ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුරේෂ් සලේ පෙත්සම: කාදිනල් හිමි ඇතුළු අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණයේදී දැක්වූ කරුණු
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් පසුගිය කාලයේ විධිමත් විමර්ශනයක් සිදු නොවූ බවත්, එම සිද්ධියෙන් මියගිය සහ තුවාල ලැබූ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම සඳහා අදාළ විමර්ශන අඛණ්ඩව ඉදිරියට ගලා යා යුතු බවත් කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා අද (අගෝ: 06) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමට අදාළව ඉදිරිපත් කර තිබෙන අතරමැදි පෙත්සම් අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මේ බව සඳහන් කළේ ය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලිණි.
කාදිනල් හිමි මැදිහත්වීමට හේතු කියයි
එහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.
"පාස්කු ප්‍රහාරය හේතුවෙන් විශාල පිරිසක් මරණයට පත් වුණා. තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. ඇතැම් අය විමසනවා, කාදිනල්තුමා අධිකරණයට ආවේ ඇයි කියලා. උන් වහන්සේ අධිකරණයට ආවේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයින් වෙනුවෙන්. චැනල් ෆෝ නාලිකාව විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළා. එම නාලිකාව ප්‍රකාශ කර තිබුණා, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සුරේෂ් සලේ බවට. මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු විය යුතු යි. පසුගිය කාලයේ විධිමත් විමර්ශනයක් සිදු වුණේ නැහැ. වර්තමානයේ තමයි විධිමත් විමර්ශනයක් සිදු වෙන්නේ. එය තමා වින්දිතයින් අපේක්ෂා කරන්නේ. ඊට බාධා සිදු වන ආකාරයේ ක්‍රියා සිදු නොවිය යුතු යි. එම නිස යි කාදිනල්තුමා අධිකරණය හමුවට පැමිණියේ. පාස්කු ප්‍රහාරය එල්ල වූ පසු ජාතීන් අතර පවතින සංහිඳියාව බිඳී ගොස් විශාල නොසන්සුන් තත්ත්වයක් උද්ගත වුණා. එම තත්ත්වය සමනය කිරීමට කාදිනල්තුමන් විශාල මෙහෙවරක් ඉටුකළා. වින්දිතයින් නගා සිටුවීම සඳහා උන්වහන්සේ විශාල මෙහෙවරක් ඉටු කළා. මෙම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් රුපියල් මිලියන 02ක් සහ තුවාල ලැබූවන් වෙනුවෙන් රුපියල් මිලියනයක් දක්වා වන්දි ලබාදීමට උන් වහන්සේ මැදිහත් වුණා. ප්‍රචණ්ඩත්වය යටපත් කර සංහිඳියාව ගොඩනැංවීම වෙනුවෙන් උන් වහන්සේ දැවැන්ත ප්‍රයත්නයක් දැරුවා. මෙම විමර්ශන සදහා කාදිනල් හිමි කිසිදු ආකාරයකින් බලපෑම් සිදු කර නෑ. එම නිසා වින්දතයින්ට යුක්තිය ඉටු කිරීම සඳහා විමර්ශන අඛණ්ඩව ඉදිරියට ගමන් කළ යුතු යි."
සුරේෂ් සලේ වෙනුවෙන් කරුණු දැක්වීම
මෙම අතරමැදි පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.
"ස්වාමීනි... පසුගිය නඩු දිනයේ අතරමැදි පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සභානායක හා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් කෙරෙහි ඔබ තුමන්ලාගේ අවධානය යොමු කළා. එහිදී සභානායකවරයා සඳහන් කර තිබුණා, ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න මෙම කටයුතුවලට පත් කළේ කතෝලික ප්‍රජාවගේ නායකයා වන කාදිනල් හිමිගේ ඉල්ලීමකට අනුව බවට. ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නට එරෙහිව අපරාධ නීතිය යටතේ අධිචෝදනා ගොනු කරන ලෙස ජයකී ද අල්විස් කමිටුව නිර්දේශ කර තිබෙනවා. එම වාර්තාව මා අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ වගේ ම කාදිනල්තුමා සිය අතරමැදි පෙත්සම තුළින් වැරදි කරුණක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. උන්වහන්සේ සිය අතරමැදි පෙත්සමේ 18.1 ඡේදයේ සඳහන් කර තිබෙනවා, පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී පෙත්සම්කාර සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ බවට. මෙය නිවැරදි කරුණක් නොවේ. දිවුරුම් පිට තමයි උන්වහන්සේ මේ ප්‍රකාශය සිදුකර තිබෙන්නේ."
සෙසු අතරමැදි පෙත්සම්
ඉන් අනතුරුව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
"සභානායකතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා, ශානි අබේසේකර මෙම විමර්ශනය සඳහා පත් කළේ කාදිනල්තුමාගේ ඉල්ලීමකට අනුව බවට. මේ ශානි අබේසේකර ප්‍රංශයට ගොස් වරෙන්තු ලබා සිටින පුද්ගලයෙකු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. පොලිස් නිලධාරියෙකුට මේ ආකාරයෙන් කටයුතු කරන්න පුළුවන් ද ස්වාමීනි...? පොලිස් නිලධාරියෙකු වරෙන්තුකරුවෙකු දුටු විට ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු යි. නමුත් මොහු එසේ කටයුතු කර නෑ. ආරක්ෂක අංශ නිලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම ජනතා පරමාධිපත්‍යයට පටහැනි ක්‍රියාවක්. මෙම තත්ත්වයට එරෙහිව යි මගේ සේවාදායක ස්වාමීන් වහන්සේලා අධිකරණයට පැමිණියේ. බුද්ධි අංශ නිලධාරීන් ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. එවැනි නිලධාරීන් මේ ආකාරයෙන් අත්අඩංගුවට ගෙන වධ හිංසාවලට භාජනය කිරීමට අනුමත කරන්න බැහැ."
ඉන් අනතුරුව පූජ්‍ය දාපනේ සුමනවංශ හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වී.කේ. චොක්සි අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.
"ස්වාමීනි... මගේ සේවාදායකයා මේ නඩුකරයට මැදිහත් වීමට තීරණය කළේ, පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අඩාළ කිරීමේ අරමුණින් නොවෙයි. හෙට මගේ සේවාදායක හිමියනුත් මේ ආකාරයට අත්අඩංගුවට පත්වීමට හැකියාව තිබෙනවා. මේක මහජන ශුභසාධන නඩුකරයක්. ඒ නිස යි මගේ සේවාදායක හිමියන් මේ නඩුකරයට මැදිහත් වීමට තීරණය කළේ."
ග්ලෝබල් ශ්‍රී ලංකා ෆෝර්ම් නමැති සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "අපගේ ව්‍යවස්ථාවේ 3 සහ 4 වන ව්‍යවස්ථාවල ජනතා පරමාධිපත්‍යය තහවුරු කර තිබෙනවා. ඒ යටතේ තමයි මගේ සේවාදායකයින් මේ අධිකරණයට පැමිණ සිටින්නේ. මේ ප්‍රහාර ගැන සාධාරණ විමර්ශන සිදුවිය යුතු යි. නමුත් දේශපාලන මැදිහත්වීම් සහිත විමර්ශනයකින් යුක්තිය අපේක්ෂා කරන්න බෑ," යනුවෙන් පැවසීය.
අනතුරුව වැඩිදුර අතරමැදි පෙත්සම් සලකා බැලීම මේ මස 10 වන දා දක්වා කල් තැබිණි.