ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

බදාදා, එක්සත් ජනපද හමුදාව පැවසුවේ පළමු පැය 24 තුළ කිසිදු නෞකාවකට සිය අවහිර කිරීම් හරහා යාත්‍රා කිරීමට නොහැකි වූ බවත්, වෙළෙඳ නැව් හයකට ඕමාන් බොක්ක ආශ්‍රිත මුහුදෙන් ආපසු හැරී යාමට සිදුවූ බවත් ය.

සාරාංශය

  • එක්සත් ජනපදය ඉරාන වරායන් අවහිර කර ඇති නිසා දෙවන වටයේ සාකච්ඡා ඉක්මනින් ආරම්භ වනු ඇත.
  • ඉරාන යුද්ධය අවසන් කිරීම අරමුණු කර ගත් සාකච්ඡා මෙම සතියේ නැවත ආරම්භ කළ හැකි බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි පළ කර තිබේ.
  • ට්‍රම්ප්ගේ ප්‍රකාශයන්ට ඉරානය ප්‍රතිචාර දක්වා නොමැති නමුත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ, සාකච්ඡා නැවත ආරම්භ වීමට "බොහෝදුරට ඉඩ ඇති" බව යි.
  • එක්සත් ජනපදයේ ලෙබනන් තානාපතිවරයා පැවසුවේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊශ්‍රායලය සමග මුල් සාකච්ඡා "ඵලදායී වූ" බව ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊශ්‍රායල් තානාපතිවරයා පැවසුවේ, "සාකච්ඡාවේදී රටවල් තුන ම ගැටලුව සම්බන්ධයෙන් එක ම ස්ථාවරයක" සිටින බව පෙන්නුම් කළ බව යි.
  • මෑත කාලීන සාකච්ඡාවලදී ගිවිසුමකට එළඹීමට අසමත් වීමෙන් පසුව එක්සත් ජනපදය ඉරානයේ වරායන් අවහිර කරමින් සිටින අතර ඉරානයේ ඉන්ධන සම්බන්ධයෙන් සම්බාධක දැඩි කිරීමට සැලසුම් කරයි.
  • අවහිර කිරීම සිදුකර පළමු පැය 24 තුළදී ඉරාන වරායන් සහ වෙරළබඩ ප්‍රදේශ හරහා කිසිදු නෞකාවක් ගමන් කර නොමැති බව එක්සත් ජනපදය පැවසීය. නෞකා ගමනාගමන දත්තවලට අනුව බීබීසී විසින් සිදුකරන සත්‍යාපනවලට අනුව, අවහිර කිරීම ආරම්භ වීමෙන් පසු ඉරානයට සම්බන්ධ නැව් හතරක් හෝමූස් සමුද්‍ර සන්ධිය යාත්‍රා කර ඇත.
  • ලබන සතියේ අවසන් වීමට නියමිත සති දෙකක සටන් විරාමය අතරතුර මෙම සමුද්‍රීය අවහිරතා කිරීම ආරම්භ කර තිබේ.

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. බේරූට් වෙත එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පසු ලෙබනනය ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරයි

    ඊශ්‍රායලය ඊයේ (අප්‍රේල් 08) වැනිදා ලෙබනනයට එල්ල කල ගුවන් පුද්ගලයින් 203 දෙනෙකු මිය ගොස් තවත් 1,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

    ඉරානය පවසන්නේ ලෙබනනයට ඊශ්‍රායලය එල්ල ප්‍රහාර ඇමෙරිකා එක්සත් ජනපද-ඉරාන සටන් විරාම ගිවිසුම "බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්" බවයි.

  2. ඊශ්‍රායල ප්‍රහාර සටන් විරාමය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් - ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය

    ඊශ්‍රායල ප්‍රහාර සටන් විරාමය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සයීඩ් කතිබ්සාදේ BBC සමග කළ සංවාදයකදී සඳහන් කළා.

  3. ඉරාන තානාපතිවරයා, පාකිස්ථානයේදී පැවැත්වීමට නියමිත ඇමෙරිකා-ඉරාන සාකච්ඡා පිළිබඳ X සටහන මකා දමයි

    එක්සත් ජනපදය සමඟ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ඉරාන දූත පිරිසක් අද ඉස්ලාමාබාද් බලා යන බවට පකිස්ථානයේ ඉරාන තානාපතිවරයා X හි පළ කළ සටහනක් මකා දමා තිබෙනවා.

