තද උණුසුම් කාලගුණයේදී සිරුර සිසිල්ව තබන ඇඳුම් නිවැරදිව තෝරාගන්නේ කොහොම ද?

උණුසුම් කාලගුණය මැද හිසේ ලේන්සුවක් ගැටගසාගෙන යන පුද්ගලයෙකුගේ ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Ishant Chauhan/Hindustan Times via Getty Images

    • Author, ලුසී ශෙරීෆ්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

කාලගුණය වියළි හෝ තෙතමනය සහිත ද? අඳින්නේ කුමක්දැයි තෝරා ගැනීමේදී ඔබ ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නය මෙයයි.

දේශගුණික විපර්යාස හේතුවෙන් වඩ වඩාත් සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් ඇති දැඩි උෂ්ණාධික කාලගුණයට මුහුණ දීමට මුළු ලෝකය ම දිගින් දිගට ම වෙහෙසෙන බැවින්, අප සිසිලසින් සිටීමට අප අඳින ඇඳුම් පැළඳුම් අත්‍යවශ්‍ය සාධකයකි. පර්යේෂකයන් සොයාගෙන ඇති පරිදි, වඩාත් සුදුසු ඇඳුම් පැළඳුම් ඇඳීම මගින් වායුසමීකරණ යන්ත්‍රවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් (ෆැරන්හයිට් 3.6කින්) ඉහළ දැමිය හැකි අතර, එමගින් දිගුකාලීනව සැලකිය යුතු බලශක්තියක් ඉතිරි කර ගැනීමටත්, මුදල් ඉතිරි කර ගැනීමටත් මෙන්ම හරිතාගාර වායු විමෝචනය අවම කිරීමටත් හැකි වේ.

එසේ නම් ශරීරය සිසිල්ව තබා ගැනීමට ඔබ ඇඳිය යුත්තේ මොනවා ද?

පැහැය සහ නිර්මාණය

වර්ණ ගැන සලකා බැලීමේදී, බොහෝ මිනිසුන් ගිම්හාන කාලයේදී සුදු පැහැති ඇඳුම් අඳිති. මන්ද, කළු පැහැය මගින් ආලෝකය උරාගන්නවා වෙනුවට සුදු පැහැය මගින් සූර්ය කිරණ පරාවර්තනය කරන බැවිනි.

තාපය ලැබෙන්නේ සූර්යයාගෙන් පමණක් නොවේ. අපගේ ශරීරයෙන් ද තාපය පිටවෙයි. එබැවින් ඇඳුමේ ඝනකම සහ එය සිරුරට සිර වී ඇති ප්‍රමාණය මත මෙම න්‍යාය තවත් සංකීර්ණ වේ. අපගේ ශරීරයෙන් පිටවන තාපය සුදු පැහැති ඇඳුමක වදින විට, එම තාපය නැවතත් අපගේ ශරීරය දෙසටම පරාවර්තනය වේ.

අරාබි අර්ධද්වීපය, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ කාන්තාර ප්‍රදේශවල ජීවත් වන දේශීය, අර්ධ සංචාරක ජන කොට්ඨාසයක් වන 'බෙඩොයින්' වැසියන් කාන්තාරයේදී කළු පැහැති සළු අඳින්නේ මන්දැයි 1980දී අධ්‍යයනයක් සිදු කරන ලදී. එහිදී සොයාගනු ලැබුවේ එම ගෝත්‍රිකයන් කළු පැහැති හෝ සුදු පැහැති සළු ඇන්දත් ඔවුන්ට දැනෙන උෂ්ණත්වයේ කිසිදු වෙනසක් නොමැති බවයි.

වහලයක් මත නැග සිටින පුද්ගලයින් දෙදෙනෙක් සිටින ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එය සිදුවන්නේ කෙසේ ද?

