මැතිවරණවලදී ඇඟිලි පාට නොකිරීමට තීරණය කර ඇත්තේ ඇයි?

A Sri Lankan voter wearing a face mask shows the indelible ink mark on her finger after casting vote for the Parliamentary Election at a polling center Colombo, Sri Lanka on August 5, 2020. (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ශ්‍රී ලංකාවේ මැතිවරණවලදී දැනට ක්‍රියාත්මක වන, ඡන්ද දායකයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව නොමැකෙන තීන්තවලින් ඇඟිල්ලක සලකුණක් තැබීම ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එලෙස සලකුණු කිරීම සහ වලංගු හැඳුනුම්පතක් ඡන්ද දායකයා සතුව තිබෙන්නේ දැයි පරීක්ෂා කිරීම සිදු කරන්නේ ඡන්ද දායකයෙකු එක් වාරකයට වඩා මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම වැළක්වීමට යි.

එනම්, ඡන්ද අක්‍රමිකතා ඇතිවීම වැළක්වීම සඳහා ය.

කෙසේ වෙතත්, එක ම අපේක්ෂාවන් සඳහා ක්‍රියාවන් දෙකක් සිදු කිරීම තුළින් ඡන්ද මධ්‍යස්ථානවල කාර්යක්ෂමතාවට බාධා වන බව සහ රජයට අමතර වියදමක් දැරීමට සිදුවන බව නිරීක්ෂණය කර ඇති නිසා මේ සඳහා ඇති නීතිමය ප්‍රතිපාදන සියලු මැතිවරණ පනත්වලින් ඉවත් කිරීමට පියවර ගත යුතු බවට, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කැබිනට් මණ්ඩලයට ගෙන එන ලද යෝජනාවක් කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.

මේ අනුව,

  • 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ 36 වන වගන්තිය,
  • 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 38 වන වගන්තිය,
  • 1988 අ අංක 02 දරන පළාත්සභා ඡන්ද විමසීම් පනතේ 36 වන වගන්තිය,
  • (262 වැනි අධිකාරිය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 53 අ. වගන්තිය,
  • 1981 අංක 07 දරන ජනමත විචාරණ පනතේ 21 වන වගන්තිය

සංශෝධනය කිරීමට යෝජනා කර තිබේ.

වෙනත් රටවල්වලත් ක්‍රියාත්මකයි...

A Sri Lankan election official (L) marks a voter's finger with indelible ink as a sign of voting at a polling booth in Colombo 02 April 2004. Voting got underway in Sri Lanka for the third parliamentary election in four years to elect Sri Lanka's 13th parliament since independence from Britain in 1948. The vote was called by President Chandrika Kumaratunga after she disagreed with Premier Wickremesinghe over his handling of a Norwegian-backed bid to end ethnic bloodshed and conflict that has claimed more than 60,000 lives since 1972. AFP PHOTO/Indranil MUKHERJEE (Photo credit should read INDRANIL MUKHERJEE/AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෙලෙස නොමැකෙන තීන්තයෙන් සලකුණු කිරීම වෙනත් රටවල ද ක්‍රියාත්මක ක්‍රමවේදයකි.

ලෝකයේ විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දියානු මහ මැතිවරණයේදී ද මෙලෙස නොමැකෙන තීන්තවලින් ඡන්ද දායකයන් සලකුණු කිරීම සිදු කරයි.

නේපාලය, මියන්මාරය, ඉන්දුනීසියාව, ඊජිප්තුව ඇතුළු රටවල ද මෙම ක්‍රමවේදය භාවිත කරයි.

ශ්‍රී ලංකාවේ ද දශක ගණනාවක් තිස්සේ ඡන්ද දායකයන් ඡන්දය දැමූ බවට සලකුණු කිරීම සඳහා තීන්ත යොදා සලකුණු කිරීම සිදු කෙරිණි.

'දැන් අවශ්‍යතාවක් නෑ'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙලෙස තීන්ත භාවිතයෙන් සලකුණු කිරීම ඉවත් කිරීම සම්බන්ධයෙන් බීබීසී සිංහල මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායකගෙන් විමසීමක් සිදු කළ අතර ඔහු පැවසුවේ මෙම යෝජනාව 2023 වසරේ සිට පැවති එකක් බව ය.

"2008 වසරේ ඡන්දය ප්‍රකාශ කිරීමට ජාතික හැඳුනුම්පත අනිවාර්ය කළාට පස්සේ දැන් මේ විදිහට තීන්ත ගෑමේ අවශ්‍යතාවක් නෑ. මේක එක පාර ආව තීරණයක් නෙවෙයි, 2023 සිට අවශ්‍ය කටයුතු කරලා තමයි කැබිනට් අනුමැතිය ලබා ගත්තේ," ඔහු පැවසුවේ ය.

මේ අතර, ජූනි 24 වන දින මාධ්‍ය හමුවකට එක්වෙමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ, වර්තමානයේ මැතිවරණ කොමිසම ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීම සඳහා යොදාගන්නා තාක්ෂණය හේතුවෙන් එක ම පුද්ගලයෙකුට අවස්ථා කිහිපයකදී ඡන්ද හිමි නාමලේඛන සඳහා ලියාපදිංචියට අවස්ථාවක් නොමැති බව යි.