    මෙම සාකච්ඡා සෙනසුරාදා දින ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සමඟ පැවැත්වීමට නියමිතය.

    එම සටහනේ රේසා අමිරි මොගදම් පැවසුවේ සාකච්ඡා "ඉරානය විසින් යෝජනා කරන ලද කරුණු 10ක් මත පදනම් වන" බවයි. අප වාර්තා කර ඇති පරිදි, එක්සත් ජනපදය සහ ඉරානය එම කරුණු නිශ්චිතවම මොනවා ද යන්න පිළිබඳව පරස්පරව කරුණු වාර්තා කර ඇත.

    සටහන මකා දැමුවේ මන්දැයි තානාපතිවරයා පැහැදිලි කර නැහැ.

  4. 'අපට අවශ්‍ය වෙලාවේ නේටෝව හිටියේ නැහැ' - ට්‍රම්ප් පවසයි

    ධවල මන්දිරයේදී නේටෝ ප්‍රධානී මාර්ක් රූට සමග පැවති හමුවීමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Truth Socialහි සටහනක් පළ කර තිබෙනවා.

    "අපට වෙලාවේ නේටෝව එතන හිටියේ නැහැ, ඔවුන් අපට නැවත අවශ්‍ය වෙද්දී ඔවුන් ඉන්න එකක් නැහැ. මතක තියාගන්න ග්‍රීන්ලන්තය, විශාල, දුර්වල ලෙස පාලනය වෙන, ඒ අයිස් කැබැල්ල මතක තියාගන්න!!!"

    එම ප්‍රකාශයෙන් ඩෙන්මාර්කය විසින් පාලනය කරනු ලබන භුමි ප්‍රදේශය ඇමෙරිකා එක්සත් ජනපදයට ඈඳා ගැනීම ගැන ජනාධිපති ට්‍රම්ප් තමන් කලින් සිදුකළ ප්‍රකාශය ගැන නැවත මතක් කිරීමක් කර ඇති අයුරු පෙනෙන්න තිබුණා.

    කෙසේ වෙතත්, ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ඈඳා ගැනීම නේටෝ සාමාජික ඇමෙරිකානු හිතවාදී රටවල් රැසක් විරුද්ධ වූ තීරණයක්.

    මෙම හමුවීම "අවංක" එකක් බවත්, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු ලෝකය "නියත වශයෙන් ම" ආරක්ෂිත බවට තමන් විශ්වාස කරන බව රූට මීට පෙර CNN වෙත පවසා තිබුණා.

  5. ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම්වලින් 182 දෙනෙක් මරුට

    ඊශ්‍රායලය ලෙබනනය වෙත ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර ඉන් අවම වශයෙන් පුද්ගලයින් 182 දෙනෙකු මියගොස් තිබෙනවා. දෙරට අතර මෙලෙස ප්‍රහාර සිදු වන්නේ සති දෙකක කොන්දේසි සහිත සටන් විරාමය දැඩි අවදානමට ලක් කරමිනි.

    හිස්බුල්ලා සංවිධානය පවසන්නේ ඊට ප්‍රතිචාර වශයෙන් තමන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කළ බවයි.

  6. ගල්ෆ් කලාපයේ නෞකාවලට දැනුම් දීමක්: 'හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇත'

    ජෝෂුවා චීතම් විසිනි

    ගල්ෆ් කලාපයේ නෞකාවලට පහත පණිවිඩය ලැබී ඇති බව SSY නැමති නෞකා තැරැව්කාර සමාගම BBC Verify වෙත තහවුරු කර ඇත

    "සියලුම යාත්‍රා මේ කෙරෙහි අවධානය යොමු කරන්න. සියලුම යාත්‍රා මේ කෙරෙහි අවධානය යොමු කරන්න. පර්සියානු ගල්ෆ් සහ ඕමාන් මුහුදේ සියලුම යාත්‍රා මේ කෙරෙහි අවධානය යොමු කරන්න. මෙය IRGC නාවික හමුදා මූලස්ථානයයි. හෝමූස් සමුද්‍ර සන්ධිය තවදුරටත් වසා දමා ඇති අතර සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට පෙර IRGC වෙතින් අවසර ලබා ගත යුතුය. මේ හරහා යාත්‍රා කිරීමට උත්සාහ කරන ඕනෑම යාත්‍රාවක් ඉලක්ක කර විනාශ කරනු ලැබේ." යනුවෙන් අදාළ පණිවිඩය විකාශය කර තිබේ.

