රජ දවසේ සිට ඇස් පාදන දියතරිප්පු කණ්නාඩි හදන ශිල්පියා

Published

"මේ කණ්නාඩිය දාපුවාම ඇහේ සුද එන්නේ නැහැ, ඇහේ දැවිල්ල එන්නේ නැහැ, ඇහෙන් කඳුළු එන්නේ නැහැ,” සියවස් ගණනාවක් තිස්සේ පරම්පරාවෙන් උරුමවූ ඇස් කණ්නාඩි ශිල්පය ගැන චූලාමණී ගෙදර ගුණසෝම බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.

පිළිමතලාව, කහඹේ පදිංචි ගුණසෝම ඔහුගේ මුතුන්මිත්තන්ගෙන් උරුමවූ දියතරිප්පු ඇස් කණ්නාඩි නිෂ්පාදනය කරන අටවැනි පරම්පරාව නියෝජනය කරන අතර, ඔහු පවසන පරිදි ලොව සිටින එකම දියතරිප්පු කණ්නාඩි නිෂ්පාදකයා ද ඔහු ය.

දැනට වෙළඳපළේ ඇති ඇස් කණ්නාඩි කාච නිෂ්පාදනයට වීදුරු හෝ ප්ලාස්ටික් යොදාගත්ත ද දියතරිප්පු කණ්නාඩි කාච නිපදවන්නේ මැණික් පතල්වලින් ලබාගන්නා පළිඟු වර්ගයකින් වීම මෙහි ඇති විශේෂත්වය යි.

“මම රත්නපුරේ ගිහිල්ලා ඒ පතල්වලින් තමයි මේ ගල හොයාගන්නේ. අපිට ඕන ගල බලලා වටිනාකම බලලා තමයි අපි ගල් තෝරගෙන ගන්නේ. සමහර ගල් තියෙනවා රුපියල් විසිපන්දාහ, තිස්දාහක් වෙන. ගලේ වටිනාකම අඩු වැඩි වෙනවා ඒවා හොයාගන්න විදිය අනුව.

“තිස් ඇඳිරිය, හතලිස් ඇඳිරිය, හැට ඇඳිරිය කියලා ඇඳිරි තුන යි මනුස්සයෙක්ගේ ජීවිතේටම එන්නේ, ඒ ඇඳිරි තුනටම අපි කණ්නාඩි හදනවා,” පරම්පරාවෙන් උරුම වූ අක්ෂි දැනුම ගැන විස්තර කරමින් හෙතෙම කියා සිටියේ ය.

පරිගණක හා ජංගම දුරකතන වැනි ඩිජිටල් තිර සඳහා භාවිතා කරන ඇස් කණ්නාඩි ද තමන් විසින් නිපදවන බව ඔහු කියා සිටියි.

ඔහු පවසන පරිදි දියතරිප්පු කණ්නාඩි දැනට වෙළඳපළේ ඇති සාමාන්‍ය කණ්ණාඩි මෙන් වසරකට හෝ වසර දෙකකට වරක් වෙනස් කිරීමට අවශ්‍ය නොවන අතර, වසර 15ක් 20ක් පමණ කාලයක් පාවිච්චි කළ හැකි ය. මෙම පාෂාණයේ සිහිල් බව නිසා ඇහේ සුද මතු නොවන බව මෙන්ම හිස කැක්කුම නොසෑදෙන බව ද කියවෙයි. එයට හේතු වන්නේ පතල්වල අඩි 400ක් 500ක් පමණ ගැඹුරින් හමුවන මෙම පාෂාණ අධික සීතලකින් යුතුවීම බව ඔහු පවසයි.

රජ්ජුරුවන්ට සෙල්ලිපි කියවන්න හැදූ දියතරිප්පු කණ්නාඩිය

රජුන්ට පෙනීම දී ඇරඹි මේ අපූරු වෘත්තියේ ඉතිහාස කතාව ඔහු බීබීසි සිංහල සේවයට පැවසීය.

“අපේ රස්සාව දැන් අවුරුදු 680ක් විතර වෙනවා. අපේ අත්තලා මුත්තලා, සීයලා, තාත්තලා කරගෙන ආපු රස්සාව තමයි මම දැන් කරන්නේ. මම මේක ඉගෙන ගත්තේ අපේ තාත්තාගෙන්.

“මුලින්ම මේ කණ්නාඩි හදලා තියෙන්නේ අපේ සීයාගේ තාත්තාගෙත් තාත්තා. ගම්පොළ රාජ්‍ය කරපු හතරවැනි බුවනෙකබාහු රජ්ජුරුවන්ට ඕන වෙලා තියෙනවා ඇම්බැක්කේ, ගඩාලදෙණියේ සෙල්ලිපි බලන්න. ඒ සෙල්ලිපි කියවන්න බෑ එයාට පෙන්නේ නැහැ. අපේ පරම්පරාව තමයි කණ්නාඩිය හදලා සෙල්ලිපිය කියවන්න හදලා දීලා තියෙන්නේ,” ඔහු මහත් අභිමානයෙන් යුතුව, රජ දවස පටන් පැවත එන සිය පාරම්පරික උරුමයේ ආරම්භය විස්තර කළේ ය.