කළු පැහැති රෙදිවලින් තාපය පිට කිරීම හොඳින් සිදුවේ. එනම්, ශරීරයෙන් පිටවන තාපය අවශෝෂණය කර ගැනීමට ඒවාට ඇති හැකියාව වැඩි නිසා, ශරීරය සිසිල් කිරීම ටද එය උපකාරී වේ. බෙඩොයින්වරුන්ගේ රහස වන්නේ, විශේෂයෙන් සුළඟ පවතින අවස්ථාවලදී ඇඟට බුරුල් කළු පැහැති ඇඳුම් ඇඳීමයි. මෙම ලිහිල් කළු ඇඳුම් නිසා ඇඳුම සහ සම අතර ඇති වාතය රත් වන අතර, එය දුම්කවුළුවක් මෙන් ඉහළට විහිදෙන වායු ධාරාවක් නිර්මාණය කරමින් ශරීරයට සිසිල් බවක් සහ සහනයක් ලබා දෙයි.

"කාන්තාරයේ අධික රශ්මියට මුහුණ දෙන බෙඩොයින්වරයෙකුගේ ශරීරයට උරාගන්නා තාප ප්‍රමාණය, ඔහු කළු හෝ සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටියත් එක සමාන වේ," යැයි එම අධ්‍යයනයේ සඳහන් වේ. "කළු සළුව මගින් අමතරව උරාගන්නා තාපය, සම වෙත ළඟා වීමට පෙරම ඉවත් වී යයි," එහි වැඩිදුරටත් දැක්වේ.

එබැවින්, ඇඳුමේ පැහැයට වඩා එය සිරුරට ගැලපෙන ආකාරය වඩාත් වැදගත් වේ. කෙසේ වෙතත්, ඔබ ඇඟට හිරවන ඇඳුම් අඳින්නේ නම්, සුදු පැහැය තෝරාගැනීම වඩා සුදුසුය. Sports polo කමිස සඳහා නිතර භාවිත වන 'seersucker' හෝ 'pique' වැනි මතුපිට යම් රළු හෝ නෙරාගිය ස්වභාවයක් ඇති රෙදි වර්ග, ඇඳුම සිරුරට තදින් ඇලී සිටීම වළක්වා සමෙන් ඈත් කර තැබීමට උපකාරී වේ.

රෙදි වර්ගය වැදගත්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"ඔබේ රෙදි තෝරා ගැනීම තීරණාත්මකයි," විලාසිතා නිර්මාණශිල්පිනියක සහ ලේඛිකාවක වන හෙදර් නියුබර්ගර් පවසයි. "ඔබ ඩෙනිම් රෙද්දෙන් මසා ඇති ප්‍රමාණයෙන් විශාල ජම්ප්සූට් එකක් ඇඳන් ඉන්නවා නම්, 'gauze' හෝ 'chiffon' රෙද්දකින් මසා ඇති වඩා තද ඇඳුමක් ඇඳ සිටින ඔබේ යෙහෙළියට වඩා ඔබට රස්නයක් දැනෙයි"

ඇඳුමේ ලිහිල් බව ගැන සැලකීමේදී, ගෙතූ රෙදි වලට වඩා කපු සහ සේද වැනි සැහැල්ලු වියන ලද රෙදි බුරුලට ගිලිහී පවතින සේ ඇඳීමට වඩාත් සුදුසු වේ. ආර්ද්‍රතාවය පවතින අවස්ථාවලදී මෙය විශේෂයෙන් වැදගත් වේ. වියළි උෂ්ණත්වය පවතින විට, සිරුරේ දහදිය උරාගෙන උෂ්ණත්වයට වාෂ්ප වී යන බැවින් දහදිය උරාගැනීම පමණක් ප්‍රමාණවත් විය හැක. නමුත් ආර්ද්‍රතාවය සහ උණුසුම ඇති විට, ඔබ වටා ඇති වාතය දැනටමත් ජල බිංදුවලින් සංතෘප්ත වී ඇති බැවින් ඉන් අදහස් කෙරෙන්නේ ඔබේ ඇඳුම්වලට උරාගත් දහදියට වාෂ්ප වී යාමට අවස්ථාවක් නොමැති බවයි.

