"ඉතා ඉක්මනින් රස පරීක්ෂක වාර්තා ලබා දී නීති සංශෝධනය කර ඇප ලබා ගැනීමේ හැකියාව ලබා දෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, එම අමාත්‍යංශයේදී සිකුරාදා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
"බන්ධනාගාරවල සිටින රැඳවියන්ගේ ඥාතීන්ට ආදරණීයන්ට සහ මිත්‍රයන්ට යම් පණිවිඩයක් ලබා දීමේ අවශ්‍යතාවය තිබෙනවා.
"මූලිකව ම දැනට වසරක් තිස්සේ බන්ධනාගාරවල තිබෙන තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේදී රැඳවියන්ගේ මූලික චෝදනාවක් වූයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම නිසා ඇප ලබා ගැනීමට නොහැකිව ඇති බවයි.
"මෙම තත්ත්වය අපි පසුගිය වසරේ හඳුනා ගෙන අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළා.
"රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තුළ පුරප්පාඩු 118ක් තිබුණා. ඒ නිසා කාර්යක්ෂම ලෙස රස පරීක්ෂක වාර්තා පැමිණියේ නැහැ. රස පරීක්ෂක වාර්තා පැමිණෙන තෙක් වසරක් පමණ රිමාන්ඩ් බන්ධනාගාරයේගත කරන්න සිදු වුණා.
"මේ වන විට රස පරීක්ෂක වාර්තා ලබා දීමට අවශ්‍ය කාර්ය මණ්ඩලය හැතතෑවක් පමණ බඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.
"මේ මාසය වන විට නව යන්ත්‍ර ගෙන එනවා. ඒ නිසා රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ වන විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මසකට වාර්තා හත් දහස් පන්සීයත් නවදහසක් අතර ගණනක් නිකුත් කරන්න ඉදිරියේදී පියවර ගන්නවා.
"මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ප්‍රමාණය ග්‍රෑම් දහයකට වැඩි නිසා අභියාචනාධිකරණයට ඇප ලබා ගැනීමට යොමුවීමෙන් ඇප ලබා ගැනීමට ප්‍රමාද වන බව රැඳවියන්ගේ ඥාතීන් සඳහන් කළා.
"මේ නීතිය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ අනුව යම් මත්ද්‍රව්‍ය වැරදිවලට මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමේ හැකියාව නැවත ඇති කරනවා.
"මේ මොහොත වන විට යම් කූඨ අරමුණු ඇති පුද්ගලයින් බන්ධනාගාරවල සිටින අය මෙහෙයවලා කලබල ඇතිකිරීම් තත්වයන් ඇති කරනවා. ඔබගේ ගැටලු විසඳනවා. ඉවසීමෙන් කටයුතු කරන්න. පහසුකම් ප්‍රමාණවත් නොමැති නිසා බන්ධනාගාරවල අධික තදබදයක් තිබෙනවා. අපි ඒ පහසුකම් ලබාදීමට මෙන් ම බන්ධනාගාර තදබදය අඩු කරන්න අවශ්‍ය පියවර ගන්නවා.
"කිහිප දෙනෙකුගේ කූඨ අරමුණු අනුව අපි සම්පත් ලබා දුන්නත් ඒවා ගිනි තියනවා නම් බාධා එන්නේ බන්ධනාගාරගතව සිටින රැඳවියන් වන ඔබටයි.
"රජය විසින් දැන් රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමටත් පහසුකම් වැඩි කිරීමටත් පියවර ගෙන ඇති බැවින් රජයට සහය වෙන්න. බන්ධනාගාර තුළ කළහකාරී ලෙසින් හැසිරි තමන්ගේ සම්පත් විනාශ කර ගන්න එපා. සුළු දෙනෙකුගේ අවශ්‍යතාව වෙනුවෙන් ඔබව මෙහෙයවන එක නවත්වන්න.
"ඉතා ඉක්මනින් රස පරීක්ෂක වාර්තා ලබා දී නීති සංශෝධනය කර දී ඇප ලබා ගැනීමේ හැකියාව ලබා දෙනවා."