හතරවැනි බුවනෙකබාහු රජුගේ අගමැති, සේනාධිලංකාර සෙනවියාගේ මූලිකත්වයෙන් ස්‌ථාපතිරයාර් නම් නිර්මාණ ශිල්පියෙක්‌ විසින් ලංකාතිලක විහාරය ගොඩනගා ඇති අතර විහාරයේ වැඩ කටයුතු නිමවීමෙන් පසු එය නැරඹීමට පැමිණි රජතුමා හට විහාරයේ තිබූ සියුම් කැටයම් දැක ගැනීම අපහසු වී තිබේ. රජුට විහාරයේ කැටයම් හොඳින් බලන්නට නොහැකි වීම ගැන කණගාටුවෙන් පසුවන බව දැනගත් ස්‌ථාපතිරයාර් නම් නිර්මාණ ශිල්පියා ගැටලුවට විසඳුමක් සොය දෙන්නට ඉදිරිපත්වී ඇත.

ඉන් දින කිහිපයකට පසු, හරක්‌ අං යොදා සාදන ලද රාමුවකට දියතරිප්පු නම් පාෂාණයෙන් නිම කළ වීදුරු යුගලක් සවිකර නිපදවු උපකරණයක් නිර්මාණ ශිල්පියා විසින් රජතුමාට ලබා දී ඇති අතර ඉන් විහාරයේ තිබූ සියුම් කැටයම් නැරඹීමේ හැකියාව ලැබී ඇත.

ලංකා ඉතිහාසයේ මුල්ම කන්නාඩි නිෂ්පාදනය එය ඉතිහාසයේ සඳහන් වෙයි.

"ඕනම හැඩයකට මේ කණ්නාඩි හදන්න පුළුවන්. ගල්වලින් කාචය හදනවා, කණ්නාඩියේ ෆ්‍රේම් එක හදන්න ප්ලාස්ටික් ගන්නවා. සමාන්‍යයෙන් රුපියල් විසිපන්දාහේ වගේ ඉඳලා මේවා විකුණනවා. මේක හදන්නේ අතින්ම යි. ඒ නිසා සතියක් වගේ ඇතුළත කණ්නාඩිය හදලා දෙන්නත් පුළුවන්.”

‘මුළු ලෝකයටම මම විතරයි මේ කණ්නාඩි හදන්නේ'

ගුණසෝම මෙම කර්මාන්තය ආරම්භ කළ අවධියේ දී කණ්නාඩියක් නිපදවා අවසන් කිරිමට දින දහයක්, දොළහක් ගතවී ඇතත්, දැන් වන විට නව තාක්ෂණය ද මුසුකර උපැස් යුවළ සැකසීම නිසා සතියක් වැනි කාලයක දී එය සාදා නිම කිරීමට ඔහුට හැකියාව ලැබී තිබේ.

ඔහු මේ පාරම්පරික ශිල්පය ඔහුගේ පුතුන් දෙදෙනා හට ලබා දී ඇතත්, ඔවුන් මේ වන විට විදේශ ගතවී ඇත. එබැවින්, ඇතැම් විට දියතරිප්පු කණ්නාඩි නිෂ්පාදනයේ අවසන් පුරුක ඔහු විය හැකි ය.

“මුළු ලෝකයටම මම විතරයි මේ කණ්නාඩි හදන්නේ. මගේ පුතාලා දෙන්නටත් මේක පුළුවන්. ඒත් ඒ දෙන්නා දැන් රට ගිහින් ඉන්නේ. කණ්නාඩියක් හදන්න එන්නේ සති දෙකකට මාසයකට වගේ සැරයක්. මම චූඩාමාණික්කත් හදනවා. ඒවත් විකුණගන්න අමාරු යි, මිනිස්සු ගාව සල්ලි නෑනේ.”

ඔහු පවසන පරිදි අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම මෙන්ම අමුද්‍රව්‍ය හිඟතාව ද කර්මාන්තය පවත්වාගෙන යාමට ඇති ප්‍රධානතම බාධාවකි.

"දියතරිප්පු ඇස් කණ්ණාඩි ගැන දැන් ඉන්න තරුණ ළමයින්ට වැඩි අවබෝධයක් නැහැ. අනික මේ කාර්මාන්තය ගැන සමාජය දන්නේ නැහැ. ඒක නිසා මේ දියතරිප්පු ඇස් කණ්ණාඩි කියලා කියන්නේ මොනවා ද කියලා සමාජයට පුළුල් ප්‍රචාරයක් දෙනවා නම් මේ කර්මාන්තය ගැන දැනගෙන මේක තවත් දියුණු වෙයි," සියවස් ගණනක් තිස්සේ සිය උරුම රැගෙන ආ චූලාමණි ගෙදර ගුණසෝම බීබීසි සිංහල සේවයට කතාබහ හමාර කරමින් සඳහන් කළේ ය.