"ඇඳුම් ගැන කතා කිරීමේදී, දහදිය වාෂ්පීකරණය අවහිර නොකර ජල වාෂ්ප ඒ හරහා යාමට ඉඩ සලසන ද්‍රව්‍යයකින් ඇඳුම් සෑදී තිබීම වඩාත් සුදුසුයි" අග්නිදිග ලුසියානා විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය රීට් ඇලයින් පවසයි... "ක්‍රීඩා සඳහා භාවිත කරන ඇතැම් නවීන රෙදි වර්ග මගින් මෙය සිදු කෙරෙනවා. නමුත් කපු රෙදිවලින් මෙම කාර්යය එතරම් හොඳින් සිදු වෙන්නේ නැහැ."

සියලුම රෙදිපිළි මගින් අපගේ ශරීරයෙන් පිටවන අධෝරක්ත විකිරණ යම් ප්‍රමාණයකට රඳවා ගනු ලබන අතර, එමගින් සීතල කාලගුණයකදී ශරීරය උණුසුම්ව තබා ගැනීමට උපකාරී වේ. නමුත් උණුසුම සහිත දිනයකදී මෙය එතරම් සුදුසු නොවන බැවින්, වාතය හොඳින් එහා මෙහා ගමන් කරන ඇඳුම් ඇඳීම ඉතා වැදගත් වේ. ආලේපන යොදා නොමැති කපු, ලිනන්, නයිලෝන් සහ පොලියෙස්ටර් යන සියල්ල යම් මට්ටමකට වාතය එහා මෙහා ගමන් කරන රෙදිපිළි ලෙස වර්ගීකරණය කර ඇත. එනම්, ඒවා මගින් දහදිය සහ තාපය රෙදි අතරින් පිටතට යාමට ඉඩ සලසයි. කෙසේ වෙතත්, ශරීරයේ ඇති ජලය සක්‍රීයව ඉවතට අදින රෙදි වර්ගවලට වඩා මේවා වෙනස් වේ.

කපු සහ පොලියෙස්ටර් මගින් ඒවා මත පතිත වන අධෝරක්ත කිරණවලින් වැඩි ප්‍රමාණයක් එනම් 99%ක් පමණ අවශෝෂණය කර නැවත පරාවර්තනය කරනු ලබයි. එම නිසා අධෝරක්ත ඡායාරූපවල ඒවා බොහෝ විට සුදු පැහැයෙන් දර්ශනය වේ. නමුත් මෙවැනි ද්‍රව්‍ය මගින් දෘශ්‍ය ආලෝකයෙන් 30-40%ක් පමණ ඇතුළට ගමන් කිරීමට ඉඩ හරියි. මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ පර්යේෂකයන්ට අනුව මෙම ක්‍රියාවලිය නිසා ශරීරය සාමාන්‍යයට වඩා වේගයෙන් රත් විය හැකිය. මෙලෙස සිදුවන්නේ ඇතුළට පැමිණෙන දෘශ්‍ය ආලෝකය මගින් තාපය ජනනය වන අතර, පසුව ශරීරයෙන් ජනනය වන අධෝරක්ත විකිරණ ලෙස එම තාපයට පිටතට යාමට නොහැකි වන බැවිනි.

නමුත් ශරීරයේ අනෙක් සිසිලන යාන්ත්‍රණය වන දහදිය දැමීමද මෙහිදී ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. කපු රෙදි මගින් තෙතමනය උරාගත්තද ඒවා ඉක්මනින් වියළෙන්නේ නැත. එම නිසා ඔබ‍ට අධික ලෙස දහදිය දමන විට ඇඳුම් තෙතමනයෙන් යුක්තව පවතින අතර, එය අපහසුතාවයට හේතු වේ. ලිනන් රෙදිවල ඇති විශාල තන්තු නිසා වාතය එහා මෙහා ගමන් කිරීමේ ඉහළ හැකියාවක් පවතින බැවින් ඒවා බහුලව අඳිනු ලැබේ. නමුත් කපු මෙන්ම ලිනන් ද වියළීම ප්‍රමාද වේ. මෙරිනෝ ලොම්, වාතය එහා මෙහා ගමන් කරන, තෙතමනය ඉවත් කරන සහ ගන්ධය රඳවා නොගන්නා ද්‍රව්‍යයක් බැවින් එළිමහනේ ගැවසෙන උද්‍යෝගීමත් පුද්ගලයින් සඳහා ජනප්‍රිය තේරීමක් වී ඇත.