    SSY හි පර්යේෂණ ප්‍රධානී ක්ලෙයාර් ග්‍රියර්සන් BBC Verify වෙත පැවසුවේ ජාත්‍යන්තර සමුද්‍රීය අනතුරු ඇඟවීම් සඳහා භාවිතා කරන ගුවන් විදුලි නාලිකාවක් ඔස්සේ විකාශය කළ මෙම පණිවිඩය නෞකා කාර්ය මණ්ඩලයවලට ශ්‍රවනය වී ඇති බවට සාමාගම දැනුවත් වී ඇති බවයි.

  7. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් යාත්‍රා කිරීම නවතා දමා ඇති බව ඉරාන මාධ්‍ය පවසයි

    හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නෞකා යාත්‍රා කිරීම නවතා දමා ඇති බව ඉරාන මාධ්‍ය පවසනවා.

    ඊශ්‍රායලය තම ගොඩබිම් මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු ලෙබනනයට "දැවැන්තම ප්‍රහාර" එල්ල කරන බැවින්, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නෞකා යාත්‍රා කිරීම නතර කර ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා.

    සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව්වලට යාත්‍රා කිරීමට ඉඩ දීම ඉරානය සහ එක්සත් ජනපදය අතර සටන් විරාමයේ ප්‍රධාන කොන්දේසියක්.

    නමුත් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සියක් වන ෆාර්ස් වාර්තා කර ඇත්තේ අද උදෑසන ඉරානයේ අවසරය ඇතිව තෙල් නෞකා දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට හැකි වූ නමුත් දැන් තෙල් නෞකා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම නවතා දමා ඇති බවයි.

    ඉස්ලාමීය ජනරජ ප්‍රවෘත්ති ඒජන්සිය ද නෞකා ගමනාගමනය නතර කර ඇති බව වාර්තා කරන අතර, ප්‍රවෘත්ති එජන්සි දෙකම ලෙබනනයට ඊශ්‍රායලය අඛණ්ඩව එල්ල කරන ප්‍රහාර ගැන සඳහන් කර තිබෙනවා.

  8. සටන් විරාම උල්ලංඝනය කිරීම් 'සාම ක්‍රියාවලියට හානි කරයි': පකිස්ථාන අගමැති

    "ගැටුම් කලාපය පුරා ස්ථාන කිහිපයක" සටන් විරාම උල්ලංඝනයන් වාර්තා වී ඇති බව ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සාකච්ඡා සඳහා මැදිහත්ව සිටින පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසනවා.

    "ගැටුම් කලාපය පුරා ස්ථාන කිහිපයකින් සාම ක්‍රියාවලියට හානි කරන සටන් විරාම උල්ලංඝනයන් වාර්තා වී ඇත.” X හි සටහනක් තබමින් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

    "ගැටුම සාමකාමීව විසඳා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ හැකි වන පරිදි, එකඟ වූ පරිදි සති දෙකක කාලයක් සටන් විරාමයට ගරු කරන ලෙසත්, සංයමයෙන් කටයුතු කරන ලෙසත් මම සියලු පාර්ශ්වයන්ගෙන් ඉතා අවංකව ඉල්ලා සිටිමි." යනුවෙන් එහි වැඩිදුරත් දැක්වෙනවා.

  9. ට්‍රම්ප් අනුකම්පාව තෝරා ගත් බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් කියයි

    "අධික පීඩනය" යටතේ ඉරානය සටන් විරාමය පිළිගත් බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.

    ඉරානය වොෂින්ටනයේ කොන්දේසි ප්‍රතික්ෂේප කළේ නම්, "ඊළඟ ඉලක්ක වන්නේ ඔවුන්ගේ බලාගාර, පාලම් සහ තෙල් හා බලශක්ති යටිතල පහසුකම් " බව ඔහු කියා සිටියා.

    එමගින් ඉරානය නැවත ගොඩ නැගීමට දශක ගණනාවක් ගතවන්නට තිබූ බව ඔහු යෝජනා කළා, නමුත් ඉරාන පාලන තන්ත්‍රයේ නායකයා එකඟතාවක් ඇති කර ගැනීම වඩා හොඳ යැයි හඳුනාගත් බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා.

