෞකා ගමනාගමන දත්තවලට අනුව බීබීසී විසින් සිදුකරන සත්‍යාපනවලට අනුව, අවහිර කිරීම ආරම්භ වීමෙන් පසු ඉරානයට සම්බන්ධ නැව් හතරක් හෝමූස් සමුද්‍ර සන්ධිය යාත්‍රා කර ඇත.
  • ලබන සතියේ අවසන් වීමට නියමිත සති දෙකක සටන් විරාමය අතරතුර මෙම සමුද්‍රීය අවහිරතා කිරීම ආරම්භ කර තිබේ.

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. සටන් විරාමය නොතකා ප්‍රහාර අඛණ්ඩව

    සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රටවල් කිහිපයකින් ම ප්‍රහාර වාර්තා වී තිබෙනවා.

    ඉරානයේ:

    ඊශ්‍රායල නිලධාරියෙකු උපුටා දක්වමින් බදාදා උදෑසන වන විටත් ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කරමින් සිටින බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

    ඊශ්‍රායලය ද සටන් විරාම ගිවිසුමට එකඟ වූ බවට ධවල මන්දිරය විසින් AFP වෙත තහවුරු කිරීමක් සිදු කර තිබියදී මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා.

    ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයට ඊශ්‍රායලයෙන් තවමත් නිල ප්‍රතිචාරයක් ලැබී නැහැ.

    ඊශ්‍රායලයේ:

    ජෙරුසලමේ ප්‍රහාර වාර්තා වී ඇති අතර, එහි සිටින බීබීසී මාධ්‍යවේදීන් පැවසුවේ ඔවුන්ට පිපිරීම් කිහිපයක ම හඬ ඇසුණුයි. ප්‍රදේශවාසීන්පට අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.

    බහරේනයේ:

    "සයිරන් නාද කර ඇති" බව පවසන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය, ප්‍රදේශවාසීන්ට ආරක්ෂක ස්ථාන වෙත යන ලෙස දන්වා තිබෙනවා.

    කටාරයේ:

    කටාර් ආරක්ෂක අමාත්‍යංශය සමාජ මාධ්‍ය සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ රට දෙසට යොමු වූ මිසයිල ගුවනේදී ම විනාශ කළ බවයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ:

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම රට "දැනට ඉරානයෙන් මිසයිල ප්‍රහාර සහ ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින" බවයි.

    සෞදි අරාබියේ:

    සෞදි සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂක කාර්යාලය සහ රියාද්හි බීබීසී මාධ්‍යවේදියෙකු විසින් සමාජ මාධ්‍ය පළ කරන ලද සටහන්වලට අනුව, පසුගිය පැය කිහිපය තුළ සෞදි සිවිල් ආරක්ෂක නිලධාරීන් අවම වශයෙන් අනතුරු ඇඟවීම් දෙකක් නිකුත් කර ඇති අතර, පළමු අනතුරු ඇඟවීමේදී ම පැහැදිලි සංඥාවක් ලබා දී තිබෙනවා.

  2. සටන් විරාමය ගැන පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් තැබූ X සටහන

  3. සාකච්ඡා පාකිස්තානයේදී පැවැත්වෙන බව ඉරානය කියයි

    ගොන්චේ හබිබියාසාඩ්

    ජ්‍යෙෂ්ඨ වාර්තාකරු, බීබීසී පර්සියානු

    ප්‍රකාශයට පත් කරන ලද කොන්දේසි සහිත සටන් විරාමයෙන් පසුව, ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය (SNSC) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, සවිස්තර සාකච්ඡා තුළින් එකඟතා "අවසන්" කිරීම සඳහා උපරිම දින 15ක් ඇතුළත පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී සාකච්ඡා පවත්වන බවයි.

    "ඉරානයේ ජයග්‍රහණය දේශපාලන සාකච්ඡාවලදී ද තහවුරු වනු ඇත" යනුවෙන් ඔවුන් නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වේ.