බොහෝ ව්‍යායාම ඇඳුම් සඳහා නයිලෝන් සහ පොලියෙස්ටර් භාවිතා කරනුයේ ඒවා දහඩිය ඉවත් කර ඉක්මනින් වියළෙන බැවිනි; නමුත් එම ද්‍රව්‍ය මගින් දුර්ගන්ධය රඳවා ගැනීමේ ස්වභාවයක් පවතී. පොලියෙස්ටර්වලට වඩා නයිලෝන් මගින් වැඩිපුර දහඩිය උරාගෙන එය වඩාත් හොඳින් ඉවත් කරන බවත්, එහෙත් වියළීමට වැඩි කාලයක් ගතවන බවත් පර්යේෂණවලින් පෙන්වා දී තිබේ. කෙසේ වෙතත්, නයිලෝන් සහ පොලියෙස්ටර් වැනි කෘත්‍රිම කෙඳි වර්ග තෙත් වූ විට අපහසුතාවක් දැනිය හැකිය. තාපය හොඳින් සන්නයනය නොකරන සහ දිගු වේලාවක් සුවපහසුවක් ලබා දෙන උණවලින් නිපදවූ ඇඳුම් භාවිත කරන ලෙස එක් අධ්‍යයනයකින් යෝජනා කර ඇත.

ඔබට සැබවින් ම සිරුර සිසිල්ව තබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු අවස්ථාවකදී මුළුමනින් ම ඇඳුම් ගලවා ඉවත් කිරීම සුදුසු බව එක්සත් රාජධානියේ ලෙස්ටර්ෂයර්හි ලෆ්බරෝ විශ්වවිද්‍යාලයේ පාරිසරික ශරීර විද්‍යාව සහ කාර්ය සාධක විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝර්ජ් හැවනිත් පවසයි. ඇඳුම් මගින් ඔබේ සම පිළිස්සීමෙන් ආරක්ෂා කරන නමුත්, සිරුර සිසිල්ව තබා ගැනීමට වඩාත්ම සුදුසු වන්නේ නිරුවතින් සිටීමයි. ඔබ අඩුවෙන් ඇඳුම් අඳින තරමට, ඔබේ සම සහ වාතය අතර වාෂ්පීකරණ තාප හුවමාරුවක් සිදුවීමට ඇති ඉඩකඩ වැඩි වේ. කෙසේ වෙතත්, සූර්යයාගෙන් ලැබෙන අහිතකර පාරජම්බුල කිරණවලින් ඔබේ සම ආරක්ෂා කර ගැනීමට සැමවිටම මුල් තැන දිය යුතු ය.

නමුත් මේ සඳහා විකල්ප තිබිය හැක — ඒ සිරුර සිසිල් කිරීමට උපකාරී වන නවීන ද්‍රව්‍ය සහ රෙදිපිළි වර්ගයි.

නව සොයා ගැනීම්

නයිකි සහ ඇඩීඩාස් වැනි ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගම්, ශරීරය සිසිල්ව තබන ස්මාර්ට් රෙදි වර්ග සැලසුම් කිරීම සඳහා ඩොලර් මිලියන ගණනින් මුදල් ආයෝජනය කරති. එමෙන් ම විද්‍යාඥයන් ද මේ සඳහා වඩාත්ම සුදුසු රෙදි වර්ග මොනවාදැයි සෙවීමට විශාල සම්පත් ප්‍රමාණයක් යොදවමින් පර්යේෂණ සිදු කරති. මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ විද්‍යාඥයන් සොයාගත්තේ සිරුරෙන් තාපය වඩාත් ඵලදායී ලෙස පිටතට විකිරණය වීමට නම්, දෘශ්‍ය ආලෝකය විනිවිද නොයන නමුත් අධෝරක්ත කිරණ විනිවිද යන ද්‍රව්‍යයක් භාවිත කිරීම ප්‍රධාන විසඳුම වන බවයි. එමගින් සිරුරේ තාපය සම සහ ඇඳුම අතර සිර නොවී පිටතට යාමට ඉඩ සලසයි. නයිලෝන් සහ පොලියෙස්ටර් කෙඳි මයික්‍රෝමීටර එකක පමණ විශ්කම්භයකින් යුතුව සකසා, ඒවා මයික්‍රෝමීටර 30ක් ඝනකම් නූල් බවට වියා ගැනීමෙන් ඒවා අඳින පුද්ගලයාට වඩාත් සුවපහසු උෂ්ණත්වයක් පවත්වා ගැනීමට උපකාරී වන බව ඔවුන් සොයා ගෙන ඇත.