    "ජනාධිපති ට්‍රම්ප්ට ඉරානයේ මුළු ආර්ථිකයම මිනිත්තු කිහිපයකින් අඩපණ කිරීමට බලය තිබුණා, නමුත් ඔහු අනුකම්පාව තෝරා ගත්තා," ආරක්ෂක ලේකම් තවදුරටත් කියා සිටියා.

  10. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය ආරම්භ වී ඇති බවට වාර්තා

    ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කර තැබීමෙන් පසු, යළි නෞකා ගමනා ගමනය ආරම්භ වී ඇති බවට මුලික සළකුණු දක්නට ලැබෙන බව නාවික ගමනාගමනය පිළිබඳ තොරතුරු සපයන සමාගමක් වන මැරීන් ට්‍රැෆික් (Marine Traffic) අද උදෑසන අනාවරණය කර සිටියා.

    අදාළ ආයතනය අනාවරණය කළේ, නැව් දෙකක් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කර ඇති බවයි - එක් නෞවක් ග්‍රීසියට අයත් වන අතර අනෙක ලයිබීරියාවේ ලියාපදිංචි කර තිබෙනවා.

    බීබීසී මෙම වාර්තා සත්‍යාපනය කර නැහැ.

    මෙම සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම පසුගිය සති කිහිපය තුළ මතභේදයට තුඩු දී ඇති අතර, මෙම නෞකා ගමනා ගමන මාර්ගය පිළිබඳ දීර්ඝ කාලීන සැලැස්ම අපැහැදිලිය.

    දැනට ප්‍රකාශයට පත් කරන ලද තාවකාලික සටන් විරාමය යටතේ ඉරානය මෙම සමුද්‍ර සන්ධිය නැවත විවෘත කළ යුතු වනවා.

    පකිස්ථානය, ඉන්දියාව සහ පිලිපීනය ඇතුළුව ගෝලීය නැව් මාර්ගය භාවිතා කිරීම සඳහා සමහර රටවල් මීට පෙර ඉරානය සමඟ ගිවිසුම්වලට එළඹ තිබුණි.

    සමුද්‍ර සන්ධියට ආසන්න ස්ථානවල පමණක් නොව ගල්ෆ් කලාපයේ සෙසු ප්‍රදේශවලදී ද අනෙක් රටවල නෞකා ප්‍රහාරවලට ලක් විය.

  11. ඉරානයට අවි සපයන රටවලට තීරුබදුවලට මුහුණ දෙනවා - ට්‍රම්ප්

    ඉරානයට අවි සපයන රටවලට තීරුබදුවලට මුහුණ දීමට සිදුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

    ටෲත් සෝෂල් වෙත සටහනක් තබමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

    "ඉරානයට හමුදා අවි ආයුධ සපයන රටක්, ඇමෙරිකා එක්සත් ජනපදයට විකුණන ඕනෑම සහ සියලුම භාණ්ඩ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි 50% ක තීරු බදු අය කෙරේ. කිසිදු බැහැර කිරීමක් හෝ නිදහස් කිරීමක් නොමැත!" ට්‍රම්ප් අවධාරණය කළේය.

  12. ඇමෙරිකාව සහ ඉරානය අතර සටන්විරාමය ඇති කිරීමට මැදිහත්වූ 'පකිස්ථානයේ බලවත් ම පුද්ගලයා' ලෙස සැලකෙන ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් යනු කවුද?

    පකිස්ථානයේ මැදිහත්වීම යටතේ ඇමෙරිකාව සහ ඉරානය අතර සති දෙකක සටන් විරාමය තහවුරු කිරීමත් සමග පකිස්ථාන අග්‍රාමාත්‍යවරයගේ සහ පකිස්ථාන සන්නද්ධ හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් ​​මුනීර්ගේ කාර්යභාරය ගැන කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

    ජනාධිපති ට්‍රම්ප් විසින් පකිස්ථාන සන්නද්ධ හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් ​​මුනීර් ඔහුගේ "ප්‍රියතම" ෆීල්ඩ් මාර්ෂල් ලෙස හැඳින්වූ අතර "බොහෝ දෙනෙකුට වඩා හොඳින්" ඔහු ඉරානය ගැන දන්නා බව සඳහන් කළා.