    මෙම ප්‍රකාශය රාජ්‍ය රූපවාහිනිය විසින් ප්‍රකාශයට පත් කරන ලද කරුණු 10කින් යුත් සැලැස්ම ඉක්මවා ගොස් ඇති, අතර එම ප්‍රකාශයේ සඳහන් වන්නේ එක්සත් ජනපදය පහත සඳහන් කරුණුවලට ද එකඟ වී ඇති බවයි:

    • ඉරානයට එරෙහි "ආක්‍රමණශීලීත්වය" නැවත සිදු නොවන බවට සහතික වීම
    • හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ඉරානයේ පාලනය දිගටම පවත්වාගෙන යාම
    • [යුරේනියම්] බලගැන්වීමේ අයිතිය පිළිගැනීම
    • සියලු ම ප්‍රාථමික සහ ද්විතීයික සම්බාධක ඉවත් කිරීම
    • [එක්සත් ජාතීන්ගේ] ආරක්ෂක මණ්ඩලයේ සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ සියලු ම යෝජනා අවසන් කිරීම.
    • ඉරානයට වන්දි ගෙවීම
    • කලාපයෙන් ඇමෙරිකානු සංග්‍රාමික හමුදා ඉවත් කර ගැනීම
    • ලෙබනනයට එරෙහිව ඇතුළුව සියලු ම පෙරමුණු වල යුද්ධය නැවැත්වීම
  4. ඉරානයට අනුව කොන්දේසි සහිත සටන් විරාමය සඳහා වන කරුණු 10කින් යුත් සැලැස්ම

    1. ඉරාකය, ලෙබනනය සහ යේමනයට එරෙහි යුද්ධය සම්පූර්ණයෙන් ම නැවැත්වීම

    2. කාල සීමාවකින් තොරව ඉරානයට එරෙහි යුද්ධය සම්පූර්ණයෙන් හා ස්ථිරව ම නැවැත්වීම

    3. කලාපයේ සියලු ගැටුම් සම්පූර්ණයෙන් ම අවසන් කිරීම

    4. හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම

    5. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතුවල නිදහස සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ප්‍රොටෝකෝලයක් සහ කොන්දේසි ස්ථාපනය කිරීම

    6. ඉරානයේ ප්‍රතිසංස්කරණ වියදම් සඳහා සම්පූර්ණ වන්දි ගෙවීම

    7. ඉරානයට එරෙහි සම්බාධක ඉවත් කිරීමට පූර්ණ කැපවීමක් 8. එක්සත් ජනපදය සතුව ඇති ඉරාන අරමුදල් සහ තහනම් කළ වත්කම් නිදහස් කිරීම

    9. න්‍යෂ්ටික අවි කිසිවක් ළඟ තබා නොගැනීමට ඉරානය සම්පූර්ණයෙන් ම කැපවී සිටී

    10. ඉහත කොන්දේසි අනුමත වූ වහා ම සියලු ම පෙරමුණු සඳහා ක්ෂණික සටන් විරාමය ක්‍රියාත්මක වේ

  5. සටන් විරාමය ගැන ජනපති ට්‍රම්ප්ගෙන් නිවේදනයක්

    පාකිස්ථාන නායකත්වය සමග සාකච්ඡා කිරීමෙන් පසු, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනයට ඉඩ දීමට ඉරානය එකඟ වුවහොත්, එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාමයක් ඇති වන බව ඇමෙරිකානු ජානාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

    "ඉරානයට බෝම්බ හෙළීම සහ ප්‍රහාර එල්ල කිරීම සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට මම එකඟ වෙමි," ඔහු කියා සිටියා.

    "මෙය ද්වී පාර්ශවීය සටන් විරාමයක් (CEASEFIRE) වනු ඇත!"

    ට්‍රම්ප් තවදුරටත් පවසන්නේ, "හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණ, ක්ෂණික සහ ආරක්ෂිතව විවෘත කිරීමට ඉරාන ඉස්ලාමීය ජනරජය එකඟ වුවහොත්" සති දෙකක සටන් විරාමයට එකඟ වන බවයි.

    ප්‍රහාර නතර කළහොත් සටන් විරාමයකට එළඹීමට සහ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානය ද නිල වශයෙන් එකඟ වී තිබෙනවා.

  6. ආයුබෝවන් සුබ උදෑසනක්..!

    ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සති දෙකක කොන්දේසි සහිත සටන් විරාමයකට එකඟවී තිබේ.

    මේ සමගම කලාපයේ වර්ධනය වන තත්ත්වයන් පිළිබඳව මෙම සජීවී වෙබ් පිටුව ඔස්සේ ඔබව දැනුවත් කිරීමට අප සූදානම්.

    සුවිශේෂී තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න බීබීසී සිංහල සමගින්.