දමිතා අබේරත්න : ආගමන හා විගමන පනත යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැකි බව අධිකරණය තීරණය කරයි

ඡායාරූප මූලාශ්‍රය, Damitha Abeyrathne | Facebook
විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජනප්‍රිය නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 24 වැනිදා) නියෝග කළේය.
මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පිළිබඳ වැඩිදුර විස්තර ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
ආගමන හා විගමන පනත යටතේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන අතර සැකකාර දමිතා අබේරත්නගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය නියෝග කළේ මෙම සැකකරුවන්ට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව ය.
ඒ අනුව සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඇප තැබීමෙන් පසුව සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවටත් නියෝගයක් නිකුත් කළේය.
ඊට අමතරව විදේශ ගමන් තහනමක් ද පැනවුණු අතර සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කෙරුණි.
'ආගමන හා විගමන පනත යටතේ විමර්ශන සිදු කරනවා'
( අප්‍රේල් 17 වැනිදා) පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ
"ස්වාමීනී.. විදේශ රැකියා ලබාදන බව පවසා මුදල් ලබා ගැනීම, එම කටයුතු සංවිධානය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ආගමන හා විගමන පනත යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව විමර්ශන සිදු කරනවා. මීට අදාළව මෙම සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍යයි. එම වැඩිදුර ප්‍රකාශය ලබා ගැනීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. මෙය සංකීර්ණ විමර්ශනයක්. මෙම විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතිනවා." යනුවෙන් සඳහන් කරමින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියහ.
'ආගමන හා විගමන පනත යටතේ සැකකරුවන්ට එරෙහිව කරුණු ඉදිරිපත් වී නැහැ'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එම අවස්ථාවේදී දමිතා අබේරත්න ඇතුළු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් " ස්වාමීනි..... ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමේදී ඊට අදාළ කරුණු සම්පූර්ණ වී තිබිය යුතුයි. එහෙත් මෙම සැකකරුවන් එරෙහිව ආගමන හා විගමන පනත යටතේ කරුණු ඉදිරිපත් වී තිබෙනවාද? යන්න ගැටළු සහගතයි. එම නිසා මෙම සැකකරුවන්ට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ සාක්ෂි ඉදිරිපත් වී තිබෙන සාක්ෂි මොනවාද? යන්න පිළිබඳව වාර්තාවක් කැඳවන ලෙස පොලීසිය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි මා ඉල්ලා සිටිනවා. එසේම මෙම සැකකරුවන්ට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කරන්නේ නම් එය විභාග කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලයක් තිබෙනවාද? යන ගැටලුවක් මතු වෙනවා" යනුවෙන් නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ මෙම සැකකරුවන්ට එරෙහිව පවතින සාක්ෂි වල සම්පින්ඩනයක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
ඉන් අනතුරුව සැකකරුවන් ලබන අප්‍රේල් 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී.
අප්‍රේල් 05 : දමිතා අබේරත්න සැමියා සමග රක්ෂිත බන්ධනාගාරයට
අප්‍රේල් 04 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඔවුහු අප්‍රේල් 05 වනදා දහවල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළහ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුකරන බව යි.
විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන් අප්‍රේල්17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි.
මේ අතර විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වැළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඉකුත් දා ( අප්‍රේල් මස 02 වනදා) තීන්දු කළේය.
දමිතා අබේරත්න සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
දමිතා අබේරත්න වෙනුවෙන් නීතිඥ අස්තික දේවේන්ද්‍ර අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කර තිබුණේ තම සේවාදායිකාවට එරෙහිව පොලීසිය විසින් මුලින්ම දණ්ඩ නිති සංග්‍රහය යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර විමර්ශන සිදු කළ බවයි.
ඉන් අනතුරුව ඇයට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරන බව පෙන්වා දුන් නීතිඥවරයා ඒ තුළින් තම සේවාදායිකාවට දැඩි අගතියක් සිදුවන බව ද පෙන්වා දුනි.
එබැවින් ඇය ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට තීරණය කරමින් පෙත්සම විභාගයට ගැනීම සඳහා වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළේය.
ඉන් අනතුරුව පෙත්සම යළි මැයි මස 16 වනදා කැඳවීමට ද නියම කෙරිණි.
