    ඉරානය සහ ඇමෙරිකාව අතර එකඟතාවක් ඇති කර ගැනීම ස්ථිරව ම දූරස්ථ දෙයක් ලෙස පැවතිණි.

    ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සහ ඉරානය සෞදි අරාබියට පහර දීමට පෙර අඟහරුවාදා රාත්‍රියේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් මෙසේ කියා සිටියේ ; "ඊයේ වන තුරු දේවල් ධනාත්මක දිශාවකට ගමන් කරන බවට අපි ඉතා ශුභවාදීව සිටියා," පකිස්ථානය "තවමත් හැකිතාක් දේවල් කළමනාකරණය කිරීමට උත්සහ කරමින් ඉන්නවා." යනුවෙනි.

    ෆීල්ඩ් මාෂල් මුනීර් ඊටත් වඩා ප්‍රසිද්ධියේ විවේචනාත්මක අදහස් පළ කළේය. අඟහරුවාදා හමුදා නිලධාරීන් අමතමින් ඔහු පැවසුවේ සෞදි අරාබියට එල්ල වූ ප්‍රහාරය "සාමකාමී මාර්ගවලින් ගැටුම විසඳීමේ අවංක උත්සහයන් නරක අතට පත් කරන," බවයි.

    ගැටුම ආරම්භ වූ දා සිට පකිස්ථානය ඉරානයට එරෙහිව භාවිත කළ ප්‍රබල ම භාෂා ස්වරූපය මෙයයි.

    මෙය ඉරානය මත පීඩනය වැඩි කළ හැකි බව ඇතැම් විශ්ලේෂකයින් යෝජනා කළා.

  13. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත්වීමට කාලයක් ගතවනු ඇත - විශ්ලේෂකයෙක්

    ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන ලද සති දෙකක සටන් විරාමයට අනුව ඉරානයට හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සිදුවනවා.

    නමුත් ඩෙන්මාර්ක සැපයුම් දැවැන්තයෙකු වන Maersk හි කලින් සේවය කළ නාවික විශ්ලේෂක ලාර්ස් ජෙන්සන්, බීබීසී රේඩියෝ 4 හි ටුඩේ වැඩසටහනට එක්වෙමින් කියා සිටියේ සමුද්‍ර සන්ධියේ "තවමත් කිසිවක් සැබවින්ම වෙනස් වී නැති" බවයි - විශ්වාසය ගොඩනැගීමට "කාලය ගතවනු ඇත" යනුවෙන් ඔහු කියා සිටියා.

    ඉදිරි දින කිහිපය තුළ ගල්ෆ් කලාපයෙන් පිටවන බොහෝ යාත්‍රා දැකීමට තමන් අපේක්ෂා කරන නමුත් සටන් විරාමය බිඳ වැටුණහොත් නැව් කොටු වීමේ හැකියාව නිසා නෞකා සීමිත ප්‍රමාණයක් පමණක් සමුද්‍ර සන්ධියට ඇතුළු වනු ඇතැයි, ඔහු සඳහන් කළා.

  14. බහරේනයට එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල

    ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු බහරේනයේ පුද්ගලයින් දෙදෙනෙකුට "සුළු තුවාල" සිදුවී ඇති බව බහරේන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනවා.

    ඩ්‍රෝන යානයෙන් පතිත වූ කැබලි හේතුවෙන් සිට්‍රා ප්‍රදේශයේ "නිවාස ගණනාවකට" හානි සිදුව ඇති බව බහරේන් බලධාරීන් සඳහන් කළා.

    ඇමෙරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර සති දෙකක සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමට පෙර මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර තිබේද යන්න පිළිබඳ බහරේන් රජය තහවුරු කර නැහැ.

  15. ඇමෙරිකාව සහ ඉරානය අතර බිඳෙනසුලු සටන් විරාමය තහවුරු කර ගැනීමට පකිස්ථානය උදව් කළ අයුරු

    ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සති දෙකක සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමට පැය කිහිපයකට පෙර, පකිස්ථානයෙන් බලාපොරොත්තුවේ කුඩා සලකුණු කිහිපයක් දක්නට ලැබුණා.