එක්සත් ජනපදයේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් ද බාහිර පරිසර තත්ත්වයන්ට අනුකූලව තම ව්‍යුහය වෙනස් කරගන්නා ආලේපන සහිත කෘත්‍රිම කෙඳි වර්ගයක් නිපදවා ඇත. උෂ්ණත්වය ඉහළ යනවිට ඒවා වැඩි තාප ප්‍රමාණයක් පිටතට මුදාහරියි. මෙම අනුවර්තන නූල් ප්‍රසාරණය වීම සහ සංකෝචනය වීම මගින් කෙඳි අතර පරතරය වෙනස් කරයි. පුළුල් පරතරයක් තිබීම මගින් රෙදිපිළි අතරින් වාතය ගමන් කිරීමට ඉඩ සලසන අතර, තාපය විකිරණය වී ඇඳුම අඳින පුද්ගලයාට සිසිල්වීමට අවස්ථාව සැලසේ.

තවත් කණ්ඩායමක් සිරුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කට වඩා (ෆැරන්හයිට් 3.6) අඩු කිරීමට උපකාරී වන පරිදි දිග හැරෙන සහ නැමෙන සුළු පටි සහිත ඇඳුම් ඇසුරෙන් අත්හදාබැලීමක් සිදු කළහ. උණුසුම් කාලගුණ තත්වයකදී, මෙම පටි වාතය දෙසට නැමී සිරුරෙන් තාපය පිටතට විසුරුවා හරියි. අනෙක් කණ්ඩායම්, උණුසුම් වන විට දියවන සුළු ද්‍රව්‍ය සහිත කැප්සියුල හෝ කෙඳි අඩංගු "අදියර වෙනස්" ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටි අතර, ඒවා අතිරික්ත තාපය උරා ගැනීමට උපකාරී වේ.

ජල ක්‍රීඩා කරන තරුණයෙකුගේ ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

තෙතමනය පවත්වා ගැනීම

උණුසුම පවතින විට සිරුර සිසිල්ව තබා ගැනීමට ඇඳුම් භාවිත කළ හැකි හොඳම ක්‍රමය වන්නේ තෙත ඇඳුම් ඇඳීම බව ඇලේන් පෙන්වා දෙයි. ජලය වාෂ්ප වීමට තාප ශක්තිය අවශ්‍ය වන අතර, ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවට පත්වන මෙම පරිවර්තනයේදී එය ඔබේ සිරුරෙන් පිටවන තාපය භාවිත කරයි. එමගින් ඔබේ සම සිසිල් වී ශරීර උෂ්ණත්වය පහළ යයි.

එබැවින් සිසිල්ව සිටීම සඳහා ඇඳුමක් තෝරාගැනීම සුදු ටී ෂර්ටයක් ඇඳීමට වඩා තරමක් සංකීර්ණ ක්‍රියාවලියකි. නමුත් සුදුසු රෙදි වර්ගය, ගැලපෙන ඇඳුම් සහ හැකි අවස්ථාවලදී ස්වල්ප වශයෙන් වතුර ඉස ගැනීම මගින් උෂ්ණත්වය ඉහළ යන විට ඔබේ ශරීර උෂ්ණත්වය පහළ මට්ටමක පවත්වා ගැනීමටත්, වායුසමීකරණ සඳහා දරණ වියදම ද අඩු කර ගැනීමටත් උපකාරී වනු ඇත.