රංගන ශිල්පිනී දමිතා අබේරත්න ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, රංගන ශිල්පිනී දමිතා අබේරත්න ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.
Published

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධුරයට පත්වු ජුලි 21 වැනිදා සිට මේ දක්වා කාලය තුළ අරගලයට සම්බන්ධ ක්‍රියාකාරීන් 3000කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.

විපක්ෂ කාණ්ඩායම්, එක්සත් ජාතීන් හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මර්දනය නතර කරන ලෙස දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියත්, රජය ඊට කන්දෙන බවක් පෙනෙන්නට නොමැති බව අඛණ්ඩව සිදුවන අත්අඩංගුවට ගැනීම් වලින් පෙනී යන බවට විපක්ෂය චෝදනා කරයි.

දිගින් දිගටම සිදුන අත්අඩංගුවට ගැනීම් ලැයිස්තුවට අලුතින්ම එක්වුයේ ප්‍රවීණ රංඟන ශිල්පී දමිතා අබේරත්නයි.

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න ලබන (14වැනිදා) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්තැම්බර් 08 වැනිදා) නියෝග කළේය.

ඉකුත් ජූලි මාසයේ ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇය බත්තරමුල්ල පොල්දූව හංදියේ (සැප්තැම්බර් 7 වැනිදා) පැවති සත්‍යග්‍රහයකින් අනතුරුව කොළඹ උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුණි.

අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් ඇය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගය කළේය.

ප්‍රවීණ රංඟන ශිල්පිනී දමිතා අබේ රත්න ආරම්භයේ සිටම අරගලයට සක්‍රිය ලෙස දායක වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයට ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින් පැවති විරෝධතාවන්ට සහභාගි විය. ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ හඬ නැගුවාය.

මේ දක්වා අත්අඩංගුවට ගත් අරගලකරුවන් අතුරින් වැඩි දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ අයුතු ජනරාශිය, රාජ්‍ය ආයතනවලට අයුතු ලෙස ඇතුලුවීම, අධිකරණ නියෝග උල්ලංඝනය හා පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මතයි.

අරගලකරුවන් දිගින් දිගටම අත්අඩංගුවට ගනු ලැබූවද මැයි මස 09 වැනිදා අරලියගහ මන්දිරයේ සිට පැමිණ 'මයිනා ගෝගමට' සහ 'ගෝඨාගෝමට' පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන් අතලොස්සක් පමණක් යැයි අරගල ක්‍රියාකාරීහූ පෙන්වා දෙති.

අරගලයට නායකත්වය දෙමින් කටයුතු කළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි, සහ හෂාන් ජීවන්ත ගුණතිලක මේවන විට දින 90ක රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතියට යටත්ව ඔවුන් තිදෙනා රඳවා තබා ගනිමින් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

"ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා.මේ පුරවැසි දඩයම වහා නවතනු!"

මේ අතර අද පාර්ලිමේන්තුවේ දී දමිතා අබේරත්න කලා ශිල්පිනිය අත්අඩංගුවට ගැනීම පිළිබඳව අවධානයට ලක් විය.

අද දින පාර්ලිමේන්තුවේදී ද අදහස් දක්වමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ අදාළ රංගන ශිල්පිනිය කිසිදු නීති විරෝධී ක්‍රියාවක් කර නොමැති බවයි.

ප්‍රචණ්ඩත්වය හෝ පෞද්ගලික දේපළ හානියකට ඇය සම්බන්ධවී නොමැති බවත් පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස එහිදී කියා සිටියේ ඇය සිදුකර ඇත්තේ මානව අයිතිවාසිකම් අභ්‍යාසයක් පමණක් බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මෙම විශේෂ ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අදහස් දක්වමින් කියා සිටියේ යම් අයෙකු වැරැද්දක් සිදුකර තිබේනම් රටේ පවත්නා නීතියට අනුකුලව ඊට දඬුවම් ලැබිය යුතු බවයි.

අරගලය සිදු වූ සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීම ඇතුළු විශාල දේපළ හානියක් සිදුවූ බැවින් ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතුවලට සහය දිය යුතු බවත්, අදාළ රංගන ශිල්පිනිය වැරද්දක් සිදුකර නොමැති නම් ඇයට අධිකරණයේදී සාධාරණයක් ඉටුවේයැයි විශ්වාසයක් පවතින බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා කියා සිටියේ සාමකාමී විරෝධතාවයන්හි නිරත පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගැනීම හරහා මෙරටට ජාත්‍යන්තරයේ සහයෝගය අහිමිවනු ඇති බවයි.