    නිර්නාමිකව අදහස් දක්වමින් පකිස්ථාන මූලාශ්‍රයක් බීබීසීයට පැවසුවේ, සාකච්ඡා "කඩිනමින්" සිදු වූ බවත්, ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර අතරමැදියෙකු ලෙස පකිස්ථානය ක්‍රියා කළ වූ බවත් ය.

    පකිස්ථාන පාර්ශවයෙන් සාකච්ඡා මෙහෙයවූවන් "ඉතා කුඩා කවයකින්" සමන්විත වූ අතර මනෝභාවය "අඳුරු සහ බැරෑරුම් නමුත් තවමත් සතුරුකම් නැවැත්වීමේ ප්‍රතිඵලයක් වනු ඇතැයි බලාපොරොත්තු වුණා. ඉතිරි වෙලා තිබ්බේ පැය කිහිපයක් විතරයි," යනුවෙන් මූලාශ්‍රය පැවසීය. නමුත් තමන් එම කුඩා කවයේ කොටසක් නොවූ බව එම මූලාශ්‍රය පැවසුවා.

    පසුගිය සති කිහිපය තුළ පකිස්ථානය, දෙපාර්ශවය අතර පණිවිඩ හුවමාරු කරමින් ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර අතරමැදියෙකු ලෙස කටයුතු කළා.

    පකිස්ථානයට ඉරානය සමග ඓතිහාසික සම්බන්ධතාවක් ඇති අතර, දෙරට ම බෙදාගනු ලබන දේශසීමාවක් ඇති අතර, පකිස්ථානය නිතිපතා ඉරානය සමග ඇති තම "සහෝදර" සම්බන්ධතාව ගැන සඳහන් කරනවා.

    ඇමෙරිකානු සම්බන්ධතාව සම්බන්ධයෙන් ගත් කළ, ජනාධිපති ට්‍රම්ප් පකිස්ථාන සන්නද්ධ හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් ​​මුනීර් ඔහුගේ "ප්‍රියතම" ෆීල්ඩ් මාර්ෂල් ලෙස හැඳින්වූ අතර "බොහෝ දෙනෙකුට වඩා හොඳින්" ඔහු ඉරානය ගැන දන්නා බව සඳහන් කළා.

    එකඟතාවක් ඇති කර ගැනීම ස්ථිරව ම දූරස්ථ දෙයක් ලෙස පැවතුණා. සඳුදා ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සහ ඉරානය සෞදි අරාබියට පහර දීමට පෙර අඟහරුවාදා රාත්‍රියේ පාර්ලිමේන්තුවේදී කතා කරමින් පකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් මෙසේ කියා සිටියා; "ඊයේ වන තුරු දේවල් ධනාත්මක දිශාවකට ගමන් කරන බවට අපි ඉතා ශුභවාදීව සිටියා," පකිස්ථානය "තවමත් හැකිතාක් දේවල් කළමනාකරණය කිරීමට උත්සහ කරමින් ඉන්නවා."

    ෆීල්ඩ් මාෂල් මුනීර් ඊටත් වඩා ප්‍රසිද්ධියේ විවේචනාත්මක අදහස් පළ කළා. අඟහරුවාදා හමුදා නිලධාරීන් අමතමින් ඔහු පැවසුවේ සෞදි අරාබියට එල්ල වූ ප්‍රහාරය "සාමකාමී මාර්ගවලින් ගැටුම විසඳීමේ අවංක උත්සහයන් නරක අතට පත් කරන," බවයි.

    ගැටුම ආරම්භ වූ දා සිට පකිස්ථානය ඉරානයට එරෙහිව භාවිත කළ ප්‍රබල ම භාෂා ස්වරූපය මෙයයි.

    සමහර විශ්ලේෂකයින් යෝජනා කළේ, මෙය ඉරානය මත පීඩනය වැඩි කළ හැකි බවයි. පකිස්ථානය සෞදි අරාබිය සමග ආරක්ෂක ගිවිසුමක් ඇති කර ගෙන ඇති අතර, සෞදි අරාබියට නැවත නැවතත් ප්‍රහාර එල්ල කළ ද, එය දැනට ක්‍රියාත්මක කර නැහැ.