"ඡන්ද දායකයා ඡන්දය ප්‍රකාශ කරපු බව තහවුරු කිරීමට තීන්ත ආලේප කිරීම දශක ගණනාවක් තිස්සේ කරන දෙයක්. ඉතිහාසයේ බැලුවොත් හොර ඡන්ද දැමීම ලංකාවේ බරපතළ විදිහට සිදු වුණා. ඒවගේ ම එක ඡන්ද දායකයෙකුට තැන් කීපයක ලියාපදිංචි වෙන්න අවස්ථාව තිබුණා. ඒ නිසා එක පුද්ගලයෙක් එක තැනක ඡන්දය පාවිච්චි කරලා තවත් තැනක ඡන්දය පාවිච්චි කරන්නට ඉඩ ප්‍රස්ථා විවර වෙලා තිබුණා. එවැනි පරිසරයක මේ තීන්ත අලේප කිරීම ඉතාමත් තීරණාත්මක සාධකයක් වුණා හොර ඡන්ද දැමීම වැළක්වීමට. මේ නිසා තමයි තීන්ත අලේප කිරීම දීර්ඝ කාලයක් තිස්සේ සෑම මැතිවරණයකදී ම සිදු කළේ," ඔහු විස්තර කළේ ය.

"2010 දක්වා කාලය තුල ශ්‍රී ලංකාව තුළ ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධනයට තාක්ෂණය පාවිච්චි කළේ අඩුවෙන්. නමුත් දැන් වෙනකොට ඡන්ද දායකයාගේ ද්විත්ව ලියාපදිංචිය වළක්වන්න මැතිවරණ කොමිසම සමත් වෙලා තියෙනවා. එක ම නම විවිධාකාරයෙන් තැන කිහිපයකින් ඇතුළත් කළත්, දැන් තියෙන තාක්ෂණය අනුව ඒක පහසුවෙන් මැතිවරණ කොමිසමට හඳුනා ගන්න පුළුවන්," රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.

මේ නිසා ද්විත්ව ලියාපදිංචිය සඳහා අවස්ථාවක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේ ය.

"ඒ නිසා ඡන්ද නාමලේඛනය සාපේක්ෂව ක්ලීන් තත්ත්වයක තියෙනවා, ඇතුළත් විය යුතු අයගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් ද්විත්ව ලියාපදිංචිය ඇහිරිලා තියෙනවා."


Guidelines For Upcoming Sri Lanka's General Election Sri Lanka

An Election officer marks mock voter's finger during a mock election

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ඡන්ද මධ්‍යස්ථාන 13,000ට ම එක් නිලධාරියෙක් ගාණේ දාන්න ඕනේ'

මුදල් ඉතිරිය

මේ අතර, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙම ක්‍රියාවලිය සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවූ බව ය.

"මේ තීන්ත සඳහා මිලියන 30ක්, 40ක් වගේ යනවා. ඊට පස්සේ ඡන්ද මධ්‍යස්ථාන 13,000ට ම එක් නිලධාරියෙක් ගානේ දාන්න ඕනේ," ඔහු පැවසුවේ ය.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා ද පැවසුවේ මෙය ඉවත් කිරීමෙන් එක් මැතිවරණයකට වියදම් වන මුදලින් රු. මිලියන 100ක පමණ ඉතිරියක් සිදු කළ හැකි බව ය.

"මේ තීන්ත අලේප කිරීම නැවත්වීම හරහා විශාල මහජන මුදලක් මැතිවරණයකදී ඉතිරි කර ගැනීමට අපට ලැබෙනවා. තීන්තවලට යන මුදලත්, ඒ වගේ ම නිලධාරීන් යෙදවීමට යන මුදලත් දළ වශයෙන් ගත්තොත් මිලියන 100ක්, ඒ කියන්නේ ලක්ෂ 1,000ක්, අවුරුදු 5කට මැතිවරණ 4ක් තියෙනවා, එතකොට ලක්ෂ 400ක් අපට මැතිවරණ 4කට වියදම් කරන්න වෙනවා," ඔහු පෙන්වා දෙයි.

"ඡන්ද මධ්‍යස්ථාන 13,000ක් විතර තියෙනවා, අපි එක නිලධාරියෙක් වෙනුවෙන් රු. 4,000ක් වෙන් කළොත් රු. 4,000 බැගින් දෙන්න වෙනවා, ඒ වගේ ලක්ෂ 500ක් විතර නිලධාරීන්ට වැයවෙන මුදල අපට ඉතිරි කරගන්න පුළුවන්," රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

එමෙන් ම ඔහු පෙන්වා දුන්නේ මෙම තීන්ත වර්ගය ආනයනය කරන විශේෂ තීන්ත වර්ගයක් බව ය.

"ඒ වගේ ම මේ තීන්ත සඳහාත් මිලියන 30ක් විතර යනවා, මුල් කාලීනව මේවා බ්‍රිතාන්‍යයෙන් ගෙනැල්ලා පසුව ඉන්දියාවෙන් ගෙනැල්ලා තියෙනවා. මේක සුවිශේෂී තීන්ත වර්ගයක්, ඒ වියදම්වලට අමතරව මේවා බෙදා හැරීම සඳහා වියදමක් තියෙනවා. මැතිවරණ කොමිසම විශේෂ ක්‍රියාවලියක් හරහා බෙදන්නේ."

'හදිසියේ මතු වුණු කාරණයක් නෙවෙයි'

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේ, මෙම තීරණය කලක පටන් පැවති සංවාදයක ප්‍රතිඵලයක් බව ය.

"මේ යෝජනාව පසුගිය වසර 10ක පමණ කාලයක සිට සංවාදයේ තිබුණු යෝජනාවක්, ඒ වගේ ම පහුගිය ආණ්ඩු දෙකක් සාකච්ඡා කරපු යෝජනාවක්. පසුගිය මැතිවරණ කොමිෂන් සභාවලත් තිබුණු යෝජනාවක්. මේක හදිසියේ මතුවුණු කාරණයක් නෙවෙයි. මේක කාලයක් තිස්සේ මතුවුණු සංවාදයක්," ඔහු පැවසීය.

මේ නිසා මේ සම්බන්ධයෙන් මහ ජනතාව සැකයක් ඇති කර නොගත යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.