    මධ්‍යම රාත්‍රියෙන් පසු, පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා Xහි පළ කළේ, "රාජ්‍ය තාන්ත්‍රික උත්සහයන්... නුදුරු අනාගතයේදී සැලකිය යුතු ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව ඇති ස්ථාවරව, ශක්තිමත්ව සහ බලගතු ලෙස ඉදිරියට යමින් පවතින" බවයි, ඔහු ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ සති දෙකකට ප්‍රකාශිත අවසන් කාලසීමාව දීර්ඝ කරන ලෙසත්, එම කාලය සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන ලෙසත් ය.

    පකිස්ථානයේ ඉරාන තානාපති රේසා අමිරි මොගදම්, දේශීය වේලාවෙන් අලුයම 03:00ට පමණ Xහි පළ කළේ "තීරණාත්මක, සංවේදී අවධියකින් පියවරක් ඉදිරියට ගොස් ඇති" බවයි.

    සටන් විරාමයකට දෙපාර්ශවය එකඟ වූ බව උදෑසන 05:00ට පෙර පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළ අතර, "තීරණාත්මක ගිවිසුමක් සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට" අප්‍රේල් 10 වන දා සිකුරාදා ඉස්ලාමාබාද්හිදී හමුවීමට දෙපාර්ශ්වයට ම ආරාධනා කළා.

    "අපි තවමත් ඉතා සුපරීක්ෂාකාරීව ඉන්නවා," පකිස්ථාන මූලාශ්‍රය බීබීසීයට පැවසුවේ, තත්ත්වයට "අඛණ්ඩ බිඳෙනසුලු බවක්" ඇති බවයි. ඔවුන් තවමත් එකිනෙකා විශ්වාස නොකරන අතර ඔවුන්ගේ ස්ථාවරය වෙනස් නොකරනු ඇත.

  16. සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඉරාන වැසියෝ ටෙහෙරානයට රැස්වෙති

    සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඉරාන ජනතාව ඉරානයේ අගනුවරට රැස්වූයේ ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ ධජ සහ ඡායාරූප රැගෙනය.

    සටන් විරාමයට ඉරානයේ මිශ්‍ර ප්‍රතිචාරයක් ලැබී ඇති බව බීබීසී පර්සියානු වොෂින්ටන් වාර්තාකරු කෂයාර් ජොනෙයිඩි සඳහන් කළා.

    "බලාගාරවලට පහර නොදෙන බව දැනගත් විට දැන් ඔවුන්ට සහනයක් දැනේ නමුත් පාලන තන්ත්‍රයට විරුද්ධ අයට නැවත ඔවුන්ට මුහුණ දීමට සිදු වන නිසා වඩාත් කෝපයට පත්ව සිටිනවා."

  17. ඉරාන යුද්ධයේදී හෝමූස් සමුද්‍ර සන්ධිය මෙතරම් වැදගත් වන්නේ ඇයි?

    හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා "ආරක්ෂිත ගමන් මාර්ගයක්" සහතික කෙරේ යන කොන්දේසිය මත ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.

    පෙබරවාරි 28 වන දින එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට පහර දුන් දා සිට, ටෙහෙරානය ලොව කාර්යබහුලම ඉන්ධන නැව්ගත කිරීමේ හෝමුස් සමුද්‍රසන්ධිය අවහිර කර තිබුණි.

    ලෝකයේ තෙල් සහ ද්‍රව ස්වාභාවික වායු (LNG) නිෂ්පාදන වලින් 20% ක් පමණ සාමාන්‍යයෙන් මෙම සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරන අතර එදිරිවාදිකම් හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල ඉහළ ගියා.

    සටන් විරාමය නිවේදනය කිරීමෙන් ටික වේලාවකට පසු තෙල් මිල 15% කින් පමණ පහත වැටී තිබෙනවා.

  18. ට්‍රම්ප්ගේ සටන් විරාම නිවේදනයෙන් පසු තෙල් මිල පහත වැටේ

    ජනාධිපති ට්‍රම්ප්ගේ සටන් විරාම නිවේදනයෙන් පසු තෙල් මිල තියුණු ලෙස පහත වැටී තිබෙනවා.

    ඒ අනුව, දැන් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100ට වඩා අඩු මිලකට අලෙවි වනවා.

    හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් "ස්ථිර සහතිකයක්" ලැබෙන තුරු වෙළෙඳුන් මේ මොහොත දෙස "දැඩි අවධානයකින් යුක්තව" බලා සිටි බව පර්යේෂණ ආයතනයක් වන රයිස්ටැඩ් එනර්ජිහි යෙ ලින් බීබීසීයට පැවසුවා.

    ගල්ෆ් නැව්ගත කිරීමේ අවදානම් හේතුවෙන් මෑත කාලීන තෙල් මිල ඉහළ යාමෙන් වැඩි කොටසක් නිවේදනයෙන් පසු "ක්ෂණිකව පාහේ බිඳ වැටුණු" බව ඇය ප්‍රකාශ කළා.

    ගල්ෆ් කලාපයේ නැව්ගත කිරීම්වලට ඇති විය හැකි බාධා පිළිබඳ කණස්සල්ල නිසා ඇති වූ තෙල් මිලෙහි මෑත කාලීන වැඩිවීම, නිවේදනයෙන් පසු ඉතා තියුණු ලෙස හා ඉක්මනින් පහත වැටුණු බව ඇය සඳහන් කළා.

    "පළමු නව ආරක්ෂිතව සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර තිබේ ද යන්න පිළිබඳව ඉදිරි පැය 48 තුළ පළවන සෑම සිරස්තලයක් ම මිල ගණන් වෙනස් කරනු ඇත," යේ තවදුරටත් පැවසුවා.

    නමුත් රියැදුරන්ට එම සහනය දැනීමට කාලයක් ගතවනු ඇත. සෑම රටක් ම දිනපතා පෙට්‍රල් මිල සංශෝධනය නොකරන බව යේ සඳහන් කළ අතර, එබැවින් තෙල් මිල කෙතරම් ඉක්මනින් පහත වැටේ ද යන්න බොහෝ දුරට රඳා පවතින්නේ නැව්ගත කිරීම නැවත ආරම්භ වී ගල්ෆ් තෙල් සැපයුම කොපමණ ප්‍රමාණයකින් සිදුවේ ද යන්න මත බව ඇය පැවසුවා.

  19. සටන් විරාමය ගැන ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්

    ඩැනියෙල් ඩි සිමෝන්

    ජෙරුසලමේ සිට වාර්තා කරයි

    ඉරානය සමග සටන් විරාමය පිළිබඳව ඊශ්‍රායලය නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

    එම සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වෙනවා:

    ඉරානය වහා ම හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කර ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ කලාපයේ රටවලට එල්ල කරන සියලු ම ප්‍රහාර නතර කිරීමට යටත්ව, ඉරානයට එරෙහි ප්‍රහාර සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති ට්‍රම්ප් ගත් තීරණයට ඊශ්‍රායලය සහය දක්වනවා.

    එමෙන් ම ඉරානය තවදුරටත් ඇමෙරිකාවට, ඊශ්‍රායලයට, ඉරානයේ අරාබි අසල්වැසියන්ට සහ ලෝකයට න්‍යෂ්ටික, මිසයිල සහ ත්‍රස්ත තර්ජනයක් නොවන බව සහතික කිරීම සඳහා එක්සත් ජනපදය දරන උත්සහයට ඊශ්‍රායලය ද සහය දක්වනවා.

    ඉදිරි සාකච්ඡාවලදී ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඊශ්‍රායලයේ කලාපීය මිත්‍ර රටවල් විසින් මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමට කැපවී සිටින බව එක්සත් ජනපදය ඊශ්‍රායලයට පවසා තිබෙනවා.

    මෙම සති දෙකක සටන් විරාමයට ලෙබනනය ඇතුළත් වෙන්නේ නැහැ.

    මීට පෙර, පකිස්ථානය සහ ඉරානය පැවසුවේ සටන් විරාමයට ලෙබනනය ඇතුළත් වූ බවයි.

  20. ධවල මන්දිරය ජයග්‍රහණය ප්‍රකාශ කරයි

    ඉරානය සමග සටන් විරාම නිවේදනයෙන් පසුව ධවල මන්දිරය ජයග්‍රහණය ප්‍රකාශ කර තිබුණා.

    "ජනාධිපති ට්‍රම්ප් සහ අපගේ ඇදහිය නොහැකි හමුදාවේ ක්‍රියාමාර්ග තුළින් එක්සත් ජනපදය මෙම ජයග්‍රහණය" අත්කර ගත් බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් සමාජ මාධ්‍ය සටහනක සඳහන් කරමින් "හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කළ" බව ප්‍රකාශ